නිර්මල කන්‍ය මරියෝත්තමාවන් වූ කටුනායක අප ස්වාමිදුව විසිතුන් වතාවක් දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී 2017 අප්‍රියල් 29 වෙනි සෙනසුරාදා සවස මහා සෙනගක් ඉදිරියේ මරිය මවු තුමියගේ ප්‍රතිමාවට නිල් මැණික් සහිත රත්තරන් ඔටුන්න ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ දෝතින් පැළඳවීමෙන් පසුව රැස්ව සිටි දහස් සංඛ්‍යාත සැදැහැවතුන් අමතා ශුද්ධෝත්තම අපොස්තුළුතුමා විනාඩි දහයක කෙටි ප්‍රකාශයක් කලහ. ශුද්ධෝත්තම අපොස්තුළුතුමා එම කෙටි ප්‍රකාශයේ දී අවධාරණයෙන් කියා සිටියේ ‛‛දේව මෑණියෝ අපිට මෙච්චර ආදරේද කියලා අපිට එතුමියගෙන් අහන්ඩ හිතෙනවා’’ යනුවෙනි.

 

ඊට හේතුව ද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සිය කෙටි ප්‍රකාශයේ දී මෙලෙස පෙන්වා දුන්හ. ‛‛මෙහිදි එතුමියගේ පිහිට, සරණය දශක හතරකටත් වැඩි කාලයක් පුරා, 1975 සිට, ජනතාව, ආගම්, ජාති භේදයකින් තොරව මෑණියන්ගෙන් ඉල්ලා සිටියා. විශ්වාසයෙන් ඉල්ලූ සැමට මෑණියන් දී ඇති වරප්‍රසාද ගැන කථා කළොත් හරිම පුදුමයි. ඒ තරමටම එතුමිය අපට ළං වෙලා තියෙනවා. අපේ දුක් කඳුළු පිසදාලා තියෙනවා.’’

 

‛‛ප්‍රිය දරුවෙනී, දේව මෑණියන් විසිතුන් වරක් දර්ශනය වූ භූමියකයි ඔබ මෙහි සිටින්නේ. මේක හරි පුදුම භූමියක්’’ යනුවෙන් විනාඩි දහයක් පමණ වූ සිය ප්‍රකාශය ආරම්භ කරනු ලැබූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශය අවසානයේ නිර්මල කන්‍ය මරිය තුමිය වෙත සැදැහැවතුන්ගේ ඉල්ලීම් යොමු කරමින් ‛හාස්කම් යාච්ඤාව’ සැදැහැවතුන්ගේ ද සහභාගිත්වයෙන් ආරම්භ කරන්නට විය.

 

2017 අප්‍රියල් 29 වෙනි සෙනසුරාදා සතර දිගින් ඇදී ආ මහා සෙනගක් මැදින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, සන්සුන්ව සැමටම ආශිර්වාද කරමින්, නිර්මල කන්‍ය මරියෝතමාවන් වෙත නිල් මැණික් සහිත රත්තරන් ඔටුන්න පැළඳවීම සඳහා දර්ශණ දේව මන්දීරයේ සිට පැමිණි අයුරු මෙම ඡායාරූප මගින් ඔබට දැක ගත හැකියි