කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය, ශ්‍රී ලංකාවේ පිහිටි නිර්මල කන්‍ය මරිය තුමිය දර්ශණය වූ එකම සිද්ධස්ථානයයි. එතුමිය විසිතුන් වතාවක් මෙම සිද්ධස්ථානයේ දර්ශණය වී ඇති අතර, එම දර්ශණයන් අතරින්, 9 වන දර්ශණය සිදුවූ 1975 පෙබ්‍රවාරි 11 වෙනි දින එතුමිය ප්‍රකාශ කරනු ලැබූ පණිවිඩයෙන් දන්වා සිටියේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සිදු කරනු ලබන දේව මෙහෙයන් සඳහා විශ්වාසයෙන් සහභාගි වන්නා වූ සැමටම දේව වරප්‍රසාද බෙදා දෙන බවයි, එය එතුමියගේ ආශාවක් බවයි. නිර්මල කන්‍ය මරිය මාතාවන්ගේම වචනයෙන් කියනවානම් ‛‛මෙම දේව මෙහෙයන්ට විශ්වාසයෙන් සහභාගි වන අයට ඔබ මගින් දේව වරප්‍රසාද බෙදා දීම මාගේ ආශාවයි’’ යනුවෙන් එතුමිය ප්‍රකාශ කරනු ලැබුවා.

 

මෙම පණිවිඩයෙන් පසු ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් පවත්වනු ලබන දේව මෙහෙයන්ට විශ්වාසයෙන් සහභාගි වන්නාවූ සෑම සියළු දෙනාම, ජාති, ආගම් භේදයෙන් තොරව දෙව් මවුන් වෙතින් ලැබූ පිහිට මෙන්ම මේ වන විට ද ලබා ගනිමින් සිටින ඉතාමත් පුදුමාකාරයි.

 

උපතේ සිට ආරම්භ කරන්නා වූ මේ ජීවිත ගමනේ දී බලාපොරොත්තු නැතිවී, අසරණ වූ මොහොතේ අපට සිටින්නා වූ ප්‍රබල සැනසුම්කාරිය වූ දයාබර කන්‍ය මරිය මාතාවෝ අද අප අතරම ජීවමාන වෙමින් ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සිට අපට සැනසුම ලබා දෙයි. ඒ සඳහා අපට මග පෙන්වමින් දෙව් මවුන්ගේ ආදරය වෙත අපව යොමු කරනුයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ය.

 

නිර්මල කන්‍ය මරිය මාතාවන්ව විසිතුන් වතාවක් තම දෑසින් දැක ගැනීමේ සුවිශේෂී වාසනාව හිමිකරගනු ලැබූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින් දෙව් මවුන් අමතා ලියනු ලැබූ යාච්ඤාවක් අතිශයින්ම එතුමියගේ සිත්ගත් යාච්ඤාවක් බවට පත්වී තිබෙනවා. අප එසේ කියන්නේ එම යාච්ඤාව උච්චාරණය කරනු ලැබීමෙන් අදත් සැදැහැවතුන් ලබා ගන්නා අප්‍රමාණ වරප්‍රසාද නිසයි.

 

මේ යාච්ඤාව සැම තැනකම, සැම දිනකම උච්චාරණය කල හැකි යාච්ඤාවක් නොවෙයි. මෙම යාච්ඤාව සමග කල යුතු පිළිවෙත් කීපයක්ම තිබෙනවා. සතියකට එක වරක් පමණක් මෙම යාච්ඤාව උච්චාරණය කල යුතු අතර, ඒ සඳහා නියම කර ඇති දවස වන්නේ සෙනසුරාදායි. වේලාව සවස පහටයි. නිර්මල කන්‍ය මරිය මාතාවන් දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී යාච්ඤාව උච්චාරණය කල යුතු අතර, දෙව් මවුන්ගේ ප්‍රතිමාව ඉදිරිපිට දී එය සිදු කල යුතුයි. ඒ සඳහා එතුමියගේ ප්‍රතිමාවක් ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින් ම සැදැහැවතුන් වෙත සපයා දී තිබෙනවා. සෑම සෙනසුරාදා දවසකම, මෙම ප්‍රතිමාව ඉදිරියේ හාස්කම් යාච්ඤාව උච්චාරණය කරන අවස්ථාවලදී, මෙම ප්‍රතිමාවෙන් ජීවමාන ලකුණු දැක ගැනීමට සැදැහැවතුන්ට හැකිවීම ප්‍රාතිහාර්‍යයක්. නිර්මල කන්‍ය මරිය තුමිය වෙතින් තමන් බලාපොරොත්තු වන විශේෂ පිහිට කුමක්දැයි ලිවූ ලිපියක් හාස්කම් යාච්ඤාව අතරේ දී දෙව් මවු ප්‍රතිමාව ඉදිරියේ උඩට එසවිය යුතු අතර, එම ලිපිය දෙව් මවු ප්‍රතිමාව ඉදිරියේ දීම රතු පෙට්ටිය තුලට දැමීමත් කල යුතු වෙනවා. මේ සඳහා සිද්ධස්ථානයෙන් නිකුත් කරනු ලබන ලිපි කවර පමණක් පාවිච්චි කල යුතුයි.

 

සෑම සෙනසුරාදාවකම මෙන්ම ලබන සෙනසුරාදාත් සවස 5 ට, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී හාස්කම් යාච්ඤාව උච්චාරණය කරනු ලබන අතර, ඊට සසභාගි වීමට ඔබ කැමතිනම් පමණක්, සවස 4.30 වන විට, ශ්‍රී ලංකාවේ දී නිර්මල කන්‍ය මරිය මාතාවන් දර්ශණය වූ ප්‍රථම සහ එකම සිද්ධස්ථානය වන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණෙන්න. සවස 4.30 සිට ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන තුලට සැදැහැවතුන් ඇතුළු කිරීමට ආරම්භ කරනවා.

 

2019 ජූනි 1 වෙනි සෙනසුරාදා සවස, නිර්මල කන්‍ය මරියෝත්තමාවන් වූ කටුනායක අප ස්වාමිදූගේ සරණය සොයා විවිධ ප්‍රදේශයන්ගෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණ සිටි සැදැහැවතුන්, සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනට ඇතුළු වී, නිර්මල කන්‍ය මරිය තුමිය ව විසිතුන් වතාවක් දැකගැනීමේ සුවිශේෂී භාග්‍ය හිමිකර ගනු ලැබූ සහ මෙම හාස්කම් යාච්ඤාව ලියනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ලියනු ලැබූ මෙම හාස්කම් යාච්ඤාව ඉමහත් බැතියෙන් පුද කරනු ලැබුවා. පැමිණි සියළුදෙනාගේම ආරක්ෂාව තහවුරු කරමින් ත්‍රිවිධ හමුදා සහයෝගය ද සමගින් විශේෂ ආරක්ෂක විධි විධාන යෙදීමට සිද්ධස්ථාන පාලක මණ්ඩලය විශේෂයෙන් කටයුතු සලස්වා තිබුණා. පසුගිය සෙනසුරාදා (2019 ජූනි 1) හාස්කම් යාච්ඤාවේ විවිධ අවස්ථාවන් මෙහි ඡායාරූප මගින් ඔබට දැක ගත හැකියි