කමරාගොඩ ලක්ෂ්මන් රෝයි සිල්වා මහතා සහ ඒකල සශිකලා නිරෝෂනී මෙනවිය විවාහ දිවියට ඇතුලත් වීමේ, විවාහ මංගල දිව්‍ය පූජාව ලබන සෙනසුරාදා (ජනවාරි 26) සවස 4 ට, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී පැවැත්වෙනවා. ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විවාහ මංගල්‍ය දිව්‍ය පූජාවට සහභාගිවීම සඳහා සියළුම සැදැහැවතුන්ගේ ගෞරවනීය සහභාගිත්වය අපේක්ෂා කරන නව යුවල, ඒ සඳහා සියළුම සැදැහැවතුනට ගෞරවයෙන් ආරාධනය කර ද සිටිනවා.

 

ලක්ෂ්මන් රෝයි සිල්වා මහතා මුලින්ම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණියේ ඔහුට වයස අවුරුදු අටක් තරම් වූ පුංචි කාලයේයි. එදා දර්ශණ දෙව්මැඳුරේ පූජා උදව් සිසුවකු ලෙස ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ දේව මෙහෙයන්වලදී කටයුතු කරනු ලැබූ ඒ මහතා එතැන් සිට දශක දෙකකටත් වැඩි කාලයක් අප සිද්ධස්ථානයට සම්බන්ධ වෙමින් විවිධ තනතුරු දරමින් ආ ගමනේ, ඉතාමත් තීරණාත්මක ආරම්භයක් අප සිද්ධස්ථානයේදී ම ලබාගන්නේ ලබන සෙනසුරාදා සවසටයි. ඒ ඔහු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ හස්තයෙන් ආශිර්වාද ලබා නව යුග දිවි ඇරඹීමයි.

 

අපොස්තලික මාධ්‍ය ජාලය ඒ මහතාට සුභ පැතුම් පිරිනමන අතරම, අප ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ හස්තයෙන් පිදෙන විවාහ මංගල දිව්‍ය පූජාවට සහභාගි වීම සඳහා ලබන සෙනසුරාදා සවස පැමිණෙන මෙන් සියළුම බැතිමතුන්ට ද ගෞරවයෙන් ආරාධනය කරනවා. නව යුවල ද සියළු බැතිමතුන්ගේ සහභාගිත්වය බලාපොරොත්තු වෙනවා.

 

විවාහ මංගල දිව්‍ය පූජාවෙන් පසුව අපොස්තලික පිය පොදු හමුව පැවැත්වෙන බව අපොස්තලික දේව මෙහෙයන් සංවිධාන කාර්‍යාලය මගින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වන අතර, ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ව සමුවීමට ද සිරිත් පරිදි බැතිමතුන්ට අවස්ථාව ලැබෙන බව එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වෙනවා.

 

ඉහත ඡායාරූපයේ වම් පසින් සිටගෙන සිටින්නේ ලබන ජනවාරි 26 වෙනි දින යුගදිවි අරඹන ලක්ෂ්මන් රෝයි සිල්වා මහතායි. (2012 සැප්තැම්බර් 8 වෙනි දින ගනු ලැබූ ඡායාරූපයකි.)