අපි මේ ගෙවන්නා වූ දින කිහිපය අපට පමණක් නොව මුළු මහත් ලෝක ජනතාවටම ඉතාමත් තීරණාත්මක කාලයක් බවට පත්වෙලා. කිසිවෙකු නොසිතූ අන්දමින් ලොව පුරා පැතිරීයමින් පවතින මේ කොවිඩ් නයින්ටීන් නැමැති බිහිසුණු දරුණු වසංගතය මුළු ලොව සියළු ජනතාව භීතියට පත් කරවලා ඉවරයි. ඒ නිසාම දෙවියන් කෙරෙහි විශ්වාසය ඇත්තෝ නිරන්තරයෙන් දෙවියන් සිහි කරමින් සිටින බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. දෙවියන් කෙරෙහි විශ්වාසයක් නොමැති ජනයා මෙවැනි අවස්ථාවක කුමක් ගැන සිතනවාද, කවුරුන් ගැන සිතනවාද කියා දැනගන්නට නැහැ.
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ වාසය කරන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට නිරතුරුවම සවන් දෙන, උන්වහන්සේ අපගේ ජීවිත සදහා උගන්වන කරුණුවලට සවන්දෙන උන්වහන්සේගේ පූර්ණ අනුගාමිකයෙක් වන මාගේ සිත මේ කාලයේ දුවගෙන දුවගෙන යන්නේ පසුගිය 2019 වසරටයි.
මෙහි දී මේ ටිකත් සටහන් කල යුතුයි, එනම් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා උන්වහන්සේට අයත් කණ්ඩායමක් කල්ලියක් අළුත් ක්රිස්තියාණි සභාවක්, අනුගාමිකයන් පිරිසක් තනන්නෙකු නොවෙයි. නමුත් මා ඇතුළු අපි විශාල පිරිසක් ස්වෙඡ්ඡාවෙන් ම, අපගේ නිදහස් කැමැත්තෙන් ම උන්වහන්සේගේ අනුගාමිකයන් වී සිටින නිසා උන්වහන්සේ පවත්වන සෑම දේව මෙහෙයකටම, සෑම ධර්ම දේශණයකටම, සෑම ඉගැන්වීමකටම සහභාගි වෙනවා. කුමන ආකාරයක අතිශයින්ම වැදගත් කරුණක් යෙදුනත්, මම පළමු තැන දෙන්නේ උන්වහන්සේට සවන් දීම සදහායි. එය එසේම කරන තවත් පිරිස සිටිනවා.
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ව දේව මෙහෙයක්, ධර්ම දේශණයක් වැනි අවස්ථාවක දී හැරුන කොට අනෙක් අවස්ථාවල දී උන්වහන්සේව දැකගන්නට අවස්ථාවක් බැතිමතුන්ට ලැබෙන්නේ නැහැ. මක්නිසාදයත් උන්වහන්සේ භාවනායෝගීව, නිතර ධ්‍යානයට සම වැදී, ඇතුලාන්ත ජීවිතයක් ගත කරන නිසයි. කෙසේ වෙතත් උන්වහන්සේ මිනිසුන් අතරින් දුරස්ව ජීවත්වන්නේ මිනිසුන් ගැන උන්වහන්සේට කිසිවෙකුගේ සහතිකයක් අවශ්‍ය නැති නිසයි. මෙවැන්නෙක් මිනිසුන් අතර ජීවත්වන්නේ නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කර ඇති ලෙසින්ම උන්වහන්සේ ජීවත්වන බව පැහැදිලියි. එනම් වෘකයන් අතර බැටළුවකු ලෙසින් ජීවත් වීමයි.
2018 වසරේ නොවැම්බර් හෝ දෙසැම්බර් මාසයේ දිනයක සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ මමත් තවත් නිලධාරීන් කිහිප දෙනෙකුත් කිසියම් වැඩකටයුත්තක යෙදී සිටිත් දී, හදිසියේ ම ශුද්ධෝත්තම අපොස්තුළුතුමා උයනට පැමිණියා. ‛‛මේ කොල්ලොටික බරට ම වැඩ දැ’’ යි අසමින් අප අසලට ම උන්වහන්සේ පැමිණි නිසාත් අහම්බෙන් සිදු වූ ඒ හමුව අප සියල්ලන්ට ම භාග්‍යවත් අවස්ථාවක් වුනා.
ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ට සමීපව උන්වහන්සේ සමග කතා කරන්නට අපට ලැබුණ ඒ අවස්ථාව අදටත් මතකයි. අපෙන් කෙනෙක් උන්වහන්සේගෙන් ඇසූ එක් පැනයකට උන්වහන්සේ පිළිතුරු ලෙස පැවසුවේ, ‛‛මිනිස්සු පවු කියන්නේ මොන වගේ දේවල් වලටද කියලා නොදන්නා කමත්, ආගමෙන් ආගමට වෙනස්වන පවු වර්ග නැති බවත්, එක ආගමක කට්ටියකට පාපයට දඩුවමත්, තවත් ආගමක කට්ටියකට එම පාපයම වාචිකව පැවසීමෙන් සමාවත් හිමිවන ක්‍රමයක් ගැන සමහර පුද්ගලයන් දරණ විශ්වාසය නිසා සිදුවන විනාශයත් මිනිසාගේ ම අවාසනාවමයි’’ යනුවෙන් ය. ඊටම සම්බන්ධ කරමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා අපට පැහැදිලි කර දුන්නේ, මිනිසෙක් කරනු ලබන ඕනෑම පාපයකට දඩුවමක් හිමිවෙන බවත්, එක එක ජන කොටස් අනුව, ජාතිය, ආගම, කුලය වැනි මිනිසුන් උපතේ දී බෙදා වෙන්කර ගන්නා විවිධ ජන කොටස් අනුව, ඒ ඒ ජන කණ්ඩායම්වලට එක් එක් ආකාරයට බලපාන ධර්ම නීතියක් නැති බවත්, ධර්ම නීතිය සියල්ලන්ටම පොදු අතර, පාපයට දඩුවම් විදීම අනිවාර්යය බවත්, එය සියල්ලන්ට ම පොදු බවත් උන්වහන්සේ පහදා දුන්නේ උදාහරණ කිහිපයක් ද සමගයි.
2018 වසරේ අවසන් කාලයේ සිදු වූ ඒ වාසනාවන්ත හමුවේ දී ශුද්ධෝත්තම අපොස්තුළුතුමා අපත් සමග පවසනු ලැබූ තවත් කරුණක් වූයේ, 2019 වසරේ ජනවාරි මාසයේ සිට මාසික රැස්වීම්වල දී, ‛සෞඛ්‍ය පාඩම’ යනුවෙන් විනාඩි පහක දහයක පමණ කාලයක් වැය කර අනාගතයට මුහුණ දීම සදහා වැදගත් වන හොද සෞඛ්‍ය කරුණු ගණනාවක් ම කියා දීමට බලාපොරොත්තු වන බවත් සහ එම කරුණු පුරුදු වූවොත් පසු කාලයේ දී ප්‍රයෝජනවත් වන බවත් ය.
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා එදා කිවූ ලෙසින් ම 2019 ජනවාරි මාසයේ සිට මාසික රැස්වීම් වල දී ‛සෞඛ්‍ය පාඩම’ යනුවෙන් උන්වහන්සේ ම නම් කල කතා පෙලක් 2020 පෙබ්‍රවාරි මාසයේ 23 වෙනි දින දක්වා ම කරනු ලැබුවා. ඇතැම් දිනවල ධර්ම දේශනා පැවති අවස්ථාවල ද ධර්ම දේශණය අවසානයේ එහි දෙවැනි කොටසක් ලෙස ශුද්ධෝත්තම අපොස්තුළුතුමා අපට සෞඛ්‍ය පාඩම් කියා දුන්නා. මේ කිසිදු සෞඛ්‍ය පාඩමක් විනාඩි පහකට හෝ දහයකට නම් සීමා වුනේ නැහැ. සමහර දිනවල පැය එකහමාරක් හෝ දෙකක් පමණ එකදිගටම උන්වහන්සේ අපට යහපත් සුරක්ෂිත සෞඛ්‍යයක් සදහා කරුණු කියා දුන්නා. මා සිතන විදිහට ලොව කිසිවෙක් තවම නොදන්නා අනාරක්ෂිත සෞඛ්‍ය පුරුදු මෙන්ම ශරීරයේ ප්‍රතිශක්ති වර්ධනය සදහා පහසුවෙන් කල හැකි සෞඛ්‍ය පුරුදු ද උන්වහන්සේ අපට ඉගැන්වූවා.
ඇතැම් පුද්ගලයන් රැල්ලට යමින් කන බොන යම් යම් දේ නිසා ශරීරයේ රැකගත යුතු අවයවයන්ට සිදුවන හානිය ද ශුද්ධෝත්තම අපොස්තුළුතුමා අපට පෙන්වා දුන්නේ, අපි ප්‍රියකරන ක්‍රීඩකයන්, නළු නිළියන් කන බොන සමහර දේවල් රූපවාහිනී තිරයේ දිස් වූ පලියට අපගේ ශරීරවලටත් ඒවා සුදුසු බව නොසිතන ලෙස ද ඉල්ලා සිටිමිනුයි. උන්වහන්සේ පැවසූ ඇතැම් දේ, සවන් දෙන අප පමණක් සිතේ තබාගෙන ඒ අනුව ජීවත් වන ලෙස ද ඉල්ලා සිටි අවස්ථා කිහිපක් ම මට මතකයි. ක්‍රිස්තුස් වහන්සේ පවසා ඇති ලෙසට ම වෘකයන් මැද බැටළුවෙක් ලෙසින් ජීවත් වන උන්වහන්සේට, එසේ පවසන්නට ද හේතු තිබුනා, හේතූන් ද උන්වහන්සේ පවසනු ලැබුවා.
එදා ශුද්ධෝත්තම අපොස්තුළුතුමා පැවසූ සියල්ලක් අද මේ සිදුවන දේවල් සමගින් ගැලපෙන ආකාරය දකින විට, ඒවා එකිනෙකට ගැලපෙන ආකාරය ද දකින විට උන්වහන්සේ අපට මොන තරම් යහපත් දේ ඉගැන්වූවා ද කියා මට හැගෙනවා.
එක් දිනයක් අප ආශ්වාස ප්රාශ්වාස කිරීමේ ක්‍රියාවලිය සදහා කල යුතු අභ්‍යාසයක් අපට පැවසූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ශරීරයේ ශ්වසන ක්‍රියාවලියට ශක්තියක් ලැබෙන එම ශ්වසන අභ්‍යාසය දිනපතාම කරන ලෙස ඉල්ලා සිටියා පමණක් නොව අප ජීවිතයට ජීවන හුස්ම වූ එම අභ්‍යාසය අප ලවා කරවීමට ද කටයුතු කලා. හුස්මක් උඩට ගැනීම, උඩට ගත් හුස්ම රදවා ගැනීම සහ රදවා ගත යුතු නිශ්චිත කාලය මෙන්ම හුස්ම රදවා ගෙන එම කාලය ගනනය කිරීම, ඉන්පසු හුස්ම සෙමින් පිටකල යුතු ආකාරය ද උන්වහන්සේ ඉගැන්වූ ආකාරය මතක් වන විට, මෙවැනි ව්‍යසනකාරී තත්වයකට මුහුණ දීමට උන්වහන්සේ කල්වේලා ඇතිවම අපව සූදානම් කල බවක් මගේ හිත කියනවා. ඒවාට සවන් දුන් තවත් බොහෝ අය මේ දිනවල නිතර මතක් කරන්නේ, පසුගිය 2019 වසර පුරාම ශුද්ධෝත්තම අපොස්තුළුතුමා කිසි ම දවසක නොකල ලෙසින්, ‛සෞඛ්‍ය පාඩම’ යනුවෙන් කතා පෙලක් පවත්වා අපට දුන් උපදෙස් පිළිබදවයි.
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා එක දවසක් කිවූ දෙයක් අදටත් මගේ හිතේ තදින් ම කා වැදී තිබෙනවා. ඒ ප්‍රකාශය නිරන්තරයෙන් මට සිහි වෙනවා. කොහොමත් උන්වහන්සේගේ දේශණයන්ට බුද්ධිමත්ව සවන් දෙන කාටත් අළුතෙන් සිතන්නට යමක් ඉතිරි වෙනවා. ඒවා අතර මම මේ කියන්නට යන උන්වහන්සේගේ ප්‍රකාශය දිනපතාම නිතිපතාම අළුතෙන් සිතන්නට පමණක් නොව ප්‍රවේශමෙන් ක්‍රියා කරන්නට ද මගේ හිතේ ඉතිරිව තිබෙනවා. එදා උන්වහන්සේට සවන් දුන් අප බොහෝම දෙනෙකුටත් එය එසේම බව මම දන්නවා.
මට මතක පිළිවෙලට මේ ප්‍රකාශය උන්වහන්සේ කලේ 2019 දෙසැම්බර් 28 වෙනි දා. එදා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙහෙම කිව්වා. ‛‛මරණයෙන් පස්සෙ අපට සිද්ධ වෙන්නේ මොනවාද, කියන ප්‍රශ්ණයට විවිධ පුද්ගලයන්ට විවිධ විවිධ පිළිතුරු තිබෙනවා. බොහෝ පිළිතුරු පදනම්වෙලා තිබෙන්නේ, ඒ ඒ අය අදහන ආගම් අනුව, ඒ ඒ ආගම්වල ප්‍රධානීන් උගන්වන කරුණු විශ්වාස කිරීමෙනුයි. මේ විශ්වාස කරන කරුණු උගන්වන ආගම් වූව ද කිසිවෙකුත් සොයා බලා කරුණු අවබෝධ කරගෙන තම තමන් අනුගමනය කල යුතු යයි නිගමනය කල ආගම් නොව, උත්පත්තියෙන්ම, තම දෙමාපියන් ද අයත්ව සිටි නිසා දෙමාපියන් විසින් ඔබලාගේ නිදහස් කැමැත්තෙන් නොව, ඔවුන්ගේ කැමැත්තෙන් ඔබව ඇතුළත් කරනු ලැබූ ආගම්. කෙසේ වෙතත් දැන් මා ඉදිරියේ වාඩිවී මට සවන් දෙන ඔබ මරණයෙන් පසු යළිත් ජීවිතයක් ඇති බව විශ්වාස කරනවානම්, ඒ ගැන බලාපොරොත්තුවක් තිබෙනවානම්, ඔබේ මේ ජීවිතයේ මරණයෙන් පසුව මේ පෘතුවියේ ම ඉපදෙන්නට ප්‍රාර්ථනා කරන්න එපා. මේ විශ්වය පුරා ඇති සියළු ග්‍රහ ලෝක අතරින් මිනිස් ජීවියාට වාසය කිරීමට සුදුසුම ග්‍රහ ලෝකය මේ පෘතුවියයි. මේ පෘතුවියේත් මිනිස් ජීවියාට වාසය කිරීමට සුදුසු ම සහ ඉහළ ම බිම් කොටස තිබෙන්නේ, මහ මුහුදෙන් වට වෙලයි. මහ මුහුදෙන් වට වූ එම බිම් කොටසට කියන්නේ, ‛ශ්‍රී ලංකාව’ කියලයි. ඉස්සර ‛සිලෝන්’ කියලත් කියලා තිබෙනවා. නමුත් මේ පෘතුවිය දැන් මිනිස් ජීවියාට වාසයට නුසුදුසු තැනක් බවට මිනිස් ජීවියාම පත් කරලා. පෘතුවියෙත්, මිනිස් ජීවියාට වාසයට සුදුසුවම තිබූ ‛ශ්‍රී ලංකාව’ නැමැති බිම් කොටසත් විනාශ කරලා. මේ පෘතුවිය නැමැති ග්‍රහ ලෝකයෙන් එපිට සිට බලාසිටින්නෙක් වේ නම්, මේ පෘතුවියට කරන විනාශය දැකලා, ඒ අතරේ ‛ශ්‍රී ලංකාව’ නැමැති බිම් කොටසට කරන විනාශය දැකලා කම්පා වෙනවා. දඩුවමක් දෙනවා නම්, හොදට හැදෙන්න අනිවාර්යයෙන් ම දඩුවමක් දෙනවා. ඉතින් මේ කරුණු නිසයි මම ඔයගොල්ලන්ට කියන්නේ, ඔබ මරණයෙන් පසු යළිත් ජීවිතයක් ඇති බව විශ්වාස කරනවානම්, ඒ ගැන බලාපොරොත්තුවක් තිබෙනවානම්, ඔබේ මේ ජීවිතයේ මරණයෙන් පසුව මේ පෘතුවියේ ම ඉපදෙන්නට ප්‍රාර්ථනා කරන්න එපා. ඔබට ඉපදෙන්නට හැකි අගනා ස්වර්ග ලෝක තිබෙනවා. හොදට පිං කරන්න. ආගම නොව ධර්මය අල්ලාගන්න. මේ පෘතුවියට වඩා අගනා ස්වර්ග ලෝකයකට ඔබට යන්නට පුළුවන්.’’
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ, හෙවත් අප ජීවත්වන මේ යුගයේ අපගේ පිනට පහළ වී ඇති මහා අධ්‍යාත්මික නායකයාණන්ගේ, මේ ප්‍රකාශය කොතරම් බරපතල ද? එහි සත්‍යතාවය සොබා දහම දැන් පෘතුවියේ කාටත් උගන්වනවා නොවේද?
සුරේන් චතුරංග ප්‍රනාන්දු,
සීදූව.