අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ 62 වන ජන්ම දිනය 2019 පෙබ්‍රවාරි 2 වෙනි දිනයට යෙදී තිබුනි. උන්වහන්සේගේ උපන් දිනයේ, වසර 62කට පෙර උන්වහන්සේගේ උපන් වේලාවට විවිධ ප්‍රදේශවලින්, දුර බැහැරින් පවා ජනතාව, උන්වහන්සේ වැඩ වසන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණෙති. වසර ගණනාවක සිට මෙය සිදුවේ. කිසිවෙකුගේවත් බලකිරීමකින් නොව ස්වකීය කැමැත්තෙන්ම සැදැහැවතුන් මෙය කරනු ලබයි. උන්වහන්සේගේ ආශිර්වාදය සහ මගපෙන්වීම ඉහළින්ම අගය කරනු ලබන කිතුණුවන් පමණක් නොව බොදුනු බැතිමතුන් ද, මෙම සත් ක්‍රියාවට සහභාගි වෙති.

 

2019 පෙබ්‍රවාරි 1 වෙනි දින මැදියම් රැයේදී ද මෙම තත්වය අපට දැක ගැනීමට ලැබුණි. අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා සිය දිවියේ හරි අඩකටත් වඩා කාලයක් ‛‛අපොස්තුළු තුමෙකු’’ ලෙසට මෙලොව දිවි ගෙවා ඇත. මේ ශුද්ධවු අපොස්තුළු තුමා මේ ලෝකයට ඉපදුන වේලාව, ලෙහෙසියෙන් පහසුවෙන්, ජනතාවට උන්වහන්සේ වෙත ලඟාවිය හැකි වේලාවක් නොවේ, මධ්‍යම රාත්‍රී 12 ටය. පෙබ්‍රවාරි 1 වෙනි දින හරියටම මධ්‍යම රාත්‍රී 12ටය.

 

ලොව දිනයක් නිමවී, අලුත් දවසක් උදාවන මධ්‍යම රාත්‍රී 12ට උපත ලැබූ මේ ශුද්ධවු අපොස්තුළු තුමන් වාසය කරනු ලබන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත, කුඩා අත දරුවන් තුරුළු කරගත් දෙමාපියන්ගේ සිට, ඉතා අපහසුවෙන් ඇවිදින මහළු අය දක්වා සෑම ජනතාව, ඇදී එන්නට පටන් ගත්තේ රාත්‍රී 10 පමණ සිටය.

 

මධ්‍යම රාත්‍රී 12 ආසන්න වන විට සැදැහැවතුන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ 62 වෙනි ජන්ම දිනය සමරා, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත උන්වහන්සේගේ පිංතූරය අභියස, 62 සංකේතවත් කරමින් පොල්තෙල් පහන් දල්වන්නට විය. අනතුරුව, සැදැහැවතුන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා උත්පත්තිය ලැබූ නියමිතම වේලාව වූ මධ්‍යම රාත්‍රී 12 ට, උන්වහන්සේගේ පිංතූරය අභියස යාච්ඤා කරන්නට විය. මෙවැනි අපොස්තුළු තුමෙකුව ලබා දීම පිළිබඳව ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේට ද, නිර්මල කන්‍ය මරිය මාතාවන්ට ද ප්‍රශංසා කරමින් ගීතිකා ගායනා කරන්නට විය.

 

මහ රාත්‍රියේ තම ගෙවල්වලට වී සුවසේ නිදා ගැනීම පසෙක තබා, සැදැහැවතුන් දුරමග ගෙවාගෙන, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණ මෙසේ කරනු ලැබුවේ ඇයි? ආගම් භේදයකින් ද තොරවම ජනතාව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාට ආදරය කරති. මන්ද උන්වහන්සේ ද ජනතාවට බොහෝසේ ආදරය දක්වන සේක. පියෙකු මෙන් ඔවුන්ට ආශිර්වාද කරමින්, යා යුතු නිවැරදි මග පෙන්වාදෙන උන්වහන්සේට ජනතාව ගෞරව කරති.