‛‛මේ ගතවන කාලය, ඔබේ ජීවිත කාලයයි. මේ ගෙවෙන්නේ ඔබේ ම ආයු කාලයයි. ඒ නිසා මෙම කාලය දෙවියන්ට ප්‍රසන්නවත්, ඔබේ ජීවිතයට ප්‍රයෝජනවත් ලෙසත් ගත කරන්න’’

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙලෙස ප්‍රකාශ කරනු ලැබුවේ, (ඊයේ) 2021 ජූනි 12 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ සිට සූම් තාක්ෂණය ඔස්සේ සිය බැතිමතුන්ව අමතමිනුයි. තම ගෙවල්වල සිට බැතිමතුන් පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධ වී සිටි අතර, විදෙස්ගතව සිටින බැතිමතුන් ද ඒ අතර විය.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ තනා තිබූ විශේෂ පුදසුනක් මත, කටුනායක අප ස්වාමිදූගේ ජීවමාන සංඥාවන් විහිදෙන අසිරිමත් ප්‍රතිමාව තැන්පත් කර තිබුණි. ප්‍රතිමාව වටා අලංකාර මලින් සරසා තිබූ අතර, බැතිමතුන් විසින් පරිත්‍යාග කර තිබූ දර්ශණ ඉටිපහන් දෙව් මවු ප්‍රතිමාව පාමුළ දල්වා තිබූ අතර, ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රථමයෙන් සැදැහැවතුන්ව ද සහභාගි කරවාගෙන ජපමාලය ඔප්පු කරනු ලැබූ අතර ඒ අවසානයේ තම බැතිමතුන් පිරිස වෙනුවෙන් දෙව් මවුන් වෙත විශේෂ යැදුමක් ද ඔප්පු කරනු ලැබූහ.

 

අනතුරුව තම සැදැහැවතුන්ට අවවාද රැසක් දෙමින් ඔවුන්ව අමතා කතාකල ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝ, පසුගිය බ්‍රහස්පතින්දා (ජූනි 10 වෙනිදා) බැතිමතුන් වෙනුවෙන් දෙව් මවුන් අමතා උන්වහන්සේ කවියෙන් ලිවූ යැදුමක් ද කියවනු ලැබූ සේක. සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී සිටි බැතිමතුන් පිරිස මෙම අවස්ථාවේ මහත් සතුටින් ඊට සවන් දෙන අයුරු දැකගන්නට හැකි විය. කවිය අවසානයේ බැතිමතුන් අත්පොලසන් දෙන අයුරු ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ද බලා සිටියේ සතුටින්.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සූම් තාක්ෂණය ඔස්සේ බැතිමතුන් අමතා කරනු ලැබූ සම්පූර්ණ කතාව මෙසේය.

 

ප්‍රියාදර දරුවෙනි, ඔයගොල්ලෝ ඔක්කොම දෙනා සැපෙන් ඉන්නවා නේද, සතුටින් ඉන්නවා නේද කියලා මම අසන්නේ නැහැ. නමුත් මම අසන්නට කැමතියි, ඔයගොල්ලෝ ඔක්කොමදෙනා පරෙස්සමින් ඉන්නවා නේද කියලා. මොකද මේ මොහොතේ පරෙස්සමින් ජීවත්වීම විතරයි එකම සැපතත්, සතුටත් වෙලා තියෙන්නේ.

 

ප්‍රියාදර දරුවෙනි, පැතිරෙන මේ වසංගත තත්වය ඔබේ ජීවිතවලට විශාල බලපෑමක් එල්ලකර තිබෙනවා. බොහෝ ම දෙනෙකුගේ ජීවිත අවුල්වෙලා. ඇත්තට ම මේ වසංගත තත්වය ආරම්භ වන විටත් බොහෝ දෙනෙකුගේ ජීවිත අවුල්වෙලා තමයි තිබුනෙ, ඉතින් දැන් මේ වසංගතයේ පැතිරීමත් සමගම බොහෝ ම දෙනෙකුගේ ජීවිත අවුලෙන් අවුලට පත්වෙලා. ඉතින් ඒ තත්වය ඔබට පමණක් හෝ එක්කෙනෙකුට දෙන්නෙකුට පමණක් හෝ නොවෙයි ලොව පුරා බොහෝ දෙනෙක් මෙම තත්වයට මුහුණ දෙමින් සිටිනවා. පළමුව ඔයගොල්ලෝ හිතන්න එපා, මේ වෙලාවෙ ගේ ඇතුලට හිරවෙලා ඉන්නේ ඔයගොල්ලෝ විතරයි කියලා. ලොව පුරා විශාල පිරිසක් මේ වන විට ගෙවල් ඇතුලේ හිරවෙලා තමයි ඉන්නෙ. මොහොතක් හිතන්න, අපේ අසල්වැසි ඉන්දියාව පවා මේ අති මහත් ව්‍යසනකාරී තත්වයට මුහුණ දීලා පීඩා විඳිනවා. ලොව පුරා කෝටි 17 කටත් වැඩි ප්‍රමාණයක් මේ වසංගතයට මේ වන විට ගොදුරුවෙලා තිබෙනවා. ලක්ෂ 37 කටත් වැඩි සංඛ්‍යාවක් මිනිස් ජීවිත මේ වන, මේ වසංගතය නිසා නැති වී තිබෙනවා. ශ්‍රී ලංකාවේත් දෙදහසකට වැඩි සංඛ්‍යාවකගේ ජීවිත මේ අවස්ථාව වන විට මේ වසංගතයෙන් නැතිවී තිබෙනවා.

