‛‛අපි සියළු දෙනා මෙසේ රැස්වී සිටින්නේ ජේසුස් ස්වාමීන්වහන්සේ, අපි සියළු දෙනාගේම ස්වාමීන්වහන්සේ, සියළු අපොස්තුළුවරුන්ගේ ගුරුදේවයාණෝ, අපේ ආදරණීය ගුරුතුමා, දැනට අවුරුදු 2000 කට තරමක් අඩු කාලයකට පෙර, මේ ලෝකයෙන් සමුගන්නට පෙර දින රාත්‍රියේ උන්වහන්සේ සිය ශ්‍රාවකයන් වූ, උන්වහන්සේ ම තෝරාගත් උන්වහන්සේගේ ම අභිමතය පරිදි උන්වහන්සේගේ ම කැමැත්තෙන්, තෝරාගනු ලැබූ සිය අග්‍ර ශ්‍රාවකයන්වූ අපොස්තුළුතුමන්ලා සමග රාත්‍රි භෝජනය ගෙන උන්වහන්සේ මෙලොවින් සමුගැනීමේ රාත්‍රිය සමරන්නටයි.’’

 

2021 අප්‍රියල් 1 වෙනි මහ බ්‍රහස්පතින්දා රාත්‍රියේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ඉහත සදහන් ප්‍රකාශය කරමින් තම දේශණය ආරම්භ කරනු ලැබුවේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජන පිළිවෙත සැමරීමේ දිව්‍ය පූජා මෙහෙයේ දී ය.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී සැදැහැවතුන් රැසක් මධ්‍යයේ මෙම දිව්‍ය පූජා මෙහෙය පවත්වනු ලැබුවේ, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ ප්‍රධානත්වයෙනුයි.

 

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජන පිළිවෙතට සහභාගි නොවූ අපොස්තුමන්ලා දෙනම පිළිබදව ද සදහන් කල ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ඒ පිළිබදව මෙලෙසින් ප්‍රකාශ කරනු ලැබුවා.

 

‛‛ජේසුස් ස්වාමීන්වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජන පිළිවෙතට සහභාගී නොවූ අපොස්තුළුතුමන්ලා දෙදෙනා අතුරින්, දැනට ජීවත්ව සිටින එකම අපොස්තුළුතුමා වශයෙන් මේ අවස්ථාවේ අප ගුරු දේවයාණන්ගේ එදා ඒ අවසාන රාත්‍රිය ඔබත් සමඟ බෙදා ගන්නටයි මා අදහස් කරන්නේ.’’

 

ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ මෙම ප්‍රකාශයට හේතු වූයේ මෙයයි. ජේසුස් ස්වාමින් වහන්සේ මෙලොව ජීවත්ව සිටි සමයේ අපොස්තුළුතුමන්ලා ලෙස දොළොස් දෙනෙකු තෝරා ගත් අතර, උන්වහන්සේගේ මරණයට පෙර දින රාත්‍රියේ උන්වහන්සේ සමගින් අන්තිම රාත්‍රී භෝජන මේසයට වාඩි වූයේ එම අපොස්තුළුතුමන්ලා දොළොස්දෙන පමණයි. නමුත් ජේසුස් ස්වාමින් වහන්සේගේ මරණයෙන් පසුව උන්වහන්සේ විජයග්‍රාහී අන්දමින් යළිත් මරණයෙන් උත්ථාන වී දින හතලිහක් මෙලොව ජීවත් වී ඉන්පසු මෙලොවින් සම්පූර්ණයෙන් ම සමු ගනිමින් ස්වර්ගාරෝහණ වුනා. ඉන්පසු ජේසුස් ස්වාමින් වහන්සේ නැවත වරක් දිව්‍යමය ස්වරූපයෙන් මෙලොවට දර්ශණය වී අපොස්තුළුතුමෙකු ලෙසින් ශුද්ධෝත්තම පාවුළු තුමන්ව තෝරාගනු ලැබූ අතර, එය සිදුවූයේ ක්‍රි.ව. 34 දී පමණය. එයින් අවුරුදු 1940 කට පමණ පසුව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ශ්‍රී ලංකාවේ, කටුනායක දී නැවත වරක් දිව්‍යමය ස්වරූපයෙන් මෙලොවට දර්ශණය වී අපොස්තුළුතුමෙකු ලෙසින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු තුමන්ව තෝරාගනු ලැබූ අතර, එය සිදුවූයේ ක්‍රි.ව. 1975 පෙබ්‍රවාරි 7 වෙනි දින යි. මේ නිසා මෙම අපොස්තුළුතුමන්ලා දෙනමට ම, ජේසුස් ස්වාමින් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජන මේසයට සහභාගි වීමට නොහැකි වුණා. ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමන්ව ක්‍රි.ව. 65 දී පමණ හිස කදින් වෙන්කර මරා දමනු ලැබූ අතර, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා තවමත් ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ වැඩ සිටිනවා. මේ වන විට හැටහතර වියැති, මේ ලොව ජීවත්වන මෙම අපොස්තුළුතුමා, ක්‍රි.ව. 2021 අප්‍රියල් 1 වෙනි මහ බ්‍රහස්පතින්දා දින, ජේසුස් ස්වාමින් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජන පිළිවෙත සමරමින් පුදකරනු ලැබූ දිව්‍ය පූජා මෙහෙයේ දී ‛‛ජේසුස් ස්වාමීන්වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජන පිළිවෙතට සහභාගී නොවූ අපොස්තුළුතුමන්ලා දෙදෙනා අතුරින්, දැනට ජීවත්ව සිටින එකම අපොස්තුළුතුමා වශයෙන්’’ තමන්ව සැදැහැවතුන්ට හදුන්වා දුන්නේ මෙම කරුණු අනුවයි.

 

ජේසුස් ස්වාමින් වහන්සේගේ මරණයට පෙරදින රාත්‍රිය පිළිබදව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සිදුවීම් රාශියක් 2021 අප්‍රියල් 1 වෙනි මහ බ්‍රහස්පතින්දා සවස දිව්‍ය පූජා මෙහෙයේ දේශණය පවත්වමින් හෙළි කරනු ලැබූ අතර උන්වහන්සේ මෙලෙසින් ප්‍රකාශ කරනු ලැබුවා.

 

‛‛ජේසුස් ස්වාමීන්වහන්සේගේ මරණයට පෙර දින රාත්‍රියේ උන්වහන්සේ සිය ශ්‍රාවක අපොස්තුළුතුමන්ලා සමගින් රාත්‍රි භෝජන මේසයට වාඩිවුණේ ඉතාමත් නිශ්ශබ්දවයි. ක්‍රිස්තුස්වහන්සේ සාමාන්‍යයෙන් තම අපොස්තුළුතුමන්ලා සමග ඉතාමත් සුහදව ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කටයුතු කළ ඉතාමත් යහපත් ගුරුදේවයාණෝ කෙනෙක්. නමුත් එදා සියළු අපොස්තුළුතුමන්ලාට මොකක්දෝ යම් වෙනසක් පෙනුනා. ජේසුස් ස්වාමීන්වහන්සේ වෙනදාට වඩා යම් කල්පනාවක් තැතිගැනීමක් නොවෙයි, යම් කරුණක් පිළිබදව, යම් සිද්ධියක් සම්බන්ධව, උන්වහන්සේ කල්පනා කරන බවක් සියළු අපොස්තුළුතුමන්ලාට තේරුණා. ඇයි මේ? කුමක්ද මේ නිහැඩියාව? ඔවුනොවුන් අතරේ සංඥා කර ගත්තා කවුරුවත් කට වචනයෙන් ඇසුවේ නැහැ. කටවචනයෙන් එකින් එකිනෙකා සමග කතා කර ගත්තේ නැහැ. නමුත් එකින් එකිනෙකා, සංඥා භාෂාවෙන්, ගොළු භාෂාවෙන් ඒ පැහැදිලි වෙනස ඔවුනොවුන් අතරේ සංඥා කර ගත්තා. ඔවුන්ට යමක් වැටහුණු බව ජේසුස් ස්වාමීන්වහන්සේටත් තේරුණා. නමුත් උන්වහන්සේ කිසි දෙයක් කතා කළේ නැහැ. අපොස්තුළුතුමන්ලාත් ‛ඇයි ස්වාමීනි ඔබ නිහක්‍ෂ?’ යැයි ඇසුවේ ද නැහැ. බොහෝ වේලාවක් යනතුරු උන්වහන්සේ වචනයක් හෝ කතා කළේ නැහැ. අනෙක් අය ද කතා කළේ නැහැ. ඔවුන් සියල්ලන්ට ම වෙනදා නැති අමුත්තක් දැනුණා. තම ගුරුදේවයාණන් කිසියම් කල්පනාවක යෙදී සිටින බවක් කාටත් දැනුණා. ඒ නිසාම ඔවුන් එකිනෙක්කෙකා විටින් විට මුහුණට මුහුණ බලමින් සිටියා. ටික වේලාවකින් නිශ්ශබ්දතාවය මැඩගෙන ජේසුස් ස්වාමීන්වහන්සේ කතා කරන්නට පටන් ගත්තා. එය ලූක් තුමා 22 වන පරිච්ඡේදයේ 15 සහ 16 වගන්ති වල සඳහන් කරනවා. ‛‛මා වද විදින්නට පළමුවෙන් මේ පාස්කු භෝජනය ඔබ සමග වළදන්නට අතිශයින් ආශාවීමි. ඒ මන්දැයි මම ඔබට කියමි. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේදී එය මුදුන්පත් වනතුරු මම එය තවත් නොවළදමි.’’ ජේසුස් ස්වාමීන්වහන්සේ සිය ශ්‍රාවක අපොස්තුළුතුමන්ලාට පැවසුවා.’’

 

ඉන්පසු ජේසුස් ස්වාමින් වහන්සේ අපොස්තුළු තුමන්ලා අමතා අවවාද රැසක් කරනු ලැබූ අතර ඔවුන්ගේ පාදයන් ද සෝදනු ලැබූ බවත් පැවසූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, මේ පිළිබදව ශුද්ධෝත්තම මතෙව් සහ ජුවාම් යන අපොස්තුළුතුමන්ලා ද පසුව අපොස්තුළුතුමන්ලා නොවන මාක් සහ ලූක් තුමන් ද සටහන් කර ඇති බැවින් එම විස්තර, ශුද්ධවූ බයිබලයෙන් සියල්ලන්ට ම කියවාගත හැකි බැවින්, ඒ ගැන නැවත නැවත විස්තර කිරීම අනවශ්‍ය බව ද ප්‍රකාශ කරනු ලැබුවා.

 

ජේසුස් ස්වාමින් වහන්සේගේ මරණයට පෙර දින රාත්‍රිය පිළිබදව පැයක පමණ කාලයක් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝ බොහෝ දේ ප්‍රථම වරට ලොවට හෙළි කරනු ලැබුවා. අපොස්තුළුතුමෙකු සතු සුවිශේෂී බලයක් වන දිව්‍ය අභිරහස් දැන ගැනීමේ සහ ඒවා ජනතාවට පහදාදීමේ ද බලය රැස්ව සිටි සියළු සැදැහැවතුන්ට දැනගැනීමට හැකි වූයේ, ශුද්ධෝත්තම අපොස්තුළුතුමා හෙළිකරනු ලැබූ කාරණාවන් රැසක් ම නිසයි.

 

2021 අප්‍රියල් 1 වෙනි දිනට යෙදුන මහ බ්‍රහස්පතින්දා රාත්‍රීයේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා පුද කරනු ලැබූ දිව්‍ය පූජා මෙහෙයේ අවස්ථාවන් කීපයක් මෙම ඡායාරූපවලින් ඔබට දැකගත හැකියි