2014 නව අවුරුද්ට ආසිරි පැතීමේ මංගල දිව්‍ය පූජා යාගය අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී, 2013 දෙසැම්බර් 31 වෙනි දින රාත්‍රී 11.45 ට ආරම්භ විය.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමිය තුල රොක් වී සිටි සැදැහැවත් ජනතාව අමතමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා 2014 නව අවුරුදු උදාවත් සමගින් සුභ පැතුම් පිරි නැමූ අතර, නව අවුරුදු ආසිරි මංගල දිව්‍ය පූජා දේශණයේ දී ශුද්ධෝත්තම අපොස්තුළු තුමා සැමගේ අවධානය යොමු කර සිටියේ කාලයේ ඇති වටිනාකම ගැනයි.

 

‛‛මේ ලැබුවාවූ අළුත් අවුරුද්දේ අපි සිතට ගත යුත්තේ අපිට ලැබෙන සෑම තත්පරයක්ම මඟ නොහැර අපගේ ජීවිතයේ ප්‍රයෝජනවත් දෙයක් වෙනුවෙන් ඒ ලැබෙන සෑම තත්පරයක්ම යෙදවීමටයි’’ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කල සේක.

 

උන්වහන්සේ වැඩි දුරටත් මෙසේ ද ප්‍රකාශ කල සේක. ‛‛උදාවන සෑම දවසකම ඔබට තත්පර 86400 ක් ලැබෙනවා. මේ නව අවුරුද්දේ පළමු දවසේම දැන් ඔබට අද දවස සඳහා තත්පර 86400 ක් ලැබුණා. මේ වගේ දිනපතා තුන්සිය හැටපස් වතාවක් මේ උදා වූ නව වසර තුල ඔබට ලැබෙනවා. එම කාලය මුදලටත් වඩා වටිනවා. රුපියල්, ඩොලර්, යූරෝ ආදී වශයෙන් කුමන ආකාරයක මුදල් ක්‍රමයකින් මැන බැලුවත්, එක දිනකට ඔබට ලැබෙන මේ තත්පර 86400, ඒ සියළුම මුදල් වලට වඩා වටිනවා. මුදලටත් වඩා අගනා කාලය නිකරුණේ නාස්ති කරන්න එපා.’’

 

උදා වූ 2014 නව වසරේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ ප්‍රථම දේශණයට සාවධානව සවන් යොමා සිටි සැදැහැවතුන් අමතා උන්වහන්සේ තව දුරටත් මෙලෙසින් පැවසූ සේක. ‛‛එක දවසකට තත්පර 86400 ලැබී තිබුනත්, එයින් යහපත් ලෙස, වැඩදායි ලෙස, ප්‍රයෝජනයට ගන්නේ තත්පර කීයක්ද? එයිනුත් අපි පිනක් කිරීම සඳහා තත්පර කීයක් යොදවනවද? ඇත්තෙන්ම ඔයගොල්ලො ගොඩක් කාලය යොදවන්නේ යහපත් දේ වෙනුවෙන් නොව අයහපත් දේ වෙනුවෙන් නේද? දවසේ වැඩිම කාලයක් ගතකරන්නේ ඇඳේ දිගා වී නිදා ගන්නට නොවෙයිද? නින්දත් අවශ්‍යයි, ඒ කම්මැලිකම නිසා නොව, ජීවිතයේ පැවැත්ම සඳහායි. කාලයෙන් ප්‍රයෝජනය ගන්න. එය අපතේ හරින්න එපා. කාලය ඔබ වෙනුවෙන් නතර වෙන්නේ නැහැ. සෑම තත්පරයක්ම ධාර්මිකව ජීවත් වෙමින් කාලයෙන් ප්‍රයෝජන ගන්න’’

 

‛‛ඔබ ජීවත්වන පිළිවෙළ ගැන ඉතා සැලකිලිමත් වන්න. අඥානයන් මෙන් නොව, ඥානවන්තයන් මෙන් ජීවත් වන්න. කාලය නපුරු බැවින්, ඇති හැම අවස්ථාවකින් ම ප්‍රයෝජන ගන්න.’’ (එපේසි 5/15-16) මෙම කොටස ශුද්ධවු බයිබලයෙන් උපුටා ගෙන විස්තර කරනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තම කාලය නිසි අයුරින් ප්‍රයෝජනයටගනු ලැබූ බවත්, පෙර සඳහන් කල ශුද්ධවු ලියවිලි කොටස ලියනු ලැබූ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වී තෝරා පත්කරනු ලැබූ පළමු වන අපොස්තුළුතුමා වන, ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමා ද කාලය අපතේ නොහැර ඉතාමත් ක්‍රමානුකූලව ප්‍රයෝජනයට ගනු ලැබූ අපොස්තුළුතුමෙකු බවත් ප්‍රකාශ කල සේක.

 

‛‛ඔබට ලැබී තිබෙන මේ ජිවිත කාල සීමාව තුල උපරිමයෙන් පිං රැස්කරන්න. හොඳ දේ කරන්න, පිං සිද්ධ වෙන්නා වූ දෙයක්ම කරන්න. යහපත් දේ සිතන්න. තම ජීවිතයට ලැබි ඇති කාලය නාස්ති කරන්න එපා. පිං කරන්න, පවු කරන්න එපා, ගොඩාක් පිං කරන්න. පිනට ලැදිවන්න. දවසක ඔබට සිතේවි ඔබගේ ජිවිත කාලය තුල ඔබ ලැබුන ඒ වටිනා කාලය ප්‍රයෝජනවත්ව යොදවනු ලැබු බව.’’ මෙලෙස ප්‍රකාශ කරමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සියළු ජනතාවට නව අවුරුද්දේ අනුශාසනා කරනු ලැබූ සේක.

 

2014 නව අවුරුද්දට ආසිරි පැතීමේ දිව්‍ය පූජාවේ විවිධ අවස්ථාවන් පහත ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි