අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ හැට වන උපන් දින සංවත්සර මංගල දිව්‍ය පූජා මෙහෙය, අවුරුදු හැටකට පෙර උන්වහන්සේ උපන් වේලාව අලලා මෙවරත් පෙබ්‍රවාරි 1 වෙනි බදාදා රාත්‍රී 11.30 ට, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන තුල පිහිටා තිබෙන අපොස්තලික සොහොන් ගැබ මත, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වනු ඇත. දැනට මෙම සොහොන් ගැබ තුල, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ව මෙලොවට බිහි කල, උන්වහන්සේගේ මෑණියන් වන, මාග්‍රට් අපොන්සු මැතිණියගේ දේහය තැන්පත් කර තිබේ. ශුද්ධෝත්තම අපොස්තුළුතුමා උපත ලැබුවේ මීට හැට වසරකට පෙර 1957 පෙබ්‍රවාරි 1 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 ටයි.

 

මීට වසර 60කට ප්‍රථම පෙබ්‍රවාරි 1 වෙනි දින හරියටම මධ්‍යම රාත්‍රී 12 ට මෙලොවට උපත ලද ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ දෙමාපියන් වූයේ, ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයන් වූ ජී. සී. අපොන්සු මැතිතුමා සහ එම මැතිණියයි.

 

උපතින්ම විශාල ධනයකට ද, වතුපිටි දේපල වලට ද උරුමකම් ඇතිව උපත ලද ශුද්ධෝත්තම අපොස්තුළුතුමා අදටත් සිය පුද්ගලීක නඩත්තුව සඳහා බැතිමතුන්ගේ පඩුරු පාවිච්චි නොකරන්නාහ. එපමණක් ද නොව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ කටයුතු සඳහා ද උන්වහන්සේ සිය පුද්ගලීක මුදල් යොදවනු ලබයි. ජේසුස් ස්වාමින් වහන්සේ මෙලොවට දර්ශණය වී තෝරා පත්කරනු ලැබූ දෙවන අපොස්තුළු තුමා වන, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා දැනට ලොව ජීවත්වන එකම අපොස්තුළු තුමාණෝ යි.

 

උපන් දින සංවත්සර මංගල දිව්‍ය පූජා මෙහෙයට සහභාගි වීම සඳහා පැමිණෙන බැතිමතුන්ව, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනට ඇතුළු කරන්නේ, පෙබ්‍රවාරි 1 වෙනි දින, රාත්‍රී 10.30 සිට රාත්‍රී 11.15 දක්වා පමණකි. ඉන්පසු ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ ගේට්ටු වසා දමනු ඇත. එමනිසා උපන් දින සංවත්සර මංගල දිව්‍ය පූජා මෙහෙයට සහභාගි වීමට බලාපොරොත්තු වන්නාවූ බැතිමතුන් කල්වේලා ඇතිව පැමිණෙන්න.

 

දිව්‍ය පූජාව පැවැත්වෙන ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනට රාත්‍රී 11.15 දක්වා බතිමතුන්ව ඇතුළු කෙරෙන අතර, ඉන්පසුව ප්‍රමාද වී පැමිණෙන බැතිමතුන් සඳහා සිද්ධස්ථාන භූමියේ සවිකරනු ලබන රූපවාහිනී තිරය ඔස්සේ, ශුද්ධවු පේදුරු සහ පාවුළු උයනේ සිදුවන කටයුතු දැකගත හැකියි.

 

පසුගිය වසරේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන්ගේ උපන් දින සංවත්සර දිව්‍ය පූජාවෙන් පසුව, පැවති උපන් දිනය සැමරීමේ උත්සවය ද අවසානයේ බැතිමතුන් උන්වහන්සේ වටා රොක්වී, උන්වහන්සේගේ සුරත සිප ගනිමින්, ලෝකයේ ජීවත් වන මේ එකම අපොස්තුළුතුමාණන්ට ගෞරව දැක්වූ අන්දම මේ ඡායාරූප මගින් ඔබට දැක ගත හැකියි