කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී මෙම වසරේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මධ්‍යම රාත්‍රී නත්තල් දේව මෙහෙය සම්බන්ධයෙන් උන්වහන්සේ විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
අපොස්තුළුවරයට පත් වූ 1975 සිට මේ දක්වා සෑම නත්තලක දී ම මධ්‍යම රාත්‍රී නත්තල් දේව මෙහෙය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පවත්වනු ලැබූ බව සිහිපත් කරමින් සිය නිවේදනය ආරම්භ කර ඇති ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මෙම වසරේ උදාවන්නේ තම අපොස්තුළුවර දිවියේ හතලිස් සය වන නත්තල බවත් මෙය පෘතුවිය මත උන්වහන්සේගේ වර්තමාන ජීවිත කාලයේ 64 වන නත්තල බවත් සදහන් කර ඇත.
කොවිඩ් 19 දරුණු වසංගතය මුළු ලොවටම බලපාන මෙම කාලයේ ශ්‍රී ලංකාවට නත්තල උදාවන විට, වසංගත තත්වය ශ්‍රී ලංකාවට අවධානම් ලෙ බලපා ඇති බවත්, බස්නාහිර පලාත තුල තත්වය ද අවධානම් සහිත බවත් සිය නිවේදනයේ සදහන් කර ඇති ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, මෙම වසරේ මධ්‍යම රාත්‍රී නත්තල් දේව මෙහෙය සම්පූර්ණයෙන් ම බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් තොරව, අපොස්තලික මාධ්‍ය ජාලයේ, නිල යූ ටියුබ් නාලිකාව හරහා දෙසැම්බර් 24 වෙනි දින රාත්‍රී 11.45 සිට සම්පූර්ණයෙන් ම විසුරුවා හැරීමට සැලසුම් කර ඇති බව සදහන් කර ඇත.
මේ පිළිබදව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
මා අපොස්තුළු තත්වයට පත්වූ 1975 වසරේ සිට මේ දක්වා උදා වූ සෑම නත්තලකදී ම, නත්තල් දේව මෙහෙය පවත්වනු ලැබුවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී යි. මෙම වසරේ උදාවන්නේ මගේ අපොස්තුළුවර දිවියේ හතලිස් සය වන නත්තලයි. මේ පෘතුවිය මත මාගේ වර්තමාන ජීවිත කාලයේ 64 වන නත්තලයි. සෑම වසරකම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී මා විසින් පුද කරනු ලබන නත්තල් දිව්‍ය පූජා මෙහෙයට සහභාගිවීම සඳහා ඉතා දුර බැහැර ප්‍රදේශයන්හි සිට පැමිණෙන බැතිමතුන් ද සිටිනවා. මේ අතර විශේෂයෙන් සඳහන් කල යුතු කරුණක් වන්නේ, වයෝවෘධ තත්වය නිසා ගෙවල්වලට ම සීමාවී සිටින ඇතැම් බැතිමතුන්, නිවසින් පිටතට යන එකම අවස්ථාව, වසරකට වරක් නත්තල් දිනයේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණ, මගේ නත්තල් දේව මෙහෙයට සහභාගි වීමයි.
මේ සියළු කරුණු සැලකිල්ලට ගනිමින්, මෙම වසරේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ නත්තල් දේව මෙහෙය පිළිබඳව මා විසින් යම් තීරණයක් ගත යුතුව ඇත්තේ, මෙවර නත්තල උදාවන්නේ, කොවිඩ් 19 වසංගත තත්වය මුළු ලොවට ම දරණු ලෙස බලපාන අවස්ථාවක බැවිනුයි. අප ශ්‍රී ලංකාවේ තත්වය ද යහපත් යයි අපට තක්සේරු කල නොහැකියි. බස්නාහිර පලාත අවදානම් තත්වයක පවතියි. රජය විසින් හඳුන්වා දී ඇති ආරක්ෂිත සෞඛ්‍ය ක්‍රම වේදයන්, බොහෝ දෙනෙක් අවබෝධයෙන් යුතුව පිළිපදින බවක් නොපෙනෙයි.
මේ අනුව මෙම වසරේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ නත්තල් දේව මෙහෙය සම්පූර්ණයෙන් ම බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් තොරව, අපොස්තලික මාධ්‍ය ජාලයේ, නිල යූ ටියුබ් නාලිකාව හරහා දෙසැම්බර් 24 වෙනි දින රාත්‍රී 11.45 සිට සම්පූර්ණයෙන් ම විසුරුවා හැරීමට සැලසුම් කර ඇති බව ඔබට දැනුම් දීමට කැමතියි. මෙම අවස්ථාව තම නිවසින් පිටතට යාමට සුදුසු අවස්ථාවක් නොවෙයි. විශේෂයෙන් කුඩා දරුවන් මෙන්ම, වයෝවෘධ අයවළුන් කෙරෙහි අප සැලකිලිමත් විය යුතුමයි. වසරකට වරක් නත්තල් දේව මෙහෙයට සහභාගි වීමට ඔවුන් දක්වන උනන්දුව ඉදිරියේ, ඔවුන්ව ගෙදර තනි කර දමා, පවුලේ අනික් පිරිස නත්තල් දේව මෙහෙයට සහභාගි වීම සඳහා පැමිණිය හොත්, එය ඔවුන්ට විශාල දුකක් වෙයි. එමනිසා, මෙවර මාගේ නත්තල් දේව මෙහෙය සඳහා, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණීමෙන් වැලකී, අන්තර් ජාලය හරහා සජීවීව විකාශය කරනු ලබන නත්තල් දේව මෙහෙයට පවුලේ සියල්ලන් සමගින් අධ්‍යාත්මිකව සහභාගි වන්න.
මෙම 2020 වසර පුරා අපගේ සියළු බෞද්ධ පිංවතුන්, ඔවුන්ගේ ආගමීක උත්සවයන් යෙදුන කාලසීමාවන් වලදී අවබෝධයෙන් යුතුව ක්‍රියා කල ආකාරය, මේ නත්තලේ දී අපි සිහියට නගාගෙන එය ආදර්ශයට ගත යුතුයි. අපගේ සහෝදර බෞද්ධ පිංවතුන් වෙසක් උත්සවය මෙන්ම පොසොන් උත්සවය ද, මෑතක සිදු වූ කඨින පූජා පිංකම් ද සිදු කරනු ලැබුවේ ඉතා දරුණු සීමාවන් මැද, බොහෝ විට, නිවෙස්වල සිටයි. කඨින පිංකම් යෙදුන කාලයේ, කොවිඩ් වසංගතය යම් පාලන මට්ටමක තිබුණත්, බෞද්ධ පිංවතුන් විශාල කැපවීමකින් යුතුව, පිළිවෙත් කටයුතු බොහෝ සීමාකරමින්, ඒවා සිදුකරනු ලැබූ බව අපි අමතක නොකල යුතුයි. මේ අවස්ථාවේ කොවිඩ් වසංගතය පැතිරෙමින්, යම් අවධානමක් ද ඇති කාලසීමාවක උදාවන නත්තල අප කෙලෙස සැමරිය යුතු ද කියා සිතා බැලිය යුතුයි. මෙම ගෙවීයන වසර පුරා, හින්දු සහ ඉස්ලාම් බැතිමතුන්ට ද, ඔවුන්ගේ ආගමීක කටයුතු පාලනය කර ගැනීමට සිදු වූ බව මට මතකයි.
අප ගරුතර මහා සංඝ රත්ණය ප්‍රධාන, සියළු බෞද්ධ පිංවතුන් වෙතින් ද, හින්දු සහ ඉස්ලාම් බැතිමතුන් වෙතින් ද මෙම වසර පුරා ආගමීක උත්සව අවස්ථාවන් හි දී අප ලද ආදර්ශයට ගරු කරමින් සහ ආගමීක සංහිඳියාව ද පසක් කරමින් මෙම නත්තල අපි ද නිවෙස්වලට වී සමරමු.
මෙවැනි දරුණු වසංගත අවස්ථාවක දී, රජයේ සෞඛ්‍ය අංශ මගින් අපට ලබා දී ඇති උපදෙස් කෙරෙහි බුද්ධිමත්ව කල්පනා කර, අවබෝධයෙන් ක්‍රියා කරන්නේ නම්, සංචරණ සීමා පැනවීම් හෝ හුදකලා කිරීම් වැනි පියවර ගැනීමට රජයට හෝ ආරක්ෂක අංශවලට අවශ්‍යතාවයක් නොවන්නේමයි. අපට, අපවම පාලනය කරගත හැකිනම්, කොවිඩ් සඳහා පමණක් නොව බොහෝ දේ සඳහා, එය යහපත් ම විසඳුමයි.
විඩීයෝව පහතින් නරඹන්න