නිර්මල කන්‍ය මරිය මෑණියන්ගේ නමට කැප කර ඇති කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ අභිනවයෙන් ප්‍රතිංස්කරණය කරනු ලැබූ දර්ශණ දෙව්මැදුර, විශේෂ දෙව්මැදුරක්. මෙහි ඇති විශේෂත්වය කුමක්ද? මෙහි ජේසුස් ස්වාමින් වහන්සේ දර්ශණය වී ලෝකයටම අපොස්තුළු තුමෙකු පත්කල නිසාද? නැත්නම් නිර්මල කන්‍ය මරිය තුමිය විසිතුන් වතාවක් දර්ශණය වී ඇති නිසාද? ඇත්තටම එවැනි දේ අති විශිෂ්ඨතම සුවිශේෂ සිදුවීම් තමයි. නමුත් මේ දර්ශණ දෙව්මැදුරෙහි තවත් විශේෂත්වයක් තිබෙනවා. ලොව පුරා මේ මහ පොළව මත ඉදිකර ඇති දෙව්මැදුරු ලක්ෂ ගණනක් තිබෙනවා. සමහර විට කෝටි ගණනක් ඇති. ඒ අතරින් අතලොස්සක් වැනි දෙව් මැදුරු කීපයක් හැරෙන්නට අනික් ඒවා සියල්ලම, මිනිසුන් විසින්, දෙව් මැදුරක් සෑදිය යුතු යයි සිතා, මිනිසුන් විසින්ම ඒ සඳහා සුදුසු ඉඩමක් තෝරාගෙන, එම ස්ථානයෙහි දෙව්මැදුරක් සෑදිය යුතු යයි මිනිසුන් විසින්ම තීරණය කර සාදනු ලැබූ දෙව් මැදුරුයි. නමුත් මේ ලෝකය තුල දෙව්මැදුරු පහක් නිර්මල කන්‍ය මරිය තුමියගේම ඉල්ලීම නිසා, එතුමිය පැවසූ ස්ථානවල ඉදිකර තිබෙනවා. ඒ දෙව්මැදුරු පහ ඇත්තේ කොහේදැයි ඔබ මෙතෙක් දැනගෙන සිටියාද? පළමු වැන්න, වර්ෂ 1858 මාර්තු 2 වෙනිදා, ප්‍රංශයේ, ලූර්දු හි බර්නදෙත් නමැති දැරියට දර්ශණය වූ මරිය තුමී එම දර්ශණය සිදු වූ ස්ථානයෙහි දෙව්මැදුරක් ඉදිකරන ලෙස ඉල්ලීමක් කලා. දෙවැන්න, වර්ෂ 1917 ඔක්තෝම්බර් 13 වෙනිදා, පෘතුගාලයේ, පාතිමා හි දී, ප්‍රුන්සිස්, ලුසී, ජසින්තා නමැති ළමුන් තිදෙනාට මරිය තුමී දර්ශණය වී, ‛‛මගේ නමට කැපවුණු දෙව් මැදුරක් මේ ස්ථානයෙහි ගොඩ නගනු දැක්ම මාගේ ආශාවයි’’ යනුවෙන් ප්‍රකාශ කලා. තුන්වැන්න වර්ෂ 1932 නොවැම්බර් 29 වෙනිදා, බෙල්ජියමේ, බෝරැං හි දී, පර්ඩිණන්ඩ්, ගිල්බට් වොයිෂින්, අන්ද්‍රි, ගිල්බට් ඩෙගින්බර් සහ ඇල්බට් වොයිෂින් යන ළමුන් පස්දෙනාට මරිය තුමී දර්ශණය වී, ශාන්ත පරිසරයක, වන්දනීය, පූජනීය දෙව් මැදුරක් තනා දෙන ලෙස ඉල්ලීමක් කලා. සතරවැන්න, 1933 ජනවාරි 20 වෙනිදා, බෙල්ජියමේ, බැනර් හි දී, මැරියට් බෙකෝ නමැති දැරියට දර්ශණය වී ‛‛මම කුඩා දේවස්ථානයකට කැමැත්තෙමි’’ යනුවෙන් ප්‍රකාශ කලා. දැන් නිර්මල කන්‍ය මරිය තුමීයගේ ඉල්ලීමක් මත ඉදිවූ ලොව පස්වන දෙව්මැදුර ගැනයි. එම දෙව්මැදුර තමයි ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ඉදිකර ඇති ‛‛දර්ශණ දේව මන්දීරය’’ යනුවෙන් අප හඳුන්වන දෙව්මැදුර. වර්ෂ 1976 මැයි මස 11 වෙනි දින, ශ්‍රී ලංකාවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණන්ට, මරිය තුමී දර්ශණය වී, ‛‛මාගේ ආදර දරුව, මෙම ස්ථානයෙහි මා නමට කුඩා දෙව් මැදුරක් ඉදිකරන්න. එය මගේ උතුම් ආශාවකි’’ යනුවෙන් ප්‍රකාශ කලා.

 

මෙම පණිවිඩය ඇසූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මරිය තුමියගේ ආශාව, ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ද ආශාව බවට පත්කර ගනිමින්, දෙමාපියන් වෙතින් තමන්ට ලැබුණ, උපන් දා සිට හැදුන වැඩුන නිවස, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ පුද්ගලීක ධනයෙන්, ලහි ලහියේ දෙව්මැදුරක් බවට පරිවර්තනය කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් වර්ෂ 1976 දෙසැම්බර් මස 6 වෙනි දින උදේ, කටුනායක අප ස්වාමිදූගේ දෙව්මැදුර, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණන් වහන්සේගේ සුරතින් අභිෂේක කර, මරියෝතමාවන්, ‛‛කටුනායක අප ස්වාමිදූ’’ වශයෙන් ප්‍රකාශයට පත් කර, දෙව් මවු ප්‍රතිමාවට උන්වහන්සේගේම සුරතින් රන් ඔටුණු පළදවනු ලැබුවා.

 

ඉන්පසු කටුනායක අප ස්වාමිදූගේ දෙව්මැදුර නැවතත්, දෙව්මැදුරක තිබිය යුතු තවත් අංගයන් රැසක් සමගින්, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේම වියදමින් ප්‍රතිසංස්කරණය කර 1995 ඔක්තෝම්බර් මස 8 වෙනි දින, උන්වහන්සේගේම සුරතින් විවෘත කරනු ලැබුවා. ඉන්පසු නැවතත් වර්ෂ 2011 සැප්තැම්බර් 5 වෙනි දින දර්ශණ දෙව්මැදුර ඇතුළු කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සියළුම ගොඩනැගිලි සම්පූර්ණ ප්‍රතිසංස්කරණය කිරීමේ යෝධ සංවර්ධන ක්‍රියාවලිය ආරම්භ කරනු ලැබුවා. මේ යෝධ සංවර්ධන ක්‍රියාවලියේ නියමුවා වූයේ, අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතායි. පුරා අවුරුදු පහක් සිය පරිඝනක හැකියාවන් සහ ඥානය උපයෝගි කර ගනිමින්, දෙව් මවුන්ගේ ආශාව, මෙවර ඔහුගේ ද ආශාව බවට පත්කර ගනිමින් කල යෝධ සංග්‍රාමයේ ප්‍රතිඵලයක් ලෙසින් ඉදිවූ නව දර්ශණ දෙව්මැදුර 2018 වසරේ අගෝස්තු 11 වෙනි සෙනසුරාදා සවස ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ ශුද්ධවූ සුරතින් ආශිර්වාද කරනු ලැබුවා. උන්වහන්සේගේම ශුද්ධවූ සුරතින් දර්ශණ දෙව්මැදුර විවෘත කරනු ලැබුවා.

 

අභිනව දර්ශණ දෙව්මැදුර නිර්මල කන්‍ය මරියාවන්ට පුද දෙමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා දර්ශණ දෙව්මැදුර අභියස සිට දෙව් මවුන් අමතා විශේෂ ප්‍රකාශයක් කරනු ලැබුවා. ‛‛ඔබ තුමියගේ සිද්ධස්ථානය, මේ මුළු ලොවටම සත්‍ය ධර්මය බෙදන දහම් පාසැලක් වේවා යි මම ප්‍රාර්ථනා කරමි’’ යි ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්‍රාර්ථනය ලෙස ප්‍රකාශ කරනු ලැබුවා. තව දුරටත් උන්වහන්සේ දෙව් මවුන් අමතා මෙලෙසින් ද කියා සිටියා ‛‛ඔබ තුමියගේ පුතණුවන් ඇත්තටම ලෝකයට ඉගැන්වූයේ කුමක් ද යන්න, එක එක ආකාරයට විස්තර කරන්නෝ බොහෝය. ඒ නිසාම ක්‍රිස්තියාණි සභාවන් රැසකි. ලොව පුරා බිහිවී ඇති ක්‍රිස්තියාණි සභාවන් සංඛ්‍යාව කොතෙක් දැ යි, අප දෙවි ස්වාමින් වහන්සේවත් දන්නේ දැ යි සැකයකි. කල්ලි කණ්ඩායම් අනුව නොව ඔබ පුතණුවන්ගේ වචනය අසා, ඒ අනුව ජීවත්වන අය පමණක් ස්වර්ගය ලබාගන්නා බව ඔවුන් බොහෝ දෙනෙක් අමතක කර ඇත. මේ අතර, ජේසුනී යළිත් මෙලොවට වඩින්න, නැවත ධර්මය දේශනා කරන්න යනුවෙන් ඔබ පුතණුවන් අමතා ගැයෙන ගීතිකා සහ සින්දු ද ඇත. මේ සියල්ලන්ට ඇත්ත පැවසීම අපොස්තුළුතුමෙකු ලෙසින් මාගේ වගකීම වේ. ඔබ පුතණුවන් උගැන් වූ අයුරින් මනුෂ්‍යයා ජීවත්වනු දැකීම ඔබ තුමියගේ බලවත් ම ආශාව වේ. ඒ නිසා මේ ඔබ තුමියගේ සිද්ධස්ථානය, මේ මුළු ලොවටම සත්‍ය ධර්මය බෙදන දහම් පාසැලක් වේවා යි මම ප්‍රාර්ථනා කරමි’’ යි ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මහා ජනකායක් මැද ප්‍රකාශ කරනු ලැබුවා.

 

මේ මහා මංගල උත්සවය සදහා සතර දිගින් පැමිණ සිටියේ අති විශාල ජනකායක්. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ඉදිරිපිටින් ඇති මීගමුව – කොළඹ ප්‍රධාන මහා මාර්ගය පුරා ජනකාය රැස්ව සිටියා. මහා මාර්ගය ද නොසිතූ ලෙසින් අවහිර වූ අතර, මහා මාර්ගයේ එක් පසෙකින් හෝ වාහන ගමනා ගමනය සඳහා කටයුතු සලසා දීමට පොලිස් නිලධාරීන්ට දැඩි පරිශ්‍රමයක් දරන්නට සිදු වුනා. සිද්ධස්ථාන භූමිය තුල පමණක් නොව මහා මාර්ගයේ කිලෝ මීටර් ගණනාවක් දුරට පැතිරී සිටි ජනකාය, දෙව් මවුන්ගේ මේ ඓතිහාසික පූජනීය අවස්ථාවට මහත් භක්තියෙන් සහභාගි වුනා.

 

නිර්මල කන්‍ය මරිය මාතාවන්ගේ ඉල්ලීම ඉටු කරමින් අභිනව දර්ශණ දෙව් මැදුර පුද දෙන අවස්ථාවට සහභාගිවීම සඳහා, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය සිසාරා මීගමුව – කොළඹ මහා මාර්ගය ද වැසී ගොස් කිලෝ මීටර් ගණනාවක් දුරට රැස්ව සිටි මහා ජන ගංගාව ද, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා රැස්ව සිටි සැදැහැවතුන් ඉදිරියේ දෙව් මවුන් අමතා ප්‍රකාශයක් කරනා අයුරු ද මෙම ඡායාරූප මගින් ඔබට දැක ගත හැකියි

 

Holy Apostle of Sri Lanka

 

Holy Apostle of Sri Lanka

 

Holy Apostle of Sri Lanka

 

Holy Apostle of Sri Lanka

 

Holy Apostle of Sri Lanka

 

Holy Apostle of Sri Lanka

 

Holy Apostle of Sri Lanka

 

Holy Apostle of Sri Lanka

 

Holy Apostle of Sri Lanka

 

Holy Apostle of Sri Lanka

 

Holy Apostle of Sri Lanka

 

Holy Apostle of Sri Lanka