නිර්මල වූ අප ආදර කන්‍ය මරිය තුමිය විටින් විට ජීවමාන වෙමින් මහත් පෙළහර පාන්නා වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව් මැදුර තුල යි මේ ඡායාරූපය.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය පිළිබදව මා දැනගත්තේ facebook එක මගිනි. ඒ දැනට අවුරුදු ගණනාවකට පෙරයි. එදා සිට ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ පිටුවට comments දැමීම ද කලෙමි. නමුත් කිසිම දවසක කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට මා ගියේ නැත. ඒ වෙන කිසිවක් නිසා නොවේ. ඒ සදහා මට එතරම් උනන්දුවක් ද ඕනෑකමක් ද නොවීමයි. කෙසේ නමුත් මරිය තුමිය කෙරෙහි මගේ විශාල භක්තියක් තිබුණි. මේ අතර මගේ මිතුරෙකු මගින් දැනගන්නට ලැබුණ පාස්ටර් තුමෙක් මාර්ගයෙන් බයිබලයේ සදහන් කරුණු ඔහු පැහැදිලි කර දුන් ආකාරයට නිවැරදි යයි සිතූ මා ඔවුන් හා එක් වුනෙමි. මා ලග තිබුන මරිය තුමියගේ ප්‍රතිමාව මාගේ කාමරයෙන් ඉවත් කලෙමි. මා පාවිච්චි කල ජපමාලය ද මගෙන් ඉවත් කල අතර, ඇත්තටම එය කොහේ දැමුවාදැයි මතකයක් ද නැත. මරිය තුමියට ගරු බුහුමන් දැක්වීම සම්පූර්ණයෙන්ම අත්හැර දැමුවෙමි.

 

මගේ facebook එකවුන්ට් එකට ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ විස්තර ලැබෙන නිසා මරිය තුමිය වෙනුවෙන් ඉදිකල දෙව්මැදුර ගැන පමණක් නොව එතුමිය දර්ශණය වූ දර්ශණ දෙව්මැදුර තුල එතුමිය ජීවමාන වී විවිධ ජීවමාන සංඥා දක්වන බව ද දැන ගතිමි. ඇත්තටම මරිය තුමිය කෙරෙහි කිසිදු පැහැදීමකින් තොරව සිටි මම, කටුනායක පල්ලියේ දී මරිය තුමිය කරන මේ විකාරය මොකක්ද කියලා දැකගන්නට යා යුතු යයි සිතුවා. මේ අනුව පසුගිය සෙනසුරාදා මම කටුනායක පල්ලියට ගියා. අදහන්ඩ බැරි සෙනගක්. කොහොමහරි මට පල්ලිය ඇතුලට යන්න පුළුවන් උනා. පිටුපස දොරෙන් තමයි මිනිසුන්ව ඇතුළු කලේ. එතැන් සිට මරිය තුමියගේ ප්‍රතිමාව ලගට දිගටම යන්න පුළුවන්. මම දොරෙන් ඇතුළු වෙත්දීම මරිය තුමියගේ ප්‍රතිමාව දිහා බැලුවා. මට හිතාගන්න බැහැ, මට තාමත් පුදුමයි. මරිය මාතාවෝ ජේසු බිළිදුන්ව තුරුළු කරගෙන ඉන්නවා. එතුමිය මා දෙස දෑස් ලොකු කර පුදුමයෙන් වගේ බලාගෙන ඉන්න අයුරු දොරෙන් ඇතුළු වෙත්දීම මම දැක්කා. මට තාමත් පුදුමයි. මේ ප්‍රතිමාව සාදා ඇති ආකාරයවත්ද කියලත් මට හිතුනා. එහෙම හිතමින් මම පල්ලිය මැද හරියට යත්දී මරිය මාතාවන්ගේ ප්‍රතිමාව සාමාන්‍ය තත්වයට පත් උනා. මම පල්ලියේ අල්තාරය ලගට ගිහිල්ලා, ප්‍රතිමාව ලගින්ම දන ගැසුවා. නැවතත් මරිය මාතාවන්ගේ ප්‍රතිමාවෙන් මා දුටුවේ එතුමිය මා දෙස පුදුමයෙන් වගේ ඇස් දෙකම ලොකු කරගෙන බලා සිටින සැටියි. තත්පර කීපයක් එහෙම තිබුනා, ඒ එක්කම මරිය මාතාවෝ මා සමග සිනාසුනා. මගේ ඇස්වලට කදුළු ආවා. ඒ එක්කම දර්ශණ දෙව් මැදුර තුල මා රැදී සිටි වේලාව හමාර උනා. මම පිටතට ඇවිල්ලා ශුද්ධවූ පේදුරු පාවුළු උයනේ, දර්ශණ ඉටිපහන් ආශිර්වාද කරමින් සිටි ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් ලගට ගිහිල්ලා ඉටිපහනක් ආශිර්වාද කරවා ගත්තා. උන්වහන්සේ ඉටිපහන ආශිර්වාද කරලා, මා ගැන යමක් දන්නවා වගේ මගේ ඔලුව අතගෑවා. මම ඉටිපහන පත්තු කරලා, සිද්ධස්ථාන භූමියේ මරිය මෑණියන්ගේ ප්‍රතිමාව ලගට වෙලා කල්පනා කලා. ඇත්තටම මරිය තුමිය මට ලොකු පණිවිඩයක් දෙන්න ඇති. කුඩා කාලයේ සිට මම මරිය තුමියට ලොකු භක්තියක් තිබුණා. පස්සේ එතුමියව සම්පූර්ණයෙන් අමතක කලා. එතුමියට අපහාස කලා. මම අද ආවෙත් මරිය තුමිය කෙරෙහි භක්තියකින් නොවෙයි. මගේ පැමිණීම ගැන එතුමිය පුදුම වන බව මට පෙන්වන්න ඇති. මට තාමත් එතුමිය ආදරේ බව කියන්න මාත් සමග සිනහ වෙන්න ඇති. මරිය තුමිය වෙත ආපසු හැරී එන්න කියන පණිවිඩය මට දෙමින්, එතුමියව සැබවින්ම දැකගත් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මාත් සමග සිනා වෙන්න ඇති. මට සිතුනේ එයයි. කටුනායක පල්ලියේ දී මරිය තුමිය කරන මේ විකාරය මොකක්ද කියලා දැකගන්නට ගිය මම ආපසු පල්ලියෙන් පිටතට ආවේ, නැවතත් මරිය තුමියගේ ආදරය දිනාගත් දරුවෙක් වෙලයි.

 

 

දිමුත් සංජීව – මහනුවර