1957 පෙබ්‍රවාරි 2 වෙනි දින මෙලොව උත්පත්තිය ලද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා උන්වහන්සේගේ ජීවිතයේ 61 වෙනි නත්තල කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සමරමින් 2017 දෙසැම්බර් 24 වෙනි දින මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාව පවත්වනු ලැබුවේ විවිධ ප්‍රදේශයන්ගෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණ සිටි සැදැහැවතුන් රැසක් ඉදිරියේ යි.

 

මෙම නත්තල, අපොස්තුළුතුමෙකු වශයෙන් උන්වහන්සේ සමරණු ලබන 43 වෙනි නත්තල බව ද පැවසූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය දේශණයේ දී වදාලේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සිදු වී දැනට වසර දෙදහස් දා හතකටත් වැඩි බවයි. අවුරුදු හාරදහසකටත් පෙරසිට මේ උපත පිළිබදව දිවස්ප්‍රසාදිවරු අනාවැකි ප්‍රකාශ කර තිබුනත්, මවු කුසයේ පිලිසිද ගැනීමේ පටන් ම උන්වහන්සේට අත්වුනේ ප්‍රතික්ෂේප කිරීම් බව ද ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණෝ ප්‍රකාශ කලහ.

 

2017 නත්තල් මංගල දිව්‍ය පූජාවේ දේශණය පවත්වමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙලෙස ප්‍රකාශ කරනු ලැබූ සේක.

 

‛‛අපි ඔක්කෝමදෙනාට තවත් නත්තලක්. මගේ මේ ජීවිත සමය තුල අද මම ගෙවන මේ මගේ 61 වෙනි නත්තල තමයි මේ. 61 වෙනි නත්තල. එතකොට මේ ජීවිත සමය තුල 61 වෙනි නත්තල තමයි මේ. අපොස්තුළු තුමෙක් හැටියට මේ මගේ 43 වෙනි නත්තල. එතකොට ඔයගොල්ලෝ ඔක්කොවන්ටම මේ වගේ ඔයගොල්ලන්ගේ ජීවිතේ වයස එක්ක බලද්දි ඔයගොල්ලෝ ඔක්කෝම දෙනාගේ කී වෙනි නත්තලද කියලා අද ගෙදර ගිහාම ගණන් කරලා බලන්න. මම ඉපදුනේ 1957 පෙබ්‍රවාරි මාසේ 2 වෙනිදා. පළවෙනිදා රෑ 12ට. එතකොට 57 අවුරුද්දේ දෙසැම්බර් මාසේ තමයි මගේ ජීවිතේ පළමු වෙනි නත්තල. අන්න ඒ වගේ ඔයගොල්ලන්ගේ ජීවිතෙත් ඔයගොල්ලෝ මේ නත්තල් ගෙවාගෙන ගෙවාගෙන ගෙවාගෙන ඇවිල්ලා මේ ඔබේ ජීවිතේ තවත් නත්තලක්. මේ නත්තල අපි සමරන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය. උන්වහන්සේගේ ඉපදීම. එතකොට අපේ ජීවිත කාලයත් එක්ක, ඉපදුනු අවුරුද්දත් එක්ක බලද්දි අපි ඔක්කොවන්ටම කිසියම් සංඛ්‍යාවක් එනවා මේක මගේ අසවල් නත්තල කියලා. සමහර අය කියයි, ‛මේක මගේ 18 වෙනි නත්තල, 19 වෙනි නත්තල, 28 වෙනි නත්තල, 32 වෙනි නත්තල’. ඔය වගේ කියයි. ඒ වගේ නත්තල් ගණනාවක් අපි පසු කළා. මේ නත්තලේ දී අපි සිහිකරන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක් නෙවේ. උන්වහන්සේගේ උත්පත්තිය සිද්ධ වෙලා දැන් අවුරුදු දෙදාහකටත් වැඩියි. ඇත්තම කියනවනම් දැන් අවුරුදු දෙදහස් දහහතකටත් වැඩියි උන්වහන්සේගේ උත්පත්තිය මේ ලෝකේ සිද්ධ වෙලා. ඒක වෙනම කථා කළ යුතු මාතෘකාවක්. අපේ ජීවිත කාලය තුල අපට දැන් තවත් නත්තලක්. නත්තලක්, නත්තලක් සමරලා මං අර කිව්ව විදිහට අපේ වයස අනුව අපි යම් තැනකට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ නත්තල කියන දේ හෙවත් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සිද්ධ වෙලා දැන් අවුරුදු දෙදහකටත් වැඩියි. ඒක අහම්බෙන් සිද්ධ වුනු දෙයක් නෙවේ. ඊට අවුරුදු හාරදහකට පෙර ඉඳලා දිවැස්ප්‍රසාදිවරු මේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත පිළිබඳව අනාවැකි ප්‍රකාශ කලා. කන්‍යාවක් ගැබ්ගෙන පුතෙකු පිළිසිද ගන්නවා. මෙන්න මෙවැනි අනාවැකි ගණනාවක් කිව්වා, මේ ජේසු බිළිදගේ, ජේසුගේ උපත පිළිබදව. පොඩි පටු කාලයක් නොවෙයි. ශුද්ධවු බයිබලයේ හැටියට අවුරුදු හාරදහකට වැඩි කාලයක් ඉඳලා දිවැස්ප්‍රසාදිවරු මේ උපත ගැන කිව්වා. මේ උපත ගැන කියලා දැනට අවුරුදු දෙදහකටත් වැඩි කාලයකට පෙර මේ උපත සිද්ධ වුනා. ඒ උපත සිද්ධ වෙච්ච මොහොතේ ඉඳලා හරියට කිව්වොත් ඒ බිළිදා මව් කුසයේ පිළිසිද ගැනීමේ ඉඳලා උන්වහන්සේට අත්වුනේ ප්‍රතික්‍ෂේප කිරීම්.’’

 

තව දුරටත් රැස්ව සිටි සැදැහැවතුන් අමතමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රකාශ කරනු ලැබුවේ මෙලොවට බිහි වීමට පෙර, එනම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරිය තුමියගේ කුසයේ සිටිය දී ම කරනු ලැබූ ප්‍රතික්ෂේප කිරීම් සියල්ල මදකට අපි පැත්තකින් තබා බැලුවොත් උන්වහන්සේගේ උත්පත්තිය සිදු වූ දිනයේ දී ම සිදු වූ ප්‍රතික්ෂේප කිරීම් මෙන්ම ඉන්පසුව ද උන්වහන්සේට අත්වූයේ ප්‍රතික්ෂේප කරනු ලැබීම් බව යි. ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මෙලෙස ද පවසනු ලැබූ සේක.

 

‛‛උත්පත්තියට පෙර සිදුවු ප්‍රතික්‍ෂේප කිරීම් අපි පොඩ්ඩක් පැත්තකින් තියමු. බලන්ඩ උත්පත්තිය සිදුවෙන ඒ දිනයේදි මරිය තුමිය ජේසුව කුසේ දරාගෙන දරුවා ප්‍රසූත කරන්ඩ තැනක් හොයමින් යද්දි ඒ දරුවව මිනිස්සු ප්‍රතික්‍ෂේප කෙරුවා. ඉපදිලා ඉතාමත් කෙටි දින ගණනාවක් තුල හෙරෝද් රජ මේ බිළිඳව මරන්ඩ හෙව්වා. සොයන්ඩ බැරි තැන වයස අවුරුදු 2 ක් සහ ඊට අඩු සියලු පිරිමි දරුවන් මරා දාන්ඩ නියම කෙරුවා. ඔයගොල්ලෝ දන්නවා ඒ කථාව. ඊට පස්සේ ජෙරුසලමෙදි උන්වහන්සේව ප්‍රතක්ෂේප කෙරුවා. කපර්නාවුමෙදි මිනිස්සු උන්වහන්සේව පිළිගත්තේ නැහැ. මේ විදිහට අවසානේ ඒ ප්‍රතික්ෂේප කිරීම් උග්‍ර ස්ථානයට ගිහිල්ලා උන්වහන්සේව මරලත් දැම්මා.’’

 

අද මේ මහා පෘතුවිය මත අප අතර ජීවත් වන්නාවූ ලොව එකම අපොස්තුළුතුමාණන් වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා 2017 දෙසැම්බර් 24 වෙනි දින මධ්‍යම රාත්‍රියේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී පවත්වනු ලැබූ නත්තල් දිව්‍ය පූජාවේ විවිධ අවස්ථා මෙන්ම උන්වහන්සේ දේශණය පැවැත් වූ අයුරු ද මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකිවනු ඇත