 

ඕනෑම මිනිසෙක් රෝගාතූර වුනාම ශාරීරිකව පමණක් නොවෙයි, මානසිකවත් වැටෙනවා. එය ස්වභාවිකයි. නමුත් මේ වසංගත තත්වය කොතරම් භයංකාර ද කියනවානම්, මේ වසංගතයෙන් රෝගාතූර වෙන්නත් කලින් ම අපි ඔක්කොම දෙනා බයට පත්වෙලා, මානසිකව වැටිලයි ඉන්නෙ.

 

මෙ වගේ කණගාටුදායක ව්‍යසනකාරී තත්වයක දී අප කෙලෙස හැසිරිය යුතු ද, අපි කෙලෙස ක්‍රියා කල යුතු ද අපි කෙලෙස ශක්තිමත් විය යුතු ද අපගේ අනාගතය කෙලෙස සකස් කරගත යුතු ද කියලා අපි කවුරුත් බුද්ධිමත්ව කල්පනා කරන්නට ඕනා. ඔබේ අනාගතය හැකිලී අඳුරු වී ඇති බවක් දැනී ඔබ මානසිකව පීඩාවට පත්වෙලා ඉන්න අවස්ථාවක් දැන් ඔබ අත්විඳිනවා විය හැකියි. ඇත්තට ම හෙට දවසේ මොකක් වෙයිද, මොනවගේ ආරංචියක් අසන්නට ලැබෙයි ද කියලා නිරන්තර දෙගිඩියාවෙන් ඔබ පසුවෙනවා වෙන්නට පුළුවන්. නමුත් ඔබ අම්මෙක් තාත්තෙක් නම්, මේ වෙලාවේ ඔබගේ මානසික ශක්තිමත් මුහුණ, සතුටු මුහුණ ඔබේ දරුවෝ දකින්නට ඕනා. ඔබ දරුවෙක් නම් ඔබේ අම්මා තාත්තට කරදර නොකරන, ඔවුන්ට වචයකින්වත් පීඩා නොකරන, ඇත්තෙන් ම ඔවුන්ට ලොකුම ශක්තියක් වන, ලොකුම සැනසීමක් වන දරුවෙක් වෙන්නට ඕනා. මේ තත්වය ජයග්‍රහණය කරලා, අනාගතයට සාර්ථකව මුහුණ දෙන්නට නම් අම්මා තාත්තා දරුවෝ මේ සියළු ම දෙනා මෙම කාලය තමන්ගේ අනාගතයට වාසියක් වෙන විදිහට යොදා ගන්නට බුද්ධිමත් අන්දමින් කටයුතු කිරීම ඉතාමත් අවශ්‍යයයි.

 

ප්‍රිය දරුවෙනි, ඕනෑම උස ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ දී, ශක්තිමත් අත්තිවාරමක් මත එය ඉදි කලේ නැත්නම්, කුමන හෝ ව්‍යසනයක දී, ආපදාවක දී එය කඩා වැටෙනවා. ඉතින් මේ වසංගත කාලයට පරෙස්සමින් මුහුණ දීලා අනාගතය යලිත් ජවයෙන් යුතුව ඇරඹීම සඳහා, ඔබේ අනාගත ජීවිතයට හොඳ ශක්තිමත් අත්තිවාරමක් සකස්කර ගැනීමට මේ කාලයෙන් ප්‍රයෝජනයක් ගන්න.

 

ඇත්තටම මේ වසංගත කාලය ගෙදරටම හිරවෙලා ඉන්න මේ කාලය ඔයගොල්ලෝ ගත කරන්නේ කොහොමද? උදේට නැගිටිනවා, කනවා, බොනවා, ෆෝන් එක අතට ගන්නවා, ඒක ඔබ ඔබා ඉන්නවා, ඊට පස්සෙ චාර්ජ් එකට දානවා, චාර්ජ් වෙනකම් නැවත නිදා ගන්නවා, ෆෝන් එකත් ලඟ තියාගෙන ම කනවා, බොනවා… ඔන්න ඔය වගේද? එහෙම නම්, මොකක්ද මේ ජීවිතේ කියලා ඔබට හිතෙන එක පුදුමයක් නොවෙයි.

 

මේ අර්බුදය ඇතුලේ ඔයගොල්ලෝ හිරවෙලා ඉන්නවා තමයි, ඒත් වෙනදා ඔබට කරන්නට වෙලාවක් නොතිබුන කොතරම් ප්‍රයෝජනවත් දේවල් කරන්නට දැන් ඔබට කාලය ලැබිලා තියෙනවද? ඔයගොල්ලෝ zoom තාක්ෂණය ඔස්සේ සෙනසුරාදා සවසට ජපමාලය ඔප්පු කරන්නට මේ දිනවල සතිපතා මාත් සමග එකතු වෙනවා. අනික් දවස්වලත් ගෙවල්වල මෙය ඔබට කල නොහැකිද? දැන් ඒ සඳහා වෙලාවක් නැත කියලා කියන්ට පුළුවන්ද? මේ ඔබේ උදාසීන බව මරිය මාතාවන්ට නොපෙනෙනවාද? මේ ගැන හිතන්න. මතක තබා ගන්න මේ ගතවන කාලය, ඔබේ ජීවිත කාලයයි. මේ ගෙවෙන්නේ ඔබේ ම ආයු කාලයයි. ඒ නිසා මෙම කාලය දෙවියන්ට ප්‍රසන්නවත්, ඔබේ ජීවිතයට ප්‍රයෝජනවත් ලෙසත් ගත කරන්න.

 

ඒ වගේම කල්පනා කරලා බලන්න, මේ වන විටත් කොතරම් කාලයක් ඔබ ගෙදරට ම වී සිටියද? ඔබේ හැකියාවක් වැඩි දියුණු කර ගැනීම සඳහා, ඔබේ දැනුම වැඩි දියුණු කරගැනීම සඳහා මම මෙතරම් කාලයක් යෙදවූවා කියලා ඔයගොල්ලෝ අතරින් කාටද කියන්න පුළුවන්? සමහර විට හදිසියේ ඇති වූ මෙම තත්වය නිසා, මොනවා කරන්නද කියලා කල්පනා නොවුනා වෙන්නට පුළුවන්. ඒ නිසා දැන්වත් බුද්ධිමත්ව කල්පනා කරලා ඔබගේ දැනුම වැඩිකර ගන්නට, නව දැනුමක් ජීවිතයට එක්කර ගන්නට මේ කාලයේ අන්තර් ජාලය පාවිච්චි කරන ඔබ බුද්ධිමත් වෙන්න.

 

වර්තමානයටවත්, ඔබගේ අනාගතයටවත් ප්‍රයෝජනයක් නැති අවිචාරවත් දේ වෙනුවට, කියවීමටත්, නැරඹීමටත්, ජීවිතයට තව තවත් දැනුම එකතු කර ගැනීමටත් මෙම කාලය යොදා ගන්න. වසංගතයට ගොදුරු වී ඇඳක් මත ජීවිතයත් මරණයත් අතර ජීවත් වෙන්නට ඔබ නොලද අවස්ථාව, ඔබගේ අනාගතය වෙනුවෙන් යහපත් සිතුවිලිවලින් යුතුව, ඵලදායි ලෙස ගත කිරීමට සිතට ගන්න. මතකයේ තදින් ම රඳවා ගන්න, මේ ගෙවෙන්නේ ඔරලෝසුවේ කාලය නොව, ඔබගේ ජීවිත කාලයයි.

 

