පසුගිය සෙනසුරාදා (2025 ඔක්තෝම්බර් 18) උදෑසන සිටම ඇද හැළුන වර්ෂාව විටින් විට සුළු වේලාවකට නතර වූවත් රාත්‍රී වන තුරුම එහි නිමාවක් නොවීය. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය පිහිටා ඇති කටුනායක ප්‍රදේශයට පමණක් නොව, මුළු දිවයිනට ම ඒ වැස්ස ඇදහැලෙන්ට විය. එදින සවස පැවැත්වෙන හාස්කම් යාච්ඤාව සඳහා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සියළු කටයුතු සූදානම්ව පැවතුනි.

 

මහ වැසි නොතකා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත, දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන්, බැතිමතුන් ඇදී එන්නට විය.

 

සිරිත් පරිදි සවස 6 ට, හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීම ආරම්භ විය. වසර ගණනාවක සිට, දේව මෑණියන්ගේ බහුල වරප්‍රසාද, පිහිට ලබා ගැනීම සඳහා උපකාරයක් වූ හාස්කම් යාච්ඤාව, සැදැහැවතුන්ගේ පමණක් නොව, දේව මෑණියන්ගේ ද සිත්ගත් යාච්ඤාවක් බවට පත් වී ඇති මෙම කුඩා යාච්ඤාව තුලින් ජාති, ආගම් භේදයන්ගෙන් තොරව සැදැහැවතුන් ලබා ඇති පුදුමාකාර පිහිට නිසාම, මෙම යාච්ඤාවට සහභාගි වීම, කොතරම් වැසි වැස්ස ද සැදැහැවතුන්ට අමතක කල නොහැකිය.

 

2025 ඔක්තෝම්බර් 18 වෙනි සෙනසුරාදා සවස හාස්කම් යාච්ඤාව ඇරඹී, ගත වූයේ කෙටි වේලාවකි. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර තුල ස්ථාපිතව ඇති, දේව මෑණියන්ගේ ප්‍රධාන ප්‍රතිමාවෙන් පිච්ච මල් සුවඳ විහිදෙන්නට විය. මෙය මහා ප්‍රාතිහාර්‍යයකි.

 

මෙම ප්‍රතිමාව නිර්මාණය කර ඇත්තේ ද, නිර්මල කන්‍ය මරිය මාතාවෝ ශ්‍රී ලංකාවේ දර්ශණය වූ අවස්ථාවක, එතුමිය දර්ශණය වූ ආකාරය සිහිපත් කරවන ආකාරයෙනි.

 

1977 ජූලි 27 වෙනි දින නිර්මල කන්‍ය මරිය මාතාවෝ, 18 වන වරට ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී දර්ශණය වූයේ, එතුමියගේ වම් හස්තයෙන් කුඩා ජේසු බිළිඳුන්ව ද වඩවා ගෙනය. මෙලෙසින් ඒ උත්තමාවිය ජීවමානව ම පෙනී සිටියේ, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු පියාණන් ඉදිරියේයි. එම අවස්ථාව එතුමිය දර්ශණය වූ දසඅට වෙනි අවස්ථාව වූ අතර, ඊට පෙර දස සත් වතාවක් නිර්මල කන්‍ය මරිය තුමියව ජීවමානව ම දැක ගන්නට උන්වහන්සේ වාසනාව ලබා සිටියහ. ඒ කිසිදු අවස්ථාවක නිර්මල දේව මෑණියන්, ජේසු බිළිඳුන් සමග දර්ශණය නොවූ අතර, 1977 ජූලි 27 වෙනි දින එතුමිය දර්ශණය වූයේ, සිය වම් හස්තයේ ජේසු බිළිඳුන් වඩවා ගෙනය. නිර්මග කන්‍ය මරිය මාතාවෝ පළමු වරට, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු පියාණන් ඉදිරියේ දර්ශණය වූයේ, 1975 පෙබ්‍රවාරි 5 වෙනි දිනයි. මේ වන විට මේ දර්ශණයන්ට අඩසිය වසරක් ද සම්පූර්ණව ඇති අතර, දර්ශණ වාරයන් විසි තුනක් ද සපුරා ඇත.

 

1977 ජූලි 27 වෙනි දින නිර්මල කන්‍ය මරිය මාතාවන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු පියාණන් ඉදිරියේ ජේසු බිළිඳුන් සමග දර්ශණය වීම අපට සිහිපත් කරවන, මෙම ප්‍රතිමාව, ශුද්ධෝත්තම අපොස්තුළු පියාණන්ගේ ම උපදෙස් අනුව නිර්මාණය කරනු ලැබුවේ, මෙලෙසින් දේව මාතාවන් ව ජීවමානව ම දැක ගත්තේ උන්වහන්සේ බැවිනි.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු පියාණන් මේ වන විටත් ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ජීවත්වන අතර, තව මාස තුනකින් උන්වහන්සේ සිය ජීවිත ගමනේ 69 වෙනි වසර සම්පූර්ණ කරනු ලබයි.

 

නිර්මල කන්‍ය මරිය මාතාවන් සිය වම් හස්තයේ ජේසු බිළිඳුන් වඩවාගෙන වැඩ සිටින, මෙම ප්‍රතිමාවෙන්, පළමු වරට පිච්ච මල් සුවඳ පැතිරෙන්නට වූයේ, 2019 ජූලි 27 වෙනි සෙනසුරාදා ය. එදින ද සෙනසුරාදාවක් බැවින්, සවස හාස්කම් යාච්ඤාව උච්චාරණය සඳහා රැස්ව සිටි සැදැහැවතුන්ට, ප්‍රතිමාවෙන් නිකුත් වූ පිච්ච මල් සුවඳ විඳ ගැනීමට අවස්ථාව සැලසුනි.

 

එතැන් සිට මේ වන විට සත් වතාවක්, මෙම දෙව් මවු ප්‍රතිමාවෙන් පිච්ච මල් සුවඳ පැතිරී ඇති අතර, සත් වන වරට පිච්ච මල් සුවඳ පැතිරුනේ, 2025 ඔක්තෝම්බර් 18 වෙනි සෙනසුරාදා දිනයි.

 

මෙම පිච්ච මල් සුවඳ එදින මධ්‍යම රාත්‍රිය පසුවන තෙක් ම පැවති අතර, සැදැහැවතුන් දර්ශණ දෙව් මැඳුර තුල මහත් බැතියෙන් යාච්ඤා කලේ, තමන්ගේ ම දෑස් ඉදිරියේ පිච්ච මල් සුවඳ පතුරවන දේව මෑණියන්ගේ ජීවමාන බව අත්දකිමින්, සිය දෙනෙත්වල සතුටු කඳුළු පුරවාගෙනයි. තමන් ජීවතුන් අතර සිටිය දී ම මෙවන් ප්‍රාතිහාර්‍යයක් දැක ගැනීමට ලැබීම කොතරම් වාසනාවක් දැ යි ඔවුන් සිතුවා නොඅනුමානයි.

 

2025 ඔක්තෝම්බර් 18 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැඳුර තුල ස්ථාපිත, ජේසු බිළිඳුන් වඩවා ගත් නිර්මල කන්‍ය මරිය මෑණියන්ගේ ප්‍රතිමාවෙන්, තම දෑස් ඉදිරියේම විහිදී පැතිරෙන පිච්ච මල් සුවඳ, තම නාසයට දැනෙත් දී, ඒ ස්වර්ගීය සුවඳ තම ගත සිසාරා පැතිරයත් දී, සැදැහැවතුන් දර්ශණ දෙව්මැඳුර හරහා ප්‍රතිමාව ඉදිරියේ දණින් වැඳ වැටී ගමන් කරමින්, ප්‍රතිමාව ස්ථාපිත ශුද්ධ වූ මණ්ඩපයේ පොළව සිප ගනිමින් දෙව් මවුන්ට යාච්ඤා කල අයුරු මෙම ඡායාරූප කීපයෙන් ඔබට දැක ගත හැකියි