ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා ආබාධිතයන් බැලීමට යයි

 

අති  උත්තම රොහාන් ලලිත්  අපොන්සු  ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා  පසුගියදා අපූරු ගමනක් ගියේය.  2012  නොවැම්බර් 25 වෙනි ඉරුදින සවස උන්වහන්සේ ගියේ, ශාරීරිකව හා මානසිකව ආබාධිත බවට පත්වී මෙලොව අසරණව ජීවත්වන පිරිසක් බැලීමටයි.

 

ඔවුන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම්, කෑම පමණක් නොව රස කැවිලි ද රැගෙන, මීගමුව කදිරානේ පිහිටා ඇති, ආබාධිතයන්ව රැකබලා ගන්නා මධ්‍යස්ථානයට ගිය ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා ඔවුන් සියළු දෙනාටම උන්වහන්සේ රැගෙන ආ තෑගි බෝග පිරිනමනු ලැබීය.

 

රැස්ව සිටි ආබාධිතයන් නොවන පිරිස අමතා කෙටියෙන් කතාවක් පවත්වනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා, ‛‛ජීවත් වන්නාවූ අපට සෑමදාම ප්‍රශ්ණ සමුවෙනවා. මේ අවස්ථාවේත් අපට සමුවී ඇත්තේ ප්‍රශ්ණයි. මෙහි අසරණවූ ආබාධිතයන් 44 දෙනෙක් සිටිනවා. ඉතින් මේ මොහොතේ අපට ප්‍රශ්ණ 44 ක් සමුවෙලා තියෙනවා. මේ අසරණයන් මේ ලෙසින් ආබාධිතව ඉපදුනේ ඇයි? සියළු බලය හිමි, සෑම අතකින්ම සාධාරණ දෙවියන් වහන්සේ මේ අසරණයන්ව මේ ආකාරයට ආබාධිතව මේ ලෝකයට බිහි වෙන්න සැලසුවේ ඇයි? මෙවැනි ප්‍රශ්ණ මිනිසුන්ට හමුවුන ප්‍රථම අවස්ථාව මෙය නොවෙයි. දැනට අවුරුදු දෙදහසකට පෙර ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයේ ජීවත්ව සිටින කාලයේ දී, උත්පත්තියෙන්ම අන්ධව ඉපදුන ආබාධිතයෙක්ව දැකලා උන්වහන්සේගේ ශ්‍රාවකයෝ ක්‍රිස්තුස් වහන්සේ වෙත ප්‍රශ්ණයක් ඉදිරිපත් කෙරුවා. ඔවුන් ඇසුවේ, ‛‛ගුරුදේවයෙනි, මොහු අන්ධ ව ඉපදුණේ මොහු හෝ මොහුගේ දෙමවුපියන් හෝ පව් කළ නිසාද?’’ කියලයි. එදා ශ්‍රාවකයන්ට ඇති වූ ගැටළුව මේ මොහොතේ අපටත් හමුවී ඇති ප්‍රශ්ණයයි. ඉතින් මේ ප්‍රශ්ණයට පිළිතුරු සොයන්න අපි ආරම්භ කෙරුවොත්, අපි සත්‍ය සොයන්න පටන් ගන්නවා. එහෙම වුනොත් මේ ලෝකය හුඟාක් ලස්සන වෙනවා’’ ප්‍රකාශ කල සේක.

 

‛‛අද සමාජය මෙවැනි ආබාධිත අසරණයන්ව පිලිගැනීමට සූදානම් නැත්නම්, එහි අර්ථය එවැනි සමාජයක් කරුණාව ප්‍රතික්ෂේප කරන බව’’ යයි පැවසූ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා, ‛‛මේ ආබාධිත අසරණයන් සියළු දෙනාම මනුෂ්‍යයෝ. අපි ඒ බව අමතක නොකල යුතුයි. මේ අසරණයන්ටත් සමාජයේ තැනක් තියෙන්න ඕනා, මේ ආබාධිත අසරණයන්ට මේ සමාජයේ හිමි තැන හිමි කර දීම, ජීවිතයට හිමි තැන ආරක්ෂා කර දීමයි. ඒ නිසයි අද මම මෙතැනට ආවේ’’ යයි ප්‍රකාශ කරනු ලැබූ සේක.

 

ඉතාමත් කෙටියෙන් උන්වහන්සේ පවත්වනු ලැබූ කතාව සමාප්ත කරමින්, ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා මෙසේ ප්‍රකාශ කල සේක. ‛‛මානසිකව ද ශාරීරිකව ද ආබාධිතව සිටින මේ අසරණයින් රැකබලා ගන්නා පිරිසගේ කැපවීම ඉතාමත් විශිෂ්ඨයි. ඔවුන්ගේගේ සේවාව රැකියාවක් ලෙසින් කලත්, වේතනයක් ලබා ගත්තත්, මෙය රැකියාවකට වඩා ඉහළට එසවෙන දයාවේ සහ පරිත්‍යාගයේ ක්‍රියාවක්. රැකියාවක් ලෙසින් හෝ මෙලෙස ආබාධිතයන් රැකබලාගැනීම සඳහා ඉදිරිපත්වීම, මේ කැපවීම බලාපොරොත්තු විය හැකි මිනිසුන් අද සමාජයේ අඩුයි. මේ කැපවීම මම ඉහළින්ම අගය කරන අතර ඔබ සියළු දෙනාටම ස්තූති වන්ත වෙනවා.’’

 

අබාධිතයන් රැක බලා ගන්නා එම මධ්‍යස්ථානයෙන් ආපසු පිටත් වීමට පෙර, එම මධ්‍යස්ථානයේ විශේෂ අමුත්තන්ගේ පොතේ සටහනක් තබන ලෙස එහි පාලකයන් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් වෙතින් කරනු ලැබූ ඉල්ලීම පිලිගත් උන්වහන්සේ, විශේෂ අමුත්තන්ගේ පොතේ සටහනක් යොදා සිය අත්සන ද තැබූ සේක.

 

ශාරීරිකව හා මානසිකව ආබාධිතව මෙලොව අසරණ වී ඇති පිරිසකට අවශ්‍ය කෑම, රසකැවිලි ආදී තෑගි ද රැගෙන ඔවුන් දිවි ගෙවන මධ්‍යස්ථානයකට ගිය අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා