බලාපොරොත්තු සුන්වූ මොහොතේ සරණය වූ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ වැඩ සිටින අපොස්තුළු තුමා

 

නිර්මල කන්‍ය මරිය වහන්සේ වර්ෂ 1858 පෙබ්‍රවාරි 11 වෙනි දින, ප්‍රංශයේ ලූර්දු නම් වූ ග්‍රාමයේදී, බර්නදෙත් සුබිරුස් නම්වූ පුංචි දැරියකට දර්ශණය වුනා. එදා මරිය තුමියව දැක ගැනීමට භාග්‍ය ලැබූ ශුද්ධවූ බර්නදෙත් තුමිය, තමා දුටු දර්ශණය පිළිබඳව නිහඬව නොසිට, අන් අයටද ප්‍රකාශ කිරීම නිසා බොහෝ අර්බුදවලට මුහුණ දෙන්නට සිදුවුනා. ඇය බොරු කියා ජනතාව රවටන බවට ද, ජනතාව නොමග යන බවට ද චෝදනා කෙරුවා. බොහෝ තර්ජන වලටද මුහුණ දෙන්නට ඇයට සිදුවූ අතර සිරගතවන්නටද සිදු වුනා. බර්නදෙත්ට විරුද්ධව විශාල පිරිසක් නැගී සිටිය අතර, තවත් සුළු පිරිසක් ශුද්ධවූ බර්නදෙත් තුමියගේ කතාව විශ්වාස කලා. ශුද්ධවූ බර්නදෙත් තුමිය සමග මරිය තුමිය දර්ශණය වන්නාවූ මසබියෙල් නම් වූ ගුහාව අසලට ගොස් බැහැපත්ව යාච්ඤා කලා. මේ අතර විටින් විට දසඅට වතාවක්ම මරිය තුමී ශුද්ධවූ බර්නදෙත් තුමියට දර්ශණය වුනා. විරුද්ධවාදීන් දිගින් දිගටම ශුද්ධවූ බර්නදෙත් තුමියට ද, එම ස්ථානය වෙත විශ්වාසයෙන් ලඟාවෙන්නන්ට ද විවිධ බාධාවන් එල්ල කරමින් ද අපහාස උපහාස කරමින් ද කටයුතු කරනු ලැබුවා. එහෙත් ශුද්ධවූ බර්නදෙත් තුමිය සමග දර්ශණය සිදුවන ස්ථානයේ බැහැපත්ව යාච්ඤා කල බොහෝ දෙනෙකුට මරිය තුමියගේ පිහිට අත්දකින්නට අවස්ථාව ලැබුණා. විශ්වාසයෙන් ගිය රෝගීන් බොහෝ දෙනෙක් සුවය ද ලැබුවා. එහි නොගොස් විරුද්ධවාදීකම් කරනු ලැබූ අයට ශුද්ධවූ බර්නදෙත් තුමියගේ මධ්‍යස්ථකමින් මරිය තුමියගෙන් කිසිදු පිළිසරණයක් ලබාගැනීමට නොහැකි වුනා. අද ශුද්ධවූ බර්නදෙත් තුමිය මෙලොව ජීවතුන් අතර නැහැ. එතුමිය ජීවතුන් අතර සිටියදී එතුමිය දුටු දර්ශණය නිසා බොහෝ පීඩනවලට ලක් වුන ද, අද එතුමිය දුටු දර්ශණය සැමරීමට ලූර්දු ගුහා, ලූර්දු පල්ලි, ලූර්දු සිද්ධස්ථාන ලෝකය පුරාම ඉදි වෙලා. අප ශ්‍රී ලංකාවේද තත්වය එයයි.

 

හිම මෙන් බැබලෙන ධවල වර්ණ ලෝගුවක් සහ නිල් පැහැති බඳ පටියක් පැළඳ එදා ලූර්දුවේදී ශුද්ධවූ බර්නදෙත් තුමියට දර්ශණය වූ නිර්මල කන්‍ය මරිය තුමිය අද ශ්‍රී ලංකාවේ කටුනායක නගරයේදී ඒ ලෙසින්ම දර්ශණය වෙනවා. එදා මරිය තුමිය ලූර්දුවේ දර්ශණය වුනාවූ වකවානුවේදී ඊට විරුද්ධකම් කල උදවිය, නැවතත් ලෝකයට පැමිණ ඇතිදැයි සිතීමට අපට සිදුව ඇත්තේ, මරිය තුමී දර්ශණය වන්නාවූ මෙම වකවානුවේදී, එතුමිය දර්ශණය වන ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ට ද මුහුණ දීමට සිදුවී ඇති කරුණු කාරනා ගැන සිතන විටයි.

 

මරිය තුමී දැක ගැනීමට භාග්‍ය ලබා සිටින සහ මරිය තුමී ශ්‍රී ලංකාවේ දර්ශණය වන්නාවූ භූමියට හෙවත් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත ලඟාවී පිහිට පතන සැම වෙනුවෙන්, කිසිදු භේදයකින් තොරව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා පිහිට වෙනවා. උන්වහන්සේගේ මැදහත්කම පතා සෑම සෙනසුරාදාවකම උන්වහන්සේ වෙත ලිපි යොමු කිරීමට සැදැහැවතුන්ට අවස්ථාව ලබා දී තිබෙනවා. එහෙත් එසේ කල යුතු බවට හෝ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණෙන ලෙසට, සිද්ධස්ථාන පාලක කමිටුවෙන් කිසිදු බලකිරීමක් නැහැ.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ට මරිය තුමී ප්‍රථම වරට දර්ශණය වුනේ, 1975 පෙබ්‍රවාරි 5 වෙනි දිනයි. එතැන් සිට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත ලඟා වූ බැහැපත් සිත් ඇති විශ්වාසිකයන් දහස් ගණනකට ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ මැදිහත් කමින් බොහෝ පිහිට ලැබී තිබෙනවා. ලූර්දුවේ දී මරිය තුමී දර්ශණය වූ බර්නදෙත් තුමිය අද ජීවතුන් අතර නොමැති වූවද, මේ ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් අප අතර වැඩ සිටිනවා. ඔබ දෙස බලා සිටිනවා. සෙනසුරාදා දිනවල කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණ, උන්වහන්සේගේ මැදිහත්කම පතාගෙන, උන්වහන්සේ වෙත යොමු කරනු ලබන ලිපි උන්වහන්සේ කියවනවා. යම් මොහොතක ඔබ වෙනුවෙන් මැදිහත් වී ඔබට පිහිට වෙනවා.

 

ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ පිහිට පැතූ අයෙකුට උන්වහන්සේගේ මධ්‍යස්ථකම අත්දැකීමට අවස්ථාව උදාවූ අන්දම ඇතුලත් ලිපියක් ඔබට ඉදිරිපත් කිරීමටයි මම දැන් සූදානම් වන්නේ. වෛද්‍යවරුන්ව ද පුදුමයට පත්කරවමින් සිදුවූ තවත් ප්‍රාතිහාර්‍යාත්මක කතාවක සටහන් ඔබ ඉදිරියේ මම දැන් තබන්නේ දේව වරප්‍රසාදයේ මහිමය මෙම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී කොතරම් බලවත් දැයි යන්න ඔබටම සිහිපත් වේවා යන්න ප්‍රාර්ථනා කරමිනුයි.

 

ඔබ දෙමාපියෙක් නම් ඔබගේ දියණියගේ, ඔබ සොහොයුරෙක් නම් ඔබගේ සොහොයුරියකගේ, ඔබ තරුණියක් නම් ඔබගේ, ගර්භාෂය සැත්කමකට ලක් කර ඉවත් කල යුතු බවට වෛද්‍යවරුන් නිගමනය කලොත් ඇත්තටම ඔබට සිතෙන්නේ කුමක්ද? අද මම ඔබට ඉදිරිපත් කරන්නේ එවැනි බාරදූර, දිවියේ අවිනිශ්චිත මොහොතක, අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ මැදහත් කමින්, ඒ අවිනිශ්චිත බලාපොරොත්තු රහිත මොහොතේ සිදුවූ ප්‍රාතිහාර්‍යාත්මක සුවයක් පිළිබඳවයි.

 

 

මෙන්න ඇයගේ අසිරිමත් සුවයේ කතාව.

