නිර්මල කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වාරයක් දර්ශණය වූ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ හෙවත් එතුමියගේ මහා හාස්කම් භූමියේ හදවත වූ, නිර්මල කන්‍ය මරිය මාතාවන්ගේ ඉල්ලීමක් පරිදි ඉදි වූ දර්ශණ දෙව්මැදුරේ, ප්‍රධාන පූජාසනයට ඉහළින් ස්ථාපිත, නිර්මල කන්‍ය මරිය තුමිය, ජේසු බිළිඳුන් සිය වම් හස්තයේ දරා අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු පියාණන් ඉදිරියේ දර්ශණය වූ අයුරු විදහා දැක්වෙන ප්‍රතිමාවෙන්, දෙවන වරටත් 2020 ඔක්තෝබර් 3 (පසුගිය සෙනසුරාදා) සවස, ජපමාලය උච්චාරණය සදහා විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණි සැදැහැවතුන් ශුද්ධවූ භූමියට රැස්ව සිටිය දී අසිරිමත් සිදුවීමක් සිදුවෙමින් පිච්ච මල් සුවද විහිදී පැතිරෙන්නට ආරම්භ වුනා. ඇත්තෙන්ම අසිරිමත් සිදුවීමක් වූ මෙම සිද්ධිය දර්ශණ දෙව් මැදුර තුල සිදු වූ දෙවන අවස්ථාවයි මේ.

 

නිර්මල කන්‍ය මරිය මාතාවන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණෙන එතුමියගේ දරු පිරිස වෙත නිරන්තරයෙන් බලා සිටින බව සනාථ කරමින් මෙම හාස්කම ප්‍රථම වරට සිදු වුනේ, පසුගිය වසරේ ජූලි 27 වෙනි දිනයි.

 

දෙවන වරටත් 2020 ඔක්තෝබර් 3 වෙනි සෙනසුරාදා සවස මෙම හාස්කම සිදුවෙමින් පවතින විට දී ම දර්ශණ දෙව් මැදුර තුලට පිවිස මේ මහා හාස්කම විද ගැනීමට රැස්ව සිටි සැදැහැවතුන්ට අවස්ථාව ලබා දීමට සිද්ධස්ථාන පාලක මණ්ඩලය කටයුතු කරනු ලැබුවා.

 

දර්ශණ දෙව්මැදුර තුලට ඇතුළු වූ සැදැහැවතුන් පිච්ච මල් සුවද පැතිරෙන කටුනායක අප ස්වාමිදූගේ ප්‍රධාන ප්‍රතිමාව ඉදිරියේ දනින් වැටී යාච්ඤා කරමින්, ජීවමාන වී වැඩ සිටින දෙව් මවුන්ට තම ඉල්ලීම් පුද කරනු ලැබුවේ දෑසේ සතුටු කදුළු ද සමගිනුයි. ඇතැම් සැදැහැවතුන් දර්ශණ දෙව්මැදුර හරහා දනින් ගමන් කලේ ජීවමාන වී තම දෑස් ඉදිරියේ ම ප්‍රාතිහාර්යන් දක්වන ආදර දෙව් මවුන් වෙත මහත් සෙනෙහසිනි.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දේව මන්දීරය තුල ස්ථාපිත, නිර්මල කන්‍ය මරිය තුමිය, ජේසු බිළිඳුන් සිය වම් හස්තයේ දරා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු පියාණන් ඉදිරියේ දර්ශණය වූ අයුරු විදහා දැක්වෙන ප්‍රතිමාවෙන් පිච්ච මල් සුවද පැතිරෙන අවස්ථාවේ දී ම ගනු ලැබූ ඡායාරූප කීපයක් සමගින් එම අවස්ථාවේ දර්ශණ දේව මන්දීරය තුල සැදැහැවතුන් දෙව් මවුන්ට යාච්ඤා කල අයුරු දැක්වෙන ඡායාරූප කීපයක් ඔබට මෙහි දැක ගත හැකියි