ශ්‍රී ලංකාවේ දී නිර්මල මරිය තුමී 23 වරක් දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත ‛‛දෙව් මවුන් සමග ජේසු බිළිඳු’’ ප්‍රතිමාවයි මේ. මෙම ලිපියෙන් කියවෙන මහා හාස්කම සිදුවී ඇත්තේ මෙම ස්ථානයේ, මෙම ප්‍රතිමාව පාමුලදීය

 

පසුගිය අප්‍රියල් 29 වෙනි දා සවස ඒ අසරණ මව සය මාසයක් වයසැති සිය එකම දරු පැටියා ද සමගින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත මහනුවර සිට ගියේ එදින කටුනායක මහා හාස්කම් සිද්ධස්ථානයේ පැවැත්වුන නිර්මල දේව මාතාවන්ට ඔටුණු පැළඳවීමේ දේව මෙහෙයට සහභාගි වී, තම කිරි කැටි බිළිඳා වෙනුවෙන් දෙව් මවුන් වෙත විශේෂ ඉල්ලීමක් ද ඉල්ලීම සඳහාය. ඇය එදින තම ඉල්ලීම දෙව් මවුන් වෙත යොමු කර බලා සිටියේ නැත. නොනවත්වාම ඇය එතුමියට කන්නලව් කලාය. අප්‍රියල් 29 වෙනි දිනට පසුවත් ඇය මහනුවර සිට දුර මග ගෙවාගෙන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ හාස්කම්පාන නිර්මල දේව මාතා වහන්සේ වෙත ගියාය. සිද්ධස්ථාන භූමියට ඇතුළු වී, සිද්ධස්ථාන භූමියේ දකුණු පස ස්ථාපිත කර ඇති දෙව් මවුන් සමග ජේසු බිළිඳු ප්‍රතිමාව පාමුල සිට තම වේදනාව දෙව් මවුන් වෙත කීවාය. ඇයට නිර්මල කන්‍ය මරිය තුමී පිළිතුරු දුන්නේ ඇයව පුදුමයෙනුත් පුදුමයට පත් කරවමිනුයි. ඇයගේ කතාව අප සියල්ලන්වම ද පුදුමයට පත් කරවයි. පහත පලවන්නේ එම කතාවයි

 

මගේ එකම පුංචි දරු පැටියට වයස මාස 5 යි. ඉපදිලා සතියක් යන තුරු මගෙන් හොදට කිරි බිව්වා. ඊට පස්සේ කොහොමටවත් මගෙන් කිරි බිව්වේ නැහැ. වෛද්‍යවරු කිව්වෙ දරුවට කොහොම හරි මව් කිරි දීම අනිවාර්ය බවයි. නැත්නම් දරුවාගේ වර්ධනයට එය සම්පූර්ණයෙන්ම බලපාන බවයි. කොහොමහරි දරුවව මව් කිරි වලට හුරු කරගන්න තුරු දෙන්න පිටි කිරි වර්ගයක් නියම කලා. නමුත් එය නිවැරදි සාර්ථක විසදුම නොවන බව ද වෛද්‍යවරයා කිව්වා. විශ්ෂඥ වෛද්‍ය වරයෙකු ලගටත් ගිහිල්ලා මේ බව කිව්වා. ඔහු කිව්වේ මවු කිරි නොබීමෙන් දරුවාගේ මොලයේ වර්ධනයට දැඩි ලෙස බලපෑම් එල්ල විය හැකි නිසා අනිවාර්යයෙන්ම මව් කිරි දීම සිදුකල යුතු බවයි. එම විශේෂඥ වෛද්‍යවරයා මේ සදහා මට පුංචි උපායක් කිව්වා. පුංචි පුතාට හොදටම බඩගිනි උනාම, සීනි ටිකක් දිය කල වතුර ටිකක් තන පුඩුවල ගාලා දරුවට මවු කිරි පුරුදු කරන්න කිව්වා. නමුත් ඒ ක්‍රමය හරි ගියේත් නැහැ. මේ අතර දරුවට නිතරම හෙම්බිරිස්සාව හැදෙන්නත් පටන් ගත්තා. ඔක්කොමල්ලම කිව්වේ මේ කාලයට මව් කිරි වලින් ලැබිය යුතු පෝෂණය නොලැබෙන නිසා කියලා. එක එක පල්ලි ගානෙ සුව මෙහෙයන් වලටත් දරුවව අරගෙන ගියා. නමුත් මගේ දරු පැටියා මවු කිරි බිව්වේ නැහැ. හැමදාම මොකක් හරි අසනීපයක්. දවසක් අපේ අල්ලපු ගෙදර ඉන්න, මට ගොඩක් හිතවත් මිතුරියක් අප්‍රියල් 29 වෙනිදා තිබුණු කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පැවැත්වුන දේව අම්මාට ඔටුණු පැළඳවීමේ මංගල්ලය ගැන කිව්වා. මමත් අන්තර් ජාලයෙන් බැලුවා. ඒ තිබුන විස්තර අනුව මම අප්‍රියල් 29 සෙනසුරාදා උදේ මගේ එකම ඉල්ලීම ලෙස කොලයක මගේ ඉල්ලීම ලිව්වා. ‛‛ජේසු අම්මේ ඔබ තුමියත් අම්මා කෙනෙක්. මගේ එකම දරු පැටියා මගෙන් කිරි බොන්නේ නැහැ. ඔබ තුමිය මගේ දරුවට කියන්න මගෙන් කිරි බොන්න කියලා.’’ මෙන්න මේ ටික ලියාගෙන අප්‍රියල් 29 වෙනිදා මම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට යනකොට සවස 5.30 ට විතර ඇති. අනේ ලොකු සෙනගක්. මගේ දරුවවත් තුරුල් කරගෙන කොහොමහරි හරිම අමාරුවෙන් සිද්ධස්ථාන භූමියට ඇතුළු උනා. මිනිස්සු තෙරපෙනවා. මම කොහොමහරි දරුවව හොදට තුරුළු කරගෙන ඒ සෙනග අතරෙ හිරවෙලා හිටියා. දේව මෑණියන්ට ඔටුණු පැළදවීමේ අවස්ථාවට පස්සේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දේව මෑණියන්ට කියන විශේෂ යාච්ඤාව ආරම්භ කිරීමට පෙර අපගේ එකම ඉල්ලීම ලියපු පත්‍රිකා දකුණු අතට ගන්ඩ කිව්වා. මම වම් අතින් දරුවව පපුවට තුරුළු කරගෙන, මම ගෙදරින් ලියාගෙන ආපු පත්‍රිකාව දකුණු අතට ගත්තා. ශුද්ධෝත්තම අපොස්තුළුතුමා යාච්ඤාව ආරම්භ කෙරුවා. ඒ අතර නිහඩව අපගේ ඉල්ලීම් ඉල්ලන්නත් උන්වහන්සේ අපට කෙටි වෙලාවක් ලබා දුන්නා. අපගේ ඉල්ලීම් වෙනුවෙන් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා අපට ආශිර්වාද කලා. උන්වහන්සේව දකිත්දී මට හිතුනා, ජේසුවත්, දේව මෑණියන්වත් ඇස් දෙකෙන් දැක්ක කෙනෙක් නේද මේ කියලා. යාච්ඤාව අවසානයේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා කිව්ව විදිහට බොහොම අමාරුවෙන් තෙරපි තෙරපී ඉදිරියට ගිහිල්ලා, නිල් මැණික් රත්තරන් ඔටුන්න පළදවපු දේව මෑණියන්ගේ ප්‍රතිමාව ඉදිරියේ පෙට්ටියට මගේ ඉල්ලීම දැම්මා. මගේ ඉල්ලීම දාලා අත ගන්නවාත් එක්කම චූටි පුතා අඩන්න පටන් ගත්තා. එච්චර වෙලා, සෙනග තෙරපෙද්දීත්, කිසිම කරදරයක් නොකර හිටපු මගේ දරු පැටියට හොදටම බඩගිනි වෙලා කියලා මට තේරුනා. සියළු කටයුතු අවසාන නිසා මම දරුවවත් අරගෙන සිද්ධස්ථාන භූමියෙන් පිටත තරමක් දුරින් නවත්වලා තිබුණ අපේ වාහනයට ඉක්මනින් ගිහිල්ලා කිරි දෙන්න පටන් ගත්තා. මම ආරක්ෂිතව බෝතලයට පිටි කිරි සාදාගෙන ගිහිල්ලා තිබුණත්, මගේ හිතේ විශ්වාසය නිසා මගේම කිරි දෙන්න බැලුවා. පුදුමයි ඉපදිලා සතියක් පමණක් මගෙන් කිරි බීලා මාස හයක් මවු කිරි බිව්ව නැති මගේ චූටි පුතා හොදට බඩ පිරෙන්න මගෙන් කිරි බිව්වා. මගේ ඇස් වලින් කදුළු ගැලුවා. දරුවා කිරි බිව්වට පස්සේ මම ආයෙත් සිද්ධස්ථානයට ගිහිල්ලා දේව මෑණියන්ට ස්තූති කරලා ආපසු නුවර එන්න පිටත් වුනා. මාස හයකට පස්සේ හොදට බඩ පිරෙන්න මවු කිරි බීලා අපි නුවර එනකල්ම පුතා හොදට නිදා ගත්තා. පසුවදා (අප්‍රියල් 30 වෙනිදා) උදේ පුංචි පුතාට මවු කිරි දෙන්න උත්සහ කෙරුවත් පුතා බිව්වෙම නැහැ. එදා දවසෙම මවු කිරි බිව්වෙ නැහැ. ආයෙත් පිටි කිරි තමයි දුන්නේ. ඊට පසුවදා (මැයි 1 වෙනිදා) ත්, පුතා මවු කිරි බිව්වෙ නැහැ. එදාත් පිටි කිරි දුන්නා. මට ලොකු දුකක් ඇති උනා. නමුත් මම හිතුවා මට දේව මෑණියෝ පිහිට වෙනවාමයි කියලා. එතුමිය මට පිහිට වෙන්න කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ බලාගෙන ඉන්නවා කියලා මගේ හිත මට කියන්න පටන් ගත්තා. ඒ නිසා මම මැයි 2 වෙනිදා ආයෙත් මගේ චූටි පුතාවත් තුරුළු කරගෙන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට ගියා. සිද්ධස්ථාන භූමියේ තැන්පත් කර තියන, ජේසු බිළිදු වඩවාගෙන සිටින දේව මෑණියන්ගේ ප්‍රතිමාව පාමුල වාඩිවෙලා, අප්‍රියල් 29 වෙනිදා මම ලියාගෙන ගිය වැකිය කියවමින් යාච්ඤා කරලා, ජපමාලයත් කියලා සිද්ධස්ථාන භූමියෙන් එලියට ආවා. එලියට ආපු ගමන්ම එදා අප්‍රියල් 29 වෙනිදා වගේම චූටි පුතා අඩන්න පටන් ගත්තා. මමත් එදා වගේම ඉක්මනින්ම වාහනයට නැගලා, මම ගෙදරින් හදාගෙන ගිය කිරි දෙන්නේ නැතුව, මම ම කිරි දෙන්න පටන් ගත්තා. හොඳට බඩ පිරෙනකම් උර උරා කිරි බිව්වා. අනේ මට හරි දුකක් ඇති උනා. මම ආයෙත් සිද්ධස්ථාන භූමියට ගිහිල්ලා දේව මෑණියන්ට පුතාව පෙන්නලා ස්තූති කරලා නුවර ආවා. ඒ උනත් ගෙදර ආවට පස්සේ චූටි පුතා මගෙන් මවු කිරි බිව්වේ නැහැ. මේක මට තේරුම් ගන්න බැරි ගැටළුවක් උනා. අපේ ගෙදර මොකක් හරි දෝෂයක් ද කියලත් මට හිතුනා. ඊට පස්සේ දිගටම කොච්චර උත්සහ කෙරුවත් පුතා මවු කිරි බිව්වේ නැහැ. නැවතත් මැයි 4 වෙනිදා මම නුවර ඉදන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට ගියා. පුරුදු විදහට සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත කර තියන, මරිය තුමී ජේසු බිළිදු වඩවාගෙන ඉන්න ප්‍රතිමාව පාමුල, අඹ ගහ අයිනේ වාඩිවෙලා දේව මෑණියන්ගේ ප්‍රතිමාව දිහා බලාගෙන මගේ දුක කිව්වා. අප්‍රියල් 29 වෙනිදා ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ආශිර්වාද කරත් දී උඩට ඔසවපු කොල කැබැල්ලේ මම ලියපු වැකියම මම දේව මෑණියන්ගේ ප්‍රතිමාව දිහා බලාගෙන කිව්වා. ඒ වැකිය ටික වේලාවක් කියවත් දී මම දැක්කා දේව මෑණියන්ගේ ප්‍රතිමාව ක්‍රමයෙන් වෙනස් වෙනවා කියලා. මම හොදට බලාගෙන හිටියා. මම කියන ඉල්ලීම් වැකියට එතුමිය ‛හා හා’ කියන්නාක් වගේ යාන්තමට හිස වනනවා මම දැක්කා. මම ඇස් දෙක පිසදාගෙන ආයෙත් බැලුවා. ඒ විදිහටම දේව මෑණියන්ගේ ප්‍රතිමාව හිස සලනවා මම හොදටම දැක්කා. තත්පර ගනනයි එහෙම උනේ. නැවත දේව මෑණියන්ගේ ප්‍රතිමාව සාමාන්‍ය තත්වයට පත් උනා. මට ලොකු සතුටක් දැනුනා. මම හිතුවා මගේ ඉල්ලීම දේව මෑණියෝ මට දුන්නාම තමයි කියලා. ඒ එක්කම පුතