නිර්මල කන්‍ය මරිය තුමියගේ මහා හාස්කම් සිද්ධස්ථානය වන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පා නගන බොහෝ දෙනා නිර්මල මවු මරියාවන්ගේ විශේෂ පිහිට වරප්‍රසාදයක් අපේක්ෂා කරන්නෝ වෙති. ජීවිත ගමනේ අසරණව, බලාපොරොත්තු සුන් වී සිටින මොහොතක තම දයාබර ස්වර්ගීය මෑණියන්ගේ විශේෂ පිහිටක් අත්‍යවශ්‍ය වී සිටින මොහොතක කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත සැදැහැ ජනතාව ඇදී එන්නේ දෙව් මවුන්ගේ ශ්‍රී නේත්‍රයන් නිරන්තරයෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත යොමුවී ඇති බව ඔවුන්ට දැන් සිය අත්දැකීමෙන්ම දැනී ඇති නිසාය.

 

විශේෂයෙන් සෙනසුරාදා සවස පැවැත්වෙන දේව මෙහෙයේ දී බැතිමතුන්ගේ ඉල්ලීම් ‛රතු පෙට්ටිය’ ට දැමීම සඳහා අවස්ථාව උදාවේ. හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීමෙන් පසුව තමන් දෙව් මවුන් වෙතින් කුමක් ඉල්ලා සිටින්නේද යන වග ලිවූ කුඩා ලිපියක් දෙව් මවුන් පාමුල රතු පෙට්ටිය තුලට දැමීම අත්‍යවශ්‍ය කරුණකි. එය හාස්කම් යාච්ඤාවේ ම කොටසකි.

 

1975 පෙබ්‍රවාරි 11 වෙනි දින නිර්මල කන්‍ය මරිය මවු තුමිය 9 වන වරට ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ඉදිරියේ දර්ශණය වී පණිවුඩයක් ප්‍රකාශ කලාය. එම පණිවුඩයේ ප්‍රථම වගන්තිය මෙයයි. ‛‛ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳුන තැනැත්තිය මමයි. මෙම දේව මෙහෙයන්ට විශ්වාසයෙන් සහභාගි වන අයට ඔබ මගින් දේව වරප්‍රසාද බෙදා දීම මාගේ ආශාවයි’’ දෙව් මවුන්ගේ මේ පොරොන්දුව එදා සිට අද මේ දක්වාම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ඉටුවෙමින් පවතී. ඒ නිසාම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ‛මරිය තුමියගේ හාස්කම් සිද්ධස්ථානය’ යනුවෙන් ජනතාව අතරම ප්‍රචලිත වී ඇත.

 

හාස්කම් යාච්ඤාව අවසානයේ, සැදැහැවතුන්ගේ ලිපි අඩංගු රතු පෙට්ටිය ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ සුරතට භාරදෙන අතර, ඉන් පසුව දෙව් මවුන්ගේ පණිවිඩය බලාත්මක කිරීම සඳහා එම ලිපි කට්ටකුමංචල් සමගින් දෙව් මවුන්ට පුද දෙනු ඇත.

 

හාස්කම් යාච්ඤාව පුද කරනු ලබන මීළග දිනය 2018 මැයි 19 වෙනි සෙනසුරාදා සවස 6 ටයි.

 

2018 මැයි 12 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී හාස්කම් යාච්ඤාව දෙව් මවුන් වෙත පුද කරනු ලැබූ අවස්ථාවේ ඡායාරූප කීපයක් මෙහි ඔබට දැක ගත හැකියි