කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත දෙව් මවුන්ගේ ප්‍රතිමාව සහිත මණ්ඩපය ඉවත් කිරීමට පෙර, ‛දෙව් මවුන්ට සමුදීමේ උපහාර මෙහෙය’ ලබන සෙනසුරාදා (අගෝස්තු 3 වෙනිදා) සවස සිදුකිරීමට නියමිතව තිබුනද, එම උපහාර මෙහෙය ඔක්තෝම්බර් 5 වෙනි සෙනසුරාදා දක්වා කල්දමනු ලැබූ බව ජූලි 27 වෙනි සෙනසුරාදා සවස, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය රැස්ව සිටි බැතිමතුන් අමතා නිල වශයෙන් දැනුම් දෙනු ලැබුවා.

 

මේ පිළිබඳව නිවේදනය අපොස්තලිකාසන මාධ්‍ය කාර්‍යාලය මගින් නිකුත් කර තිබුණ අතර, එම නිවේදනය ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ පුද්ගලීක සහයක ලක්ෂ්මන් රෝයි සිල්වා මහතා විසින් කියවනු ලැබුවා.

 

එම නිවේදනය මෙසේය

 

අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලොවට උපන් රාත්‍රියේදී උන්වහන්සේගේ උපත පිළිබඳව එඬේරුන්ට දැනුම් දෙනු ලැබූ දේව දූතයා සිය පණිවිඩය ආරම්භ කරනු ලැබුවේ මෙසේයි. ‛‛මෙන්න, සකල ජනයා හට ඉතා ආනන්දජනක මංගල පුවතක් මම ඔබ වෙත ගෙනෙමි’’ යනුවෙන් පවසමිනුයි.

 

නිර්මල මරිය මව දර්ශණය වූ මෙම භූමියට රැස්ව සිටින්නාවූ සැදැහැවතුනි, එලෙසම ඔබ සියළු දෙනාටම ඉතා ආනන්දජනක මංගල පුවතක් සැල කිරීමටයි මේ සූදානම.

 

අපගේ මෙම සිද්ධස්ථානයේ අභිනව දර්ශණ දෙව්මැඳුර ඉදිකිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. මේ යටතේ සිද්ධස්ථාන භූමිය ද ක්‍රමවත් සැලසුමකට අනුව අලංකාරව සකස් කරනු ලබනවා. මේ නිසා සිද්ධස්ථාන භූමියෙහි ඉදිකර ඇති අප දයාබර දෙව් මවුන්ගේ ප්‍රතිමාව සහිත මණ්ඩපය ද ඉවත් කරනු ලබනවා. ප්‍රතිමා මණ්ඩපය කඩනු ලැබුවත්, දෙව් මවු ප්‍රතිමාව අභිනව දර්ශණ දෙව්මැඳුරේ, මහා මාර්ගයට මුහුණලා ඉදිරිපස, ඉහළින්ම ස්ථාපිත කිරීමයි සිදුවන්නේ.

 

මෙම දෙව් මවු ප්‍රතිමාව 1984 පෙබ්‍රවාරි 12 වෙනි සෙනසුරාදා සවස ශුද්ධෝත්තම දසසතර වන අපොස්තුළු තුමන්ගේ සුරතින් ආසිරි ගන්වා මෙම සිද්ධස්ථාන භූමියෙහි ස්ථාපිත කරනු ලැබුවා. උන්වහන්සේගේම ප්‍රධානත්වයනේ පැවැත්වෙන දෙව් මවුන්ට සමුදීමේ උපහාර මෙහෙයකින් පසුව ප්‍රතිමාව ඉවත් කිරීමටයි සිද්ධස්ථාන පාලක කමිටුව තීරණය කර තිබෙන්නේ.

