‛‛ඔබේ උපන් දිනය යනුවෙන් සදහන් කරන්නේ කවදා ද? ඒ කුමක් සම්බන්ධයෙන්ද? ඒ ඔබ ඔබේ මවගේ කුසයෙන් පිටතට පැමිණි දවසයි. නමුත් ඔබගේත් මගේත් සැබෑම උපන් දිනය කවදාදැයි දන්නවාද?……. ඒ ඔබ ඔබේ මවගේ කුසයට පැමිණි දවසයි. ඔබේ මවගේ කුසය තිබෙන්නේ ඒ ලෝකයේ නොවෙයි මේ ලෝකයේ. මේ ලෝකයේ තිබෙන ඔබේ මවගේ කුසයට ඔබ පැමිණි දිනය තමයි ඔබගේ සැබෑම උපන් දිනය. ඔබගේ මවගේ කුසය තුල එදා තමයි ඔබ මේ ලෝකයට ඉපදුනේ.’’

 

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මෙම වදන් ප්‍රකාශ කරනු ලැබුවේ 2017 පෙබ්‍රවාරි 2 වෙනි දාට යෙදුන උන්වහන්සේගේ 60 වන ජන්ම දිනය වෙනුවෙන්, සිද්ධස්ථාන පාලක මණ්ඩලය විසින් සූදානම් කර තිබූ උපන් දින සංවත්සර මංගල දිව්‍ය පූජා මෙහෙයේ දේශනය පවත්වමිනි.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙලොව උපත ලැබුවේ 1957 පෙබ්‍රවාරි 1 වෙනි දින හරියටම මධ්‍යම රාත්‍රී 12 ට වේ. ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරික යුවලක් වූ ජී. සී. අපොන්සු මැතිතුමා සහ මාග්‍රට් අපොන්සු මැතිණියගේ පුතණුවන් ලෙස මෙලොව එලිය දුටු ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, සිය 60 වන උපන් දින සංවත්සර දිව්‍ය පූජාව පවත්වනු ලැබුවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ පිහිටා ඇති අපොස්තලික සොහොන් ගැබ මතුපිට ය. මෙම සොහොන් ගැබ තුල ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ මෑණියන් වූ ස්වර්ගස්ථ මාග්‍රට් අපොන්සු මැතිණියගේ දේහය තැන්පත් කර ඇත.

 

උපන් දින සංවත්සර දිව්‍ය පූජාවේ දේශණය පවත්වමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙසේද ප්‍රකාශ කල සේක. ‛‛මේ ලෝකයට ඉපදී සිටින ඔබටත්, මටත් අපි සියලු දෙනාටමත් උපන් දිනයක් කියලා දෙයක් තියෙනවා. ඔයගොල්ලන්ගෙන් කවුරුහරි ඇහැව්වොත් ඔබේ උපන් දිනය කවදද කියලා ඔයගොල්ලෝ අවුරුද්දකුත්, මාසෙකුත්, දිනයකුත් සඳහන් කරනවා. මේ සියලු දෙනෙකුටම තමන්ගේ උපන් දිනය කියලා සමරන, තනිවම හෝ සිහිපත් කරන යම්කිසි දිනයක් අවුරුද්දකට වරක් එනවා. මේ කියන උපන් දිනය කුමක්ද? උපන් දිනය කවදද? කියලා ඇහැව්වොත් දැන් ඔබට කියන්න දිනයක් තිබෙනවා. මේ කියන දිනය, ඔබ ඉපදුනු දිනය යි කියලා, ඔබ කොහොමද ස්ථීරෙන්ම දන්නේ. ඔබටත් උපන් දිනයක් තියෙනවා, මටත් උපන් දිනයක් තියෙනවා. දැන් ඔබ කොහොමද හරියටම දන්නේ ඔබගේ උපන් දිනය, ඔබ ඔය හිතාගෙන ඉන්න අවුරුද්දයි, මාසයයි, දිනයයි කියලා? ඔබටම වුනත් ස්ථීරද? ඔබ හොඳටම දන්නවද එදා තමයි ඉපදුනේ කියලා? නැහැ, ඔයගොල්ලන්ගේ දෙමව්පියන්ගෙන් තමයි ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ උපන් දිනය අසවල් දිනයයි කියලා දැනගත්තේ. දැන් ඒක ඔයගොල්ලෝ විශ්වාස කරනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට මේක සනාථ කරන ලියවිල්ලක් තියෙනවා. ඒක තමයි තවත් ප්‍රබල සාධකයක් වෙන්නේ.’’

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා හැට වසරකට පෙර මෙලොවට බිහිවූයේ රාත්‍රී 12 ට නිසා, සිරිත් පරිදි මෙවරත් ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ උපන් දින සංවත්සර දිව්‍ය පූජා මෙහෙය ආරම්භ වූයේ 2017 පෙබ්‍රවාරි 1 වෙනි දා රාත්‍රී 11.30 ට වන අතර, මිනිසෙකුගේ සැබෑම උපන් දිනය වන්නේ කවරදාදැයි පැහැදිලි කරමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය දේශණයේ දී මෙලෙසින් ද පැවසූ සේක. ‛‛අපේ ජීවිතේ යම් යම් අවස්ථා වල අපිට අපේ උපන් දිනය සඳහන් කරන්න සිද්ධ වෙනවා. හැඳුනුම්පත ගන්නකොට, රියදුරු බලපත්‍රය ගන්නකොට, ගමන් බලපත්‍රයක් ගන්නකොට අපේ උපන් දිනය සඳහන් කරන්න ඕනා විතරක් නොවෙයි ඒ උපන් දිනය සනාථ කරන සාක්ෂියක් හැටියට යම් ලියවිල්ලක් ඉදිරිපත් කරන්ඩ ඕනා. ඒක තමයි උත්පත්ති සහතිකය. ඔයගොල්ලෝ උප්පැන්නේ කියලා කියන්නේ. “Birth Certificate” එක නැතහොත් උත්පත්ති සහතිකය ඉදිරිපත් කරන්ඩ ඕනා. මේ උත්පත්ති සහතිකයේ තියෙනවා ඔබ ඉපදුන දිනය. ඔබේ නම සඳහන් වෙනවා, ඔබේ මවගේ, පියාගේ නම්, කොහෙද ඉපදුනේ මේ සියල්ලක් සඳහන් වෙලා තියෙනවා. මේ උත්පත්ති සහතිකය තමයි ඔයගොල්ලෝ ඉදිරිපත් කරන්නේ ඔයගොල්ලන්ගේ උපන් දිනය සනාථ කරන්ඩ. දැන් ඔයගොල්ලෝ ඉපදුනා කියලා නෙමේනේ සනාථ කරන්නේ. උපන් දිනය, වයස ගැන ස්ථීර කරගැනීම සඳහා ඒ උත්පත්ති සහතිකය අවශ්‍ය වෙනවා. ඉපදුනා කියලා ඔප්පු කරන්ඩ දෙයක් නෑනේ ජීවමානව ගිහිල්ලා ඉදිරිපත් වෙනකොට. ඉපදිලා හින්දනේ ඉදිරිපත් වෙන්නේ. නමුත් දිනය පිළිබඳව සනාථ කරන්ඩ මේ උත්පත්ති සහතිකය ඉදිරිපත් කරන්ඩ වෙනවා. අන්න ඒකෙ තියෙනවා ඔයගොල්ලන්ගේ ඔය කියන උපන් දිනය. ඔයගොල්ලෝ සියළු දෙනාටම මේ උපන් දිනය තියෙනවා. නමුත් මගේ පුද්ගලීක අදහස ඕක වැරදියි. ඔබෙත් වැරදියි, මගෙත් වැරදියි.’’

 

මහ රෑ නොතකා ඉතා කුඩා අත දරුවන් පවා රැගෙන විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණි බැතිමතුන්ගෙන් ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන පිරී තිබෙනු දැක ගත හැකි විය. මහ රෑ නොතකා නොබලා ඔවුන් එසේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ උපන් දිනය පමනක් නොව, උපන් වෙලාව ද අලලා උන්වහන්සේ වටා රොක් වී සිටියේ ඇත්තටම ඔවුන් උන්වහන්සේට ආදරය කරන බැවිනි. එවන් බැතිමතුන් රැසක් හමුවේ සිය 60 වන උපන් දින සංවත්සර දිව්‍ය පූජාව පවත්වමින් දේශණය අවස්ථාවේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, යමෙකුගේ උපන් දිනය ලෙස සලකනු ලබන දිනය පිළිබඳව තව දුරටත් විග්‍රහ කරමින් මෙසේ කරුණු පැහැදිලි කල සේක. ‛‛මම දැන් කියන මේ කරුණු කාරණා සාවධානව ඔළුවට ගන්න. දැන් ඔබේ උපන් දිනය කියලා සඳහන් කරන්නේ කවදාද? ඒ කුමක් සම්බන්ධයෙන්ද? ඒ ඔබ, ඔබේ මවගේ කුසයෙන් පිටතට පැමිණි දවසයි. ඔබ, ඔබේ මවගේ කුසයෙන් පිටතට පැමිණි දවස තමයි, ඔබේ උපන් දිනය හැටියට සඳහන් කරන්නේ. නමුත් ඔබගේත් මගේත් සැබෑම උපන් දිනය කවදාදැ යි දන්නවද?……… ඒ ඔබ, ඔබේ මවගේ කුසයට පැමිණි දවසයි. ඔබේ මවගේ කුසය තිබෙන්නේ ඒ ලෝකයේ නොවෙයිනේ. මේ ලෝකයේ. මේ ලෝකයේ තියන ඔබේ මවගේ කුසයට ඔබ පැමිණි දිනය තමයි ඔබගේ සැබෑම උපන් දිනය. එදා තමයි, ඔබේ මවගේ කුසය තුල ඔබ මේ ලෝකයට ඉපදුනේ . මවගේ කුසයෙන් ඉවත් වෙලා පිටතට ආපු දවස තමයි, මේ ලෝකය තුල ඔබගේ උපන් දිනය හැටියට ඔබගේ උත්පත්ති සහතිකයේ සඳහන්ව තිබෙන්නේ. එම දිනයයි ඔබේ උපන් දිනය හැටියට ඔබ සලකන්නෙත්. නමුත් මවගේ කුසය තුලට ඔබ පැමිනියේ කවදාද කියන එක හරියටම විනිශ්චය කරන්ඩ, හරියටම ගණනය කරන්ඩ බැහැ. අන්න ඒ නිසා ඔබ මවගේ කුසයෙන් පිටතට පැමිණි දවස ඔබගේ උපන් දිනය හැටියට සලකනවා. නමුත් එම දිනයේ, ඔබ මවගේ කුසයෙන් පිටතට එන්නේ මාස 9 ක පුංචි දරුවෙක් හැටියට. නමුත් එම දිනයේ සිටයි ඔබේ උපන් දිනය ගණනය කරන්නේ.’’

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ 60 වන ජන්ම දිනය වෙනුවෙන් 2017 පෙබ්‍රවාරි 2 වෙනි දා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ පවත්වනු ලැබූ, උපන් දින සංවත්සර දිව්‍ය පූජා මෙහෙයේ දී ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ හස්තයෙන් සැදැහැවතුන් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගන්නා අයුරු මේ ඡායාරූප මගින් ඔබට දැක ගත හැකියි