ඇත්තටම මරිය තුමියගේ නිර්මල හදවත තුල අප වෙනුවෙන් දැල්වී ඇති ආදරය පිළිබදව කිසිවෙකුත් කියන දේ අසාගැනීමට නොව, අපටම තේරුම් යන ස්ථානයක් සහ වේලාවක් ලෙස හැදින්විය හැකි, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය සහ හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීමේ අවස්ථාවට සහභාගි වීම සදහා සිතක් පහල වීම, ඇත්තටම ඒ පුද්ගලයාගේ පිනක් බව ඊට සහභාගි වූවන් කියන්නේ ඇයි දැයි යන්නට කෙටිම පිළිතුර සහ සාර්ථකම පිළිතුර වන්නේ, ඔබම ගොස් එම අවස්ථාවට සහභාගි වී බලන්න කියන පිළිතුරයි.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය යනු නිර්මල කන්‍ය මරිය මාතාවෝ විසි තුන් වතාවක් දර්ශණය වූ සිද්ධස්ථානයක්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වී ලොකයට ම අපොස්තුළුතුමෙකුව පත් කරනු ලැබූ සිද්ධස්ථානයක්. එම අපොස්තුළුතුමා අදටත් ජීවත් වන සිද්ධස්ථානය බැවින්, අද ලෝකයේ වැඩසිටින එකම අපොස්තුළුතුමා ජීවත් වන සිද්ධස්ථානයක්. එසේම නිර්මල මරිය මාතාවන් විසිතුන් වතාවක් මෙලොවදී ම දැකගැනීමේ සුවිශේෂී වාසනාව හිමිකර ගනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු නම්වූ මෙම අපොස්තුළුතුමා විසින් ලියන ලද, අද මරිය තුමී විසින් ඉතාමත් අගය කරනු ලබන යාච්ඤාව උච්චාරණය කරනු ලබන්නේ ද මෙම සිද්ධස්ථානයේයි.

 

නිර්මල මරිය තුමිය සුරලොව සිට ඉතාමත් ආශාවෙන් සවන් දෙනු ලබන මෙම යාච්ඤාව සෑම සෙනසුරාදාවකම සවස 6 ට උච්චාරණය කිරීම සදහා බැතිමතුන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට රොක් වන අතර සවස 6 සිට උදාවන එම කාලය ඇත්තටම මරිය තුමීය අපට කොතරම් ආදරේදැ යි අපට ම තේරුම් යන අවස්ථාවකි.

 

නිර්මල කන්‍ය මරිය තුමිය අපට ඇති ආදරය තුල ගැබ්වී ඇති සැනසීම පතාගෙන පසුගිය සෙනසුරාදා (2018 ජූනි 16) සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනට රැස්ව සිටි සැදැහැවතුන් අතරින් පිරිසක් ඔබට මෙම ඡායාරූප මගින් දැක ගැනීමට හැකි වනු ඇත