 

මම වයසින් අවුරුදු 21 ක ගැහැණු ළමයෙක්. මම ද සෑම ගැහැණු ළමයෙක් මෙන් නිසි වයසේ දී වැඩිවියට පත්වුණා. එතැන් පටන් සෑම ගැහැණු ළමයෙක් මෙන් මටද සෑම මාසයකට වරක් මාස් සුද්ධ වීම ඇති වුණා. මෙය ඉතා සුලභ දෙයක් වූවද, මෙයින් මාස 3 කට පසු මාස් සුද්ධ වීම ඇති වී මාසයක් යන තුරුම එය අවසන් වුනේ නෑ. ඉන්පසු මාගේ මෙම රෝගී තත්වය පවසා වෛද්‍යවරියකගෙන් ප්‍රතිකාර ගත් අතර ඇයගේ ප්‍රතිකාර වලින් මෙම තත්වය පහව ගියද, මාස් සුද්ධ වීම සෑදෙන විට ඉතා විශාල බඩේ කැක්කුමක් හා කොන්දෙ අමාරුවක් හට ගන්නවා. එවිට මා හට කිසිම ක්‍රියාවක නිරත වීමට අපහසු වෙනවා. මෙය දවස් 2 ක්, 3 ක්, යනතුරුම පවතින අතර සෑම මාසයකම මෙලෙස තද කැක්කුමක් සමග මාස් සුද්ධ වීම සෑදී නතර වීම, මට විශාල මානසික වදයක් වී තිබුණා. ඇත්තම කියනවාම් මට මාස් සුද්ධ වීම සෑදෙන බව තේරුම් ගත් විට මේ තද කැක්කුම නිසා මම විශාල බියකට පත් වෙනවා.

 

මේ සියළු දේ මෙලෙස සිදු වන අතරම, මම කටුණායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, එම ශුද්ධ භූමියේ වැඩ සිටින මෙලොව වැඩ වසන අපගේ දෙවිතුමන් බඳු වූ අප ශුද්ධෝත්තම අපොස්තලික පියතුමාණන් ගැන මම හොඳාකාරව දැන සිටි අතර, උන්වහන්සේ හා මරිය මව් තුමිය පිලිබඳ දැඩි විශ්වාසයක් ද මා තුල තිබිනි. මන්දයත් මා හට වයස අවුරුදු 05 සිට පමණ සිට මගේ දෙමාපියන් දෙදෙනා මා සමඟ මගේ නැඟනියවත්, සොහොයුරාවත් කැටුව මෙලොව වැඩ වසන දෙවි පුතුගේ ශ්‍රාවකයකු වන, අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධවු අපොස්තුළු තුමන් වෙත ගමන් කල බැවිනි. උන්වහන්සේ ගැන සියළු තතු මා කුඩා කල සිටම දැන සිටි අතර උන්වහන්සේගේ ආශිර්වාදයේ බලය අත් දැක ද තිබුණි. උන්වහන්සේගේ මැදහත් කමින් සිදු වු ප්‍රාතිහාර්‍යයන් ගැනද මම අසා තිබුණි, අත්දැක තිබුණි.

 

මාගේ විවිධ අවශ්‍යතා ලියා උන්වහන්සේට මා ලිපි යොමු කර ඇති අතර බොහෝ පිහිට, මෙම ශුද්ධවු අපොස්තුළු තුමන් මගින් ලබා ඇත්තෙමි.

 

මේ අතර පසුගිය අගොස්තු 23 වන දින ද මා හට එම මාසයේ මාස් සුද්ධ වීම හැදුණේ විශාල බඩේ කැක්කුමක් සමඟය. මෙදින සෑදුන මෙම වේදනාව සතියක් 2 ක් ගියද එහි කිසිදු අඩුවක් නොමැති වීම හේතුවෙන්, මාගේ පියා මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමු කල අතර, වෛද්‍යවරිය පැවසුවේ මෙය කලක් සිට පැවත එන්නක් නම් මෙය වකගඩු සම්බන්ධ රෝගයක් විය හැකි බවයි. වහාම වෛද්‍ය පරීක්‍ෂණ රැසක් කිරීමට මා යොමු කල අතර, එම කිසිදු පරීක්‍ෂණයක කිසිදු ආබාධ තත්වයක් සටහන් වී නොමැති බව එම වෛද්‍යවරිය විසින් පැවසුවද, විවිධ රෝගී තත්වයන් අනුමාන කරමින් එම වෛද්‍යවරිය විසින් මා වෙත ප්‍රතිකාර ලබා දුන්නද, ඒ කිසිවකින් ද ප්‍රතිඵලයක් නොමැති වූ නිසා, අවසානයේ ඇය පැවසුවේ රෝහල් ගතවන ලෙසටයි.

 

වෛද්‍යවරිය පැවසූ ලෙස මා රෝහල් ගත වූ අතර මාගේ රෝගී තත්වය එන්න එන්නම උග්‍ර වුනි. මට ඉඳගෙන සිටීමට පවා බැරි වු හෙයින් රෝහල් ගත කර ද දින 02 ක් යනතුරුම වෛද්‍යවරුන්ට නිශ්චිත රෝගයක් සොයා නොගැනීමට අපහසු වූ අතර විවිධ පරීක්‍ෂණ කරන ලදී. මේ අතර මා රෝහලේ සිට, වේදනාව අතුරින් මරිය මව්ට ඇඬූ කඳුලින් කියා සිටියේ, මේ ලෙඩේ මොකක් වුනත් මට සුව සහනයක් ලබා දෙන්න අම්මේ කියාය. මේ අතර අපගේ පවුලේ සියළු දෙනා සතියේ සෑම සෙනසුරාදාවකම සිරිත් පරිදි අප ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් වැඩවසන කටුනායක අප ස්වාමිදූගේ ශුද්ධවු භූමිය කරා යන සෙනසුරාදාව එළඹුන අතර, මා රෝහලේ සිටියදීම පවුලේ අනෙක් අය කටුනායක අප ස්වාමිදූගේ ශුද්ධවු භූමිය කරා ගොස් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් විසින් පවත්වනු ලබන සැඳෑ දේව මෙහෙයෙන් අනතුරුව මාගේ රෝගී තත්වය ගැන සවිස්තරව ලියා මාගේ නැඟනිය විසින් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් වෙත ලිපියක් ලියා, ලිපි පෙට්ටියට දමා, නැවත නිවෙස කරා පැමිණ, මා බැලීමට රෝහලට පැමිණි අතර, එදින මා හට ස්කෑන් පරීක්‍ෂණයක් සඳහා යොමු කර තිබුණි.

 

ඉන්පසු මා පරීක්‍ෂා කල වෛද්‍යවරයා ස්කෑන් වාර්තා අනුව මා පරීක්‍ෂා කර විශේෂඥ වෛද්‍යවරයා කැඳවාද මා පරීක්‍ෂා කර ඇය විසින් මාගේ ගර්භාෂයේ ගෙඩියක් පවතින බව සඳහන් කරන ලදී. මේ වන විට මගේ බඩේ කැක්කුමට හා කොන්දෙ කැක්කුමට වේදනා නාශක ලබා දී වේදනාව මදක් අඩු කර තිබුන අතර, මාව වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කර නිවස කරා එව්වේය.

 

ඉන් අනතුරුව රෝහලේ මේ සම්බන්ධව සායනයකට යොමු කල අතර, මේ අතරතුරේ සෙනසුරාදා දිනවල ශුද්ධෝත්තම අපොස්තලික පියතුමාණන්ගේ සවස දේව මෙහෙයන්ට සහභාගිවී මෙම අමාරු රෝගී තත්වයෙන් සුවය සඳහා උන්වහන්සේගේ පිහිට පතා ලිපි ලියා ලිපි පෙට්ටියට දැමූ අතර, මා වේදනාවෙන් යුතුව පසු වූයේ දැඩි බියකිනි. මෙය සුව නොවුවහොත් මාගේ අනාගතයට යම් යම් ප්‍රශ්ණ වලට මුහුණ දීමට සිදුවන බවද මට හැඟිනි. මෙය සෑම මාසයකම මට මෙය ලොකු කරදරයක්ද වුන නිසා මෙසේ වෛද්‍ය පරීක්‍ෂණ පවත්වන අතර තුරේ, දිනක් සැඳෑ මෙහෙය අවස්ථාවේ, ශුද්ධෝත්තම අපොස්තුළු තුමා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේගේ කරඬුව ඔසවා ආශිර්වාද කරන අවස්ථාව එළඹීය. මා ද අනෙක් බැතිමතුන් මෙන් දණ ගසා ශ්‍රද්ධාවෙන් ඒ අවස්ථාවට සහභාගි වු අතර ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේගේ කරඬුවෙන් අපව ආශිර්වාද කිරීම සඳහා ඉහළට ඔසවනවාත් සමඟම මට එතෙක් නොතිබුණු බඩේ කැක්කුමක් ඇල්ලූ අතර, මට දණ ගසා සිටීමට පවා නොහැකි වුන නිසා මම බිම වාඩි වී ඇඬූ කඳුලින් ඉල්ලුවේ මට මේ වේදනාව නැති කර ගැනීමට මා හට පිහිට වෙන්න කියාය. දිව්‍ය සත්ප්‍රසාද කරඬුවෙන් ආශිර්වාද කිරීම අවසන් වනවාත් සමඟම ඒ තද වේදනාව ටිකෙන් ටික අඩු වුනා. ඊට පස්සේ මට කිසිම බියක්වත් වේදනාවක්වත් දැනුනේ නෑ.

 

ඊළඟ ස්කෑන් පරීක්‍ෂණය තිබුනේ සඳුදා. එදා මට පළමුදා මෙන් කිසිම බියක් දැනුනේ නෑ. පරීක්‍ෂණය සඳහා ස්කෑන් පරීක්ෂණ කාමරයට ඇතුළු වු විට පළමු දවසේ පරීක්‍ෂා කල වෛද්‍යවරයාම තමයි එහි සිටියේ. එහිදී මා පරීක්‍ෂා කොට මගෙන් විස්තර විමසුවා. කිසිම ගෙඩියක් ගර්භාෂයේ පෙනීමට නොමැති බබ පැවසූ වෛද්‍යවරයා පලමුවෙන් ගත් පරීක්‍ෂණ වාර්තා ගෙන්වා ගෙන, එම පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර බලන ලදී.

 

අනතුරුව ඔවුන් උසස් වෛද්‍ය නිලධාරිනිය ගෙන්වා සිදු වු දේ පැවසු අතර, ඇය ද එයින් පුදුමයට පත් වී තුන් හතර වතාවක් ඇය විසින්ම ඉතා විමසිල්ලේන් පරීක්‍ෂා කොට, මගේ ගර්භාෂයේ දැන් ගෙඩියක් නොමැති බව සහතිකවම ප්‍රකාශ කලාය.

 

මට එවිට මද සිනහවක්ද ගිය අතර මාගේ සිහියට නැගුනේ අප ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ව හා උන්වහන්සේට දර්ශණය වූ මරිය මෑණියන්වය. එතැන් පටන් අද වන තුරු මට මාස් සුද්ධ වීම සෑදෙන අතර එවන් වේදනාවක් දැනෙන්නේ නැත.

 

සෑම සෙනසුරාදාවකම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දේව මෙහෙයට නොවරදවාම සහභාගි වන මට මෙන්ම මාගේ පවුලේ සැමටම මෙවැනි අත්දැකීම්, අප ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගෙන් හා මරිය මවුගෙන් ලැබී ඇති බව මම සතුටින් ප්‍රකාශ කරමි.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සිට එහි ලඟාවෙන සැමගේම දුක් වේදනාවන්ට සහනය ලබාදෙන ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ මධ්‍යස්ථකම මට ද හිමි වුනි. එසේ නොවුනානම්, මගේ ගර්භාෂයේ ගෙඩිය ඉවත් කිරීම සඳහා ශල්‍යකර්මයකට මුහුණ දිය යුතු විය. එසේ ගර්භාෂයේ ශල්‍යකර්මය සිදුකලානම් මගේ ජීවිතයේ අනාගතය සම්පූර්ණයෙන්ම අඳුරු වන බව ස්ථීරය. එහෙත් අප ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ට මගේ දුක ලියා ලිපි යොමු කිරීමෙන්, එක් සෙනසුරාදා සවසකදී උන්වහන්සේගේ සුවයේ ආශිර්වාදය මට ද හිමි විය.

 

අප පවුලම අප ශුද්ධෝත්තම අපොස්තලික පියතුමාණන්ට සදා කාලයටම ණය ගැතියි. එසේම උන්වහන්සේගේ රැකවරණය හා ආශිර්වාදය අපට පමණක් නොව, උන්වහන්සේ වෙත විශ්වාසයෙන් යුතුව පැමිණෙන සැමටම ද ලැබෙන බව මාගේ විශ්වාසයයි.

 

රේණුකා ස්වර්ණමාලි, – ජා-ඇල.

 

නිර්මල කන්‍ය මරිය තුමිය දර්ශණය වූ ශ්‍රී ලංකාවේ එකම සිද්ධස්ථානය වන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත, සති අන්තයේ සෙනසුරාදා සවස විවිධ ප්‍රදේශයන්ගෙන් ලඟාවන්නවූ සැදැහැවතුන් සවස 4 ට පැවැත්වෙන දේව මෙහෙය අවසානයේ, අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ඡායාරූපය අභියස ඇති ‛ඉල්ලීම් ලිපි පෙට්ටියට’ තම ඉල්ලීම් ලියා දමති. උන්වහන්සේගේ පින්තූරය අභියස වැඳ වැටී මේ ශුද්ධවු අපොස්තුළු තුමන්ගේ බලවත් මධ්‍යස්ථකම සොයති. පහත ඡායාරූප මගින් දැක්වෙන්නේ එම අවස්ථාවයි.