කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානයේ දී අප්‍රියල් 29 වෙනි සෙනසුරාදා, ඔටුනු පැළදූ දෙව් මවු ප්‍රතිමාව

 

මම බෞද්ධ. ඒ වුනත් මම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ගැනත්, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ගැනත් හුගක් කාලයක ඉදන් දන්නවා. මට දැනගන්න ලැබුනේ දැනට අවුරුද්දකට විතර ඉස්සෙල්ලා fb පිටුවෙන්. නමුත් මම පළමු වරට කටුනායක පල්ලි ආවේ පසුගිය අප්‍රියල් 29 වෙනි දා තිබුණ, දේව මෑණියන්ට ඔටුණු පැළඳවීමේ උත්සවයටයි. එදාට අපේ ඉල්ලීම් දේව මෑණියන්ට කියන්න විශේෂ අවස්ථාවක් ලැබෙන බවත්, එකම එක ඉල්ලීමක් විතරක් ලියාගෙන එන්න කියලත් දැනුම් දීලා තිබුන නිසා මටත් හිතුනා කටුනායක පල්ලියට යන්න.

 

ඇත්තටම ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ මේ fb පිටුවට අවුරුද්දක විතර ඉදලා මම සම්බන්ධ වෙලයි හිටියේ. ඉද හිට මම දන්න තරමින් comments දාලත් තිබුනා. ඒ නිසා මරිය තුමී ගැන සුළු අවබෝධයක් මට තිබුනා.

 

දේව මෑණියන්ගෙන් ඉල්ලන්න මටත් ලොකු ඉල්ලීමක් තිබුනා. ඒ මගේ එකම වටිනා වස්තුව වන නැතිවුන මගේ රත්තරන් වලලු දෙක සොයා දෙන්න කියන්නයි. මම පවුලේ එකම දරුවා. මට ඉන්නේ තාත්තා විතරයි. දැනට අවුරුදු එකහමාරකට ඉස්සෙල්ලා මගේ ආදරණීය අම්මා මිය ගියා. ඇය මිය යන්න මාසයකට කලින් ඇගේ ජීවිත කාලයම අතේ දමාගෙන හිටපු පවුම් දෙකක රත්තරන් වලලු දෙක මට දීලා කිව්වා, ‛‛දුවේ ඔයාට දෙන්න තරම් දෙයක් මට නැහැ, මේ වලලු දෙක මාව මතක් වෙන්න තියාගන්න’’ කියලා. මම ඒ වලලු දෙකට ඇත්තටම ආදරය කලේ රත්තරන් නිසා නෙමෙයි. අම්මා මට කිව්ව දේ නිසයි. මම කොච්චර පරිස්සමින් ඒ වලලු දෙක රැකගත්තාද කියනවනම්, නිදාගන්නකොට ගලවලා පැත්තකින් තියලයි නිදාගත්තෙ. ඒ මගේ ඇගට අත යටවෙලා වලලු දෙක ඇද වෙයි කියලා. මට වටිනා වස්තුවකට තිබුනෙත් එච්චරයි.

 

පසුගිය ජනවාරි මාසයේ මම නුවර ගියා. ඒ අපේ නැන්දලාගේ ගෙදර. නැන්දා කියන්නේ අපේ අම්මාගේ නංගී. සුමානයක් විතර එහෙ ඉදලා එන්නයි ගියේ. ඒ අතර දවසක් දවල් කෑමෙන් පස්සෙ මම ටිකක් නිදා ගත්තා. ඇද ලග පුංචි මේසයක් තිබුනා. නිදාගන්න කලින් මම වලලු දෙක ගලවලා ඒ පුංචි මේසය උඩින් තියලයි නිදා ගත්තෙ. පැය එකහමාරකට විතර පස්සේ මම නැගිටලා බලන කොට මගේ වලලු දෙක නැහැ. හැම තැනම බැලුවා. ඇද යටත් බැලුවා. පුංචි මේසය උඩින් වැටිලා රෝල් වෙලා ඇද යටටවත් ගිහින්ද කියලා. කොස්ස දාලා, ටෝච් එක ගහලත් බැලුවා. අනේ ඒත් හම්බ උනේ නැහැ. නැන්දටත් පුදුමයි. එදා නැන්දත් දුක් උනා.

 

එදායින් පස්සෙ මගේ ජීවිතය එහෙම පිටින්ම කඩාගෙන වැටුනා. එදායින් පස්සෙ සෑම දවසක්ම මගේ අම්මා මිය ගිය දිනය වගේ වුනා.

 

ඔහොම ඉද්දී තමයි fb එකෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ අප්‍රියල් 29 වෙනිදා පැවැත්වූ දේව මෑණියන්ට ඔටුණු පළදවන දේව මෙහෙය ගැනත්, අපිට අවශ්‍යම එක ඉල්ලීමක් දේව මෑණියන්ගෙන් ඉල්ලන්න අවස්ථාවක් ලැබෙන බවත්, එය ලියාගෙන එන ලෙසත් දැනගත්තේ. මෙච්චර කාලයක් fb එකෙන් දැනගෙන තිබුන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට මගේ ඉල්ලීමත් ලියාගෙන ගිහිල්ලා දේව මෑණියන්ට භාර දෙන්න ඕනා කියලා මට හිතුනා.

 

මම අප්‍රියල් 29 වෙනිදා දේව මෑණියන්ට ඔටුණු පළදවන දේව මෙහෙයට සහභාගි වුනා. ලොකු සෙනගක් ඇවිත් හිටියා. දේව මෙහෙය අතරතුර ශුද්ධෝත්තම අපොස්තුළුතුමා විශේෂ ප්‍රාතිහාර්ය යාච්ඤාව කියවන්න පටන් ගත්තා. අපටත් උන්වහන්සේ සමගම එය කියන්න කිව්වා. අපගේ එකම ඉල්ලීම ලියාගෙන ආපු කොලය උඩට ඔසවන්න කිව්වා. යාච්ඤාව කරන අතරේ උන්වහන්සේ අපට කිව්වා කොල කැබැල්ලේ ලියාගෙන ආපු එකම ඉල්ලීම දැන් දේව මෑණියන්ගෙන් නිහඩව ඉල්ලන්න කියලා. ඒ සදහා අපට ටික වේලාවක් අවස්ථාව දීලා උන්වහන්සේ නිහඩව අප දෙස බලා සිටියා. මමත් කොල කැබැල්ලේ ලියාගෙන ගිය ඉල්ලීම සිතින් කිව්වා. මම ලියාගෙන ගියේ, ‛‛අනේ දේව මෑණියනී, මගේ අම්මා දුන්න, නැතිවී ඇති මගේ වලලු දෙක මට ආපසු සොයා දෙන්න’’ කියලයි. දේව මෙහෙයෙන් පස්සේ එම කොල කැබැල්ල ඔටුණු පැළදූ දේව මෑණියන්ගේ පිලිමය ඉදිරිපිට තබා තිබුණ පෙට්ටියට දාලා මම ගෙදර ආවා. මගේ නැති වුන වලලු දෙක දේව මෑණියෝ මට ලබා දෙයි කියලා මට ලොකු විශ්වාසයක් තිබුණා.

 

අප්‍රියල් 29 වෙනිදා රාත්‍රියේ මම ගෙදර ඇවිල්ලා එදා තිබුන දේව මෙහෙය ගැන තාත්තටත් කිව්වා. අප්‍රියල් 30 වෙනිදා සිට මම නිතරම සිතුවේ මට කොයි වෙලේ හරි මේ වලලු දෙක ලැබෙයි කියලා. මැයි 2 වෙනි අගහරුවාදා මම හිතුවා, දේව මෑණියෝ ලගට ගිහිල්ලා මම මේ ගැන කියලා කන්නලව් කරන්න ඕනා කියලා. මැයි 2 අගහරුවාදා සවස මම නැවතත් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට ගියා. සිද්ධස්ථාන භූමියේ තියන දේව මෑණියන්ගේ පිළිමය ඉදිරියේ වාඩිවෙලා මගේ හිතේ තියන වේදනාව දේව මෑණියන්ට කිව්වා. මැයි 3 බදාදා, මැයි 4 බ්‍රහස්පතින්දා, මැයි 5 සිකුරාදා මම දිනපතාම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට ගිහිල්ලා සිද්ධස්ථාන භූමියේ තියන දේව මෑණියන්ගේ පිළිමය ඉදිරියේ යාච්ඤා කලා.

 

මැයි 6 වෙනි සෙනසුරාදා සවස මම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට යනකොට තවත් බැතිමතුන් එක්වී දේව මෑණියන්ට යාච්ඤා කරමින් සිටියා. මම ඒ යාච්ඤා දන්නේ නැති වුනත් දැන් මට ටිකක් පුරුදු නිසා, මමත් ඒගොල්ලෝ එක්කම එකතු වෙලා, මගේ ඉල්ලීම හිතින් දේව මෑණියන්ට කිව්වා. එදා සිද්ධස්ථානයේ ආගමීක භාණ්ඩ සාප්පුව විවෘතව තිබුන නිසා එතනින් ජපමාලයකුත් ගත්තා. ඒ මැයි 6 වෙනි සෙනසුරාදා මම ගෙදර ඇවිත් විනාඩි පහකට විතර පස්සේ මගේ දුරකතනයට කෝල් එකක් ආවා. නුවර නැන්දාගෙන්. මොකක්ද දන්නවද කිව්වේ…….? ‛දුව ඔයාගේ රත්තරන් වලලු දෙක ඇද යට තිබිලා අද හවස මම ඇද යට අතු ගාද්දී හම්භ උනා’’ …………….ඔබට හිතන්ඩ පුළුවන්ද මට මොනවා හිතෙන්ඩ ඇතිද කියලා.

 

පොඩ්ඩක් හිතන්න. මේ වලලු දෙක නැති වුනේ ජනවාරි 15 වෙනිදා. එදා වැඩියෙන්ම කොස්ස දදා බැලුවේත් ඔය කියන ඇද යටම තමයි. එදා ඉදලා මැයි 6 වෙනිදා වෙනකම්ම නැන්දා කාමරේ අතු ගාද්දී ඇද යට අතු ගෑවේ නැද්ද?

 

මැයි 7 වෙනි ඉරිදා මම නුවර නැන්දලාගේ ගෙදර ගියා. නැන්දා මට වලලු දෙක දුන්නා. දුව නිදා ගත්තු ඇද යටම තමයි වලලු දෙක තිබුනේ කියල නැන්දා කිව්වා. මම මොකවත් කියන්නේ නැතුව වලලු දෙක අරන් ගෙදර ආවා. මම ඒ වලලු දෙක අතේ දැම්මේ නැහැ.

 

මැයි 8 වෙනි සදුදා මම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට ගියා. වලලු දෙක අතේ තියාගෙනම සිද්ධස්ථාන භූමියේ දේව මෑණියන්ගේ පිලිමය ඉදිරියේ මම දන්න විදහට මේ වලලු දෙක සොයා දුන්න දේව මෑණියන්ට ස්තූති කලා. ඊට පස්සේ දේව මෑණියන්ගේ පිලිමය ඉස්සරහ පිටම වලලු දෙක සන්තෝෂයෙන් අත් දෙකට දමා ගත්තා. මගේ ඇස් වලට කදුළු ආවා.

 

මගේ එකම වත්කමටත් වඩා, මිය ගිය මගේ අම්මාව සිහිවෙන්න, මගේ අම්මා මට දුන්න වලලු දෙක නැති උනා. මාස හතරක් මම වේදනා වින්දා. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට ගිහිල්ලා ජේසු අම්මාටම මගේ වේදනාව කිව්වා. ජේසු අම්මා මට වලලු දෙක සොයා දුන්නා.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය අපිට ජේසු අම්මා සවන් දෙන සිද්ධස්ථානයක්. ඇත්තටම ජේසු අම්මා මේ සිද්ධස්ථානයේ අපට නොපෙනී ජීවමානවම වැඩ සිටිනවා. එතුමිය හරිම පුදුමාකාරයි. එතුමිය අපට පිහිට වන්නේත් මහා පුදුමාකාර විදිහටයි.

 

 

ගයේෂා ඉමල්කා – කඩවත