තද සුළගකට මැදි වූවාක් මෙන්, හාස්කම් යාච්ඤාව අවස්ථාවේ දී තත්පර 30 ක පමණ කාලයක් තදින් සෙලවුන දෙව් මවු ප්‍රතිමාව මෙයයි. සෑම සෙනසුරාදාවකම සවස මෙම ප්‍රතිමාව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී දැකගත හැකියි

 

මගේත් මගේ මහත්තයාගේත් වයස අවුරුදු 35ක් වෙනවා. අපි දෙන්නා විවාහ උනේ ප්‍රේම සම්බන්ධයකින්. එතකොට අපි දෙන්නාගේම වයස අවුරුදු 18 යි. අපි දෙන්නගේම එකම වයස. ඒ වයසේ දී තමයි අපි දෙන්නා යහළු උනේ. අවුරුදු හතක ප්‍රේම සම්බන්ධයකින් පස්සේ, වයස අවුරුදු 25 දී අපි දෙන්නා විවාහ උනා. අපිට අවුරුදු 28 වෙනකම්ම දරු සම්පතක් නැතුව හිටියා. අපි ගොඩක් දුකෙන් හිටියේ. පසුව අපි වෛද්‍යවරුන් කිහිප දෙනෙකු ලඟටම ගියා. අපි දෙදෙනාම වෛද්‍ය පරීක්ෂණ කීපයකටම පෙනී සිටියා. මගේ මහත්තයාගේ වෛද්‍ය වාර්තාවල වරදක් නොතිබුනත්, මගේ වෛද්‍ය වාර්තාවල මගේ දුර්වලතාවයක් පෙන්නුම් කර තිබුනා. ඒ නිසා මට දරු පිළිසිද ගැනීමක් සිදු නොවන බවයි වෛද්‍යවරු කිව්වේ. ඒ උනත් වෛද්‍යවරු කිව්වා, ඒ දුර්වලතාවයට දැන් බෙහෙත් තියෙනවා, බෙහෙත් කරපුවාම හරියයි කියලා. ඒ අනුව වෛද්‍ය නියමයන්ට අනුව මම බෙහෙත් ගත්තා. කාලයක් බෙහෙත් ගත්තා. ඉන්පසු නැවතත් වෛද්‍ය පරීක්ෂණ වලට පෙනී හිටියා. එම වෛද්‍ය වාර්තාවලට අනුව මගේ දුර්වලතාවය සුවපත් වෙලා තිබුනා. වෛද්‍යවරු කිව්වේ දැන් ඉතින් භය වෙන්න එපා, ඔයාට ඉක්මනින්ම දරුවෙක් ලැබෙයි කියලයි. නමුත් මට දරුවෙක් පිළිසිද ගැනීමක් සිදු වුනේ නැහැ. නිතරම වෛද්‍ය වාර්තා රැගෙන පෙන්නුවා. ඒ සියල්ලක්ම යහපත් තත්වයේ තිබුනා. දුර්වලතාවය සම්පූර්ණයෙන්ම සනීප වෙලා තිබුනා. පසුවෙනකොට වෛද්‍යවරුන්ටත් පුදුමයි. ඒ අය කිව්වේ මීට පෙර මෙහෙම වෙලා නැහැ කියලයි. විවාහ වෙලා අවුරුදු 10 ක් ගත වෙනකොටත් අපට දරුවෙක් නැහැ. එතකොට අපි දෙන්නාගේම වයස අවුරුදු 35 ක්. අපි දෙන්නා කාටවත් නොකියා සිටි දෙයක් මේ වෙලාවෙ මම හෙලි කරනවා. අපි දෙන්නා යහළු උනේ වයස අවුරුදු 18 දී. විවාහ උනේ වයස අවුරුදු 25 දී. ඔය අවුරුදු 7 ඇතුලත අපි දෙන්නා අතර ඇතිවූ සමීප ඇසුර නිසා දෙවතාවක් මට දරුවන් පිළිසිදුනා. එම දෙවතාවේම මගේත් මහත්තයාගෙත් කැමැත්ත ඇතිව ඒවා ගබ්සා කලා. විවාහයෙන් පස්සේ දරුවන් පිළිසිදුනේ නැත්තේ, දරුවන් පිළිසිදෙන්නේ නැතිවයන දුර්වලතායක් තියනවා කියලා වෛද්‍යවරු කියපුවාම අපි දෙන්නට පුදුමත් හිතුනා. ඒත් අපි ඒ ගොල්ලන්ට කිව්වේ නැහැ අපි දෙන්නා යහළු වෙලා ඉද්දී දරු පිළිසිද ගැනීම් දෙකක්ම සිදුවෙලා ඒවා ගබ්සා කෙරුවා කියල. කොහොම හරි අවසානයේ අපේ පිහිටට හිටියේ, කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානයේ සිට ජීවමාන වන්නාවූ නිර්මල මරිය තුමියයි. අපි දෙදෙනාම එතුමිය සොයාගෙන කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානය වෙත ගියා. අපි මුලින්ම ගියේ සතියේ දිනයක සවස. සිද්ධස්ථාන භූමියේ තැන්පත් කර තිබෙන ජේසු බිළිදුන් අතින් දරාගෙන වැඩ සිටින දෙව් මවුන් පාමුළ දනගසාගෙන අපි දෙන්නාම ජපමාලය ඔප්පු කරලා, අපට දරු සම්පතක් ලබා දෙන්න මෑණියනී කියලා යාච්ඤා කලා. ඊට පස්සේ සෑම සෙනසුරාදාවකම සවස අපි දෙන්නාම ජීවමාන සංඥාවන් දකින්නට හැකි දෙව් මවු ප්‍රතිමාව පාමුළ දර්ශණ ඉටිපහන් දල්වලා, හාස්කම් යාච්ඤාවට සහභාගි වෙලා, අපි දෙන්නාම රතු පෙට්ටියට ලිපි දැම්මා. ඊට අමතරව සතියකට වරක් අපි දෙන්නාම ගිහිල්ලා සිද්ධස්ථාන භූමියේ තැන්පත් කර තිබෙන ජේසු බිළිදුන් අතින් දරාගෙන වැඩ සිටින දෙව් මවුන් පාමුළ දනගසාගෙන ජපමාලය ඔප්පු කෙරුවා. අපගේ එකම ඉල්ලීම උනේ අපට දරු සම්පතක් ලබා දෙන්න මෑණියනී කියන එකයි. අපි දෙදෙනාම රතු පෙට්ටියට ලියලා දැම්මේත් ඒ වගන්තිය විතරමයි. මට හොදට මතකයි. පෙබ්‍රවාරි 3 වෙනි සෙනසුරාදා සවස හාස්කම් යාච්ඤාව වෙලාවේ ජීවමාන සංඥාවන් දකින්නට හැකි දෙව් මවු ප්‍රතිමාව තද සුළගකට මැදිවෙලා වගේ එහාට මෙහාට වැනෙන්න පටන් ගත්තා. ප්‍රතිමාව වැටෙයි කියලා මට භයත් හිතුනා. ඒ වෙලාවෙ තද සුළගක් තිබුනෙත් නැහැ. ප්‍රතිමාව තැන්පත් කරලා තියෙන්නෙත් ආරක්ෂිත වීදුරු මණ්ඩපයක් ඇතුලේ. තත්පර 30 ක් විතර මම දැක්කා. පසුව මම හිතුවා මරිය තුමිය මට පිහිට වෙන බවට සංඥාවක් දුන්නා තමයි කියලා. එදත් අපි දෙන්නාම රතු පෙට්ටියට ලිපි දමලා, හාස්කම් යාච්ඤා මෙහෙය ඉවර වෙලා එලියට ආවා. මම මහත්තයාට කිව්වා මම හරි පුදුම දෙයක් අද සුරුවමෙන් දැක්කා කියලා. එතකොට එයා කිව්වා, එයත් පුදුම දෙයක් දැක්කා කියලා. බලනකොට අපි දෙන්නාම එකම දේ, එකම වෙලාවෙදී, එකම වෙලාවක් තුල දැකලා. අපි දෙන්නටම ඒ වෙලාවෙ ඇති උනේ හරිම සතුටක්. අපි කාලයක් බලාපොරොත්තුව සිටි සම්පත අපට ලැබෙන බවට මරිය තුමී අපි දෙන්නාටම සංඥා කරලා. ඒ වෙනකොට අපි සති දහයකටත් වඩා එකම විශ්වාසයකින් යුතුව රතු පෙට්ටියට ලිපි දාලයි තිබුනේ. මේ සිදුවීමෙන් සති තුනකට විතර පස්සේ අපට දැනගැනීමට ලැබුනා මගේ කුසයේ දරු පැටියෙක් පිළිසිදගෙන කියලා. කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානයේ අප ඉදිරියේ ජීවමාන වෙමින් අපට පිහිට වන්නා වූ දයාබර මරිය තුමිය අපට දුන්න මේ මහා සම්පත අපි කිසිදු දිනයක අමතක කරන්නේ නැහැ. දුකින් වේදනාවෙන් පසුවෙන සියල්ලන්ට මේ සැනසීමේ උල්පත වූ කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානය ගැන අපි දිවි ඇති තුරාවටම කියනවා, ස්ථීරයි.

 

(මෙම ලිපියේ හෙළිකර ඇති යම් යම් සිද්ධීන් සැලකිල්ලට ගෙන, මෙම දෙපලගේ නම් හෙළිකිරීමෙන් වැලකී සිටිමු – සංස්කාරක)