 

දෙව් මවුන්ට සමුදීමේ උපහාර මෙහෙය ලබන සෙනසුරාදා සවස 6.30 ට සිදු කිරීමටයි අප විසින් සැලසුම් කර තිබුනේ. එහෙත් එම දිනය සති කීපයකින් කල් දැමීමට සිදුවී ඇති බව ඔබට දන්වන්නේ ඉතාමත් සතුටිනුයි. හේතුව, එම දිනය සති කීපයකින් කල් දැමීමට සිදුවී ඇත්තේ මෙම ප්‍රතිමාවෙන් පෙනෙන දෙව් මවුන් විසින්ම, දේවදූතයකු මගින් ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් වෙත එවා ඇති පණිවිඩයක් නිසයි. පණිවිඩයෙන් දෙව් මවුන් පවසා ඇත්තේ එතුමියගේ ප්‍රතිමාව ඉවත් කිරීමට පෙර, දින නවයක් ප්‍රතිමාව අසල ජපමාලය ඔප්පු කල යුතු බවයි.

 

ඇත්තෙන්ම මෙම ප්‍රතිමාව ඉවත්කිරීමේ සිදුවීම සමග දෙව් මවුන් ද අප සමග සිටිමින්, අප දෙස බලා සිටිමින්, අප කරන්නට යන දේවල් ගැන අවධානය යොමු කරමින්, අප කියන දේවල් අසා සිටිමින්, දෙව් මවුන්ට සමුදීමේ උපහාර මෙහෙයහා එක්වීම මෙයින් පැහැදිලි වන ඉතාමත් සතුටුදායක පණිවිඩයයි. මෙම සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත දෙව් මවු ප්‍රතිමාව ඉවත් කිරීම වැනි සරල සිද්ධියක් ගැන පවා දෙව් මවුන් සිය අවධානය මේ වෙත යොමා සිටීම අප හදවත් තුල දැන් ඇතිවී ඇත්තේ කිව නොහැකි තරමේ ආනන්දයක්.

 

මරිය තුමියගේ ආයාචනයට අපගේ ප්‍රතිචාරය ද ඉහළින්ම දක්වමින් ලබන සෙනසුරාදා සිට සෙනසුරාදා නවයක් මෙම සිද්ධස්ථානයේ දෙව් මවු ප්‍රතිමාව අභියස ජපමාලය ඔප්පු කරනවා. මෙම නව දින ජපමාලය පුද කරනු ලබන ඉදිරි සෙනසුරාදාවන් මෙසේයි.

 

පළමුවන ජපමාල දිනය අගෝස්තු 03 සෙනසුරාදා සවස 4 ට

 

දෙවන ජපමාල දිනය අගෝස්තු 10 සෙනසුරාදා සවස 4 ට

 

තුන්වන ජපමාල දිනය අගෝස්තු 17 සෙනසුරාදා සවස 4 ට

 

සතරවන ජපමාල දිනය අගෝස්තු 24 සෙනසුරාදා සවස 4 ට

 

පස්වන ජපමාල දිනය අගෝස්තු 31 සෙනසුරාදා සවස 4 ට

 

සයවන ජපමාල දිනය සැප්තැම්බර් 07 සෙනසුරාදා සවස 4 ට

 

සත්වන ජපමාල දිනය සැප්තැම්බර් 14 සෙනසුරාදා සවස 4 ට

 

අටවන ජපමාල දිනය සැප්තැම්බර් 21 සෙනසුරාදා සවස 4 ට

 

නවවන ජපමාල දිනය සැප්තැම්බර් 28 සෙනසුරාදා සවස 4 ට

 

මේ ආකාරයෙන් ලබන සෙනසුරාදා සිට ඉදිරි සෙනසුරාදාවන් නවය තුල දෙව් මවුන්ගේ ආයාචනයට, අපගේ ආදරණීය ප්‍රතිචාරය ද දක්වමින්, සිද්ධස්ථාන භූමියේ දෙව් මවු ප්‍රතිමාව අභියස ජපමාලය උච්චාරණය කෙරෙන අතර, නව වන සෙනසුරායින් පසුව එළඹෙන, ඔක්තෝම්බර් 5 වෙනි සෙනසුරාදා සවස 6.30 ට ‛දෙව් මවුන්ට සමුදීමේ උපහාර මෙහෙය’ මේ වන විටත් සැලසුම් කර ඇති පරිදිම අති උත්කර්ෂවත් අන්දමින් ද, අති අභිමානවත් අන්දමින් ද පවත්වනු ලබනවා.

 

දෙව් මවුන්ගේ ආයාචනයට අපගේ ආදරණීය ප්‍රතිචාරය දක්වමින් ලබන සෙනසුරාදා සිට ආරම්භවන නවදින ජපමාල උච්චාරණය සඳහා ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් ද සහභාගි වෙනවා. මෙය දෙව් මවුන්ගේ ඉල්ලීමක් බැවින් සියළුම සැදැහැවතුන් මෙම නවදින ජපමාලය සඳහා අනිවාර්‍යයෙන්ම සහභාගි වන්න.

 

ලබන සෙනසුරාදා සිට ඉදිරි සෙනසුරාදාන් නවය තුල ජපමාලය පුද කිරීම සඳහා ශුද්ධෝත්තම අපොස්තුළු තුමා, ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනට සැපත්වන්නේ සවස 4 ටයි. ඉන්පසු කහ පැහැති රෝසමල් ඉටිපහන් අතින් රැගෙන සැදැහැවතුන් සියළු දෙනාම, එක් අයෙක් පිටුපසින් එක් අයෙක් ලෙසට ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් වෙත යන්න. එවිට ඔබගේ අත ඇති රෝසමල් ඉටිපහන, උන්වහන්සේගේ සුරතින් දල්වනු ලබනවා. උන්වහන්සේ දැල්වූ ඉටිපහන ඔබ රැගෙන ගොස්, දෙව් මවු ප්‍රතිමා මණ්ඩපය ඉදිරිපිට තැන්පත් කරන්න. මෙලෙස ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ සුරතින් දල්වා දුන් රෝසමල් ඉටිපහන් සියළු සැදැහැවතුන් විසින් දෙව් මවුන් පාමුළ තැන්පත් කිරීමෙන් පසුව දෙව් මවුන්ගේ ආයාචනයට අනුව ජපමාල උච්චාරණය ආරම්භ කරනු ලබනවා.

 

මේ අනුව ලබන සෙනසුරාදා සවස 6.30 ට ආරම්භ කිරීමට නියමිතව තිබූ ‛දෙව් මවුන්ට සමුදීමේ උපහාර මෙහෙය’ පැවැත්වෙන්නේ ඔක්තෝම්බර් 5 වෙනි සෙනසුරාදා සෙනසුරාදා සවස 6.30 ටයි. ලබන සෙනසුරාදා සවස 4 ට, ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් සමග ජපමාල උච්චාරණය ආරම්භ වන අතර, ජපමාල උච්චාරණයෙන් පසුව ශුද්ධෝත්තම අපොස්තුළු තුමා සියළු සැදැහැවතුන්ට උන්වහන්සේගේ අපොස්තලික ආශිර්වාදය දානය කරනු ලබනවා.

 

දෙව් මවුන්ගේ ආයාචනය නිසා මහත් සතුටින් යුතුව ‛දෙව් මවුන්ට සමුදීමේ උපහාර මෙහෙය’ට සහභාගි වීමට අප විශ්වාසවත් සැදැහැවතුන්ට අවකාශ ලැබී තිබෙනවා. මෙම දින නවය දෙව් මවුන්ට ප්‍රසන්න අන්දමින් ජපමාලය උච්චාරණය කිරීමට සැදැහැවත් ඔබ සැම උනන්දු වන්නේ නම්, සෙනසුරාදාවන් නවය අවසන් වීමෙන් පසුව එළඹෙන ඔක්තෝම්බර් 5 වෙනි සෙනසුරාදා සවස 6.30 ට පැවැත්වෙන ‛දෙව් මවුන්ට සමුදීමේ උපහාර මෙහෙය’ අවස්ථාවේදී, දෙව් මවුන්ගේ සතුට පිරි සිනහ සපිරි මුහුණ සැදැහැවතුන්ට දැකගැනීමට ලැබෙන බව ස්ථීරයි. එම අවස්ථාව ඔබගේ ඉල්ලීමක් දෙව් මවුන්ට පුද කිරීමට ඔබට ලැබෙන ඉතාමත් දුර්ලභ වරප්‍රසාද අවස්ථාවක්.