වෙනදා මා ඔබව අමතන අවස්ථාවල, මා ඉදිරියේ සිටින අපොස්තලික මාධ්‍ය ජාලයේ කැමරා ශිල්පීන් එක්කෙනෙක්වත් අද මෙහි නැහැ. ඔවුන් ද ගෙවල්වල සිරවී සිටිනවා. සමහර කැමරා ස්වයංක්‍රීයව මා ඉදිරියේ ක්‍රියාත්මක වෙනවා. ඒ අතර කිසිදා කැමරාවන් අතට නොගත් වෙනත් අංශවලට අයත් නිලධාරීන් අතට තවත් කැමරා පත්වෙලා, මා ඉදිරියේ සිටිනවා. මේ සියල්ලක්, නවකයන් සමග අපොස්තලික මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතා විසින් මෙහෙයවනවා. දුෂ්කර කටයුත්තක් කරන බව පෙනෙනවා. ඔබට නොපෙනෙන බොහෝ පැති මේ මොහොතේ මට පෙනෙනවා. අපොස්තලික මාධ්‍ය කටයුතු පමණක් නොව, විශේෂයෙන් සිද්ධස්ථානයෙන් ඔයගොල්ලන්ට ඉටුවිය යුතු යුතුකම් පවත්වාගෙන යාමට, මේ කාලයට වඩාත් උචිත ලෙස පවත්වාගෙන යාමට තාක්ෂණය යොදවා සිදුවිය යුතු සියල්ල කිරීමට මනෝජ් චින්තක මහතා කැපවීමෙන් කරන සේවාව අපි සියළු දෙනාට ම ආශිර්වාදයක් වෙලා තිබෙනවා. ලබන අඟහරුවාදාට, එනම් ජූනි 15 වෙනිදාට මනෝජ් චින්තක මහතා, පූර්ණ කාලීන සේවය සඳහා, සියල්ල හැරදමා නවසීලන්තයේ සිට මෙම සිද්ධස්ථානයට පැමිණ අවුරුදු 14ක් සම්පූර්ණ වෙනවා. ඒ පිළිබඳව ද මේ අවස්ථාවේ මා සිහිපත් කරන අතර, අවුරුදු 14ක කාලයක් තුල ඔහු අපගේ සිද්ධස්ථානයට කල සේවාව ද සහිපත් කරන මෙන් මා ඔබගෙන් ඉල්ලා සිටිනවා.

 

පෙරේදා, ඒ කියන්නේ ජූනි 10 වෙනි දා රාත්‍රියේ, මම ඔයගොල්ලො වෙනුවෙන් දේව මෑණියන්ට කවියකින් යැදුමක් ලිව්වා. මොකද කියන්නෙ, කියවන්නද? හැබැයි තාලයට නෙමෙයි, වචනවලින් මම කියවන්නම්. අහගෙන ඉන්න.

 

පතුල් ටිකක් රත්වුනාට තබනා කල ගල් පොළවට
පවුල් පිටින් ඇවිත් වැටී යදිනා කල මෑණියන්ට
තැවුල් සිතට සැනසීමක් සුවයක් ඇතිවෙමින් එවිට
උපුල් කමල් විලස පිපී මුවගින් උතුරාය සතුට

 

ගමින් ගමින් එන දරුවන් අම්මේ ඔබ එක්කළාද
ඔවුන් සැමගෙ දුක අසමින් ඔවුන් සැවොම සැනසුවාද
වෙනසක් නැතිවම සැමටම මවේ ඔබ ආසිරි කළාද
තැනින් තැනින් ආ ඒ අය අම්මේ එක පවුලක් කළාද

 

ජපමාලය අතේ රුවා මුමුන මුමුන මවුන් යදිති
පිච්ච මලක සුවඳ මැදින් දෙව් විමනේ දෙදණින් යති
මෑණියන්ගෙ පාමුල ලඟ තවත් කෙනෙක් බාර බඳිති
මෙවැනි විස්ම නුදුටු අයෙක් මුවත් ඇරන් බලා සිටිති

 

ඉටිපන්දම් දල්වාගෙන මෑණියො දෙස බලා සිටිති
රෝස කුසුම් ඉටිපහනින් මෑණියන්ගෙ පා සරසති
මා දෝතින් ආසිරි දුන් පැන් ගෙන සිරුරේ තවරති
මෑණියන්ගෙ පිහිට පතා දෑතම එක් කරන් යදිති

 

විනය නීති කඩනවාට මෑණියනේ කමාවන්න
සිතේ ගතේ සියළු රෝග දුක් දොම්නස දුරුකරන්න
ඔබේ සුරත දිගුකරමින් ආසිරි දී සනසවන්න
මේ දරුවන් සියළු දෙනට යළිත් එන්න වරම් දෙන්න

 

හොඳයි, ඔයගොල්ලෝ සියළු දෙනා පරෙස්සමින් ඉන්න. මතු දිනයක දෙව් මවුන් ඉදිරියේ, එතුමිය වෙත ස්තූතිකර ප්‍රශංසා කිරීමට අප සියළු දෙනාට ම අවස්ථාව උදා වේවා. ඔයගෝලෝ සියළු දෙනාට ම බොහොම ස්තූතියි.

 

සූම් තාක්ෂණය ඔස්සේ තම බැතිමතුන් ඇමතා කතා කරන්නට පෙර ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ඔවුන් සමග දෙව් මවුන්ට ජපමාලය පුද කරනු ලැබූ අතර, එම අවස්ථාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ තනා තිබූ විශේෂ පුදසුනක් මත, කටුනායක අප ස්වාමිදූගේ ජීවමාන සංඥාවන් විහිදෙන අසිරිමත් ප්‍රතිමාව තැන්පත් කර තිබූ අයුරු පහත ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි