අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ 60 වන උපන් දිනය පසුගිය පෙබ්‍රවාරි 2 වෙනි දා අභිමානවත් ලෙස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සමරණු ලැබීය.

 

මීට වසර හැටකට පෙර 1957 පෙබ්‍රවාරි 1 වෙනි දා හරියටම මධ්‍යම රාත්‍රී 12 ට උන්වහන්සේ මෙලොවට උත්පත්තිය ලැබීය. ඉන් වසර හැටකට පසු 2017 පෙබ්‍රවාරි 1 වෙනි දින රාත්‍රී 11.30 ට, උපන් දින සංවත්සර මංගල දිව්‍ය පූජා මෙහෙය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී ආරම්භ විය.

 

ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ, අපොස්තලික සොහොන් ගැබ මත ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය උපන් දින සංවත්සර මංගල දිව්‍ය පූජාව පුද දෙනු ලැබීය. මෙම අපොස්තලික සොහොන් ගැබ තුල, උන්වහන්සේව මෙලොවට බිහි කල, උන්වහන්සේගේ මෑණියන් වූ මාග්‍රට් අපොන්සු මැතිණියගේ දේහය තැන්පත් කර ඇත.

 

මීට හැට වසරකට පෙර ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ව මෙලොවට බිහි කල මෑණියන්, එයින් හැට වසරකට පසු තම පුතණුවන් අපොස්තුළුතුමෙකු ලෙස, එතුමියගේ දේහය තැන්පත් කර ඇති සොහොන් ගැබ මත, 60 වන උපන් දින සංවත්සර දිව්‍ය පූජාව පවත්වනු ඇතැයි නිකමටවත් සිතන්නට නැතුව ඇති යි ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දිව්‍ය පූජාවේ දේශණයේ දී ප්‍රකාශ කල සේක.

 

කෙනෙකුගේ සැබෑම උපන් දිනය යනු කවදාදැයි සුවිශේෂී විග්‍රහයක යෙදුන ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, මිනිස් ළඳකගේ කුසයක් තුල බිහිවන කලලයක් තුලට ආත්මයක් පැමිණීමේ අවස්ථාව ගැන ද පැහැදිලි කරමින්, සිය උපන් දින සංවත්සර දිව්‍ය පූජාවේ දේශණය පැවැත්වූ අතර, මවු කුස සිටින දරුවන් මරා දැමීම හෙවත් ගබ්සාව නැමැති පාපයේ විපාක ගැන ද සවිස්තරව පැහැදිලි කර දුන් සේක.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ හැටවන උපන් දින සංවත්සර දිව්‍ය පූජාවේ දී උන්වහන්සේ පැවැත්වූ දේශණයේ විස්තර ඉදිරියේ දී ඔබ හමුවට ගෙන එමින් ඔබව දැනුවත් කිරීමට අපොස්තලික මාධ්‍ය කාර්‍යාලය බලාපොරොත්තුව සිටියි.

 

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශූද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ 60 වන ජන්ම දින මංගල පූජාවේ විවිධ අවස්ථා කීපයක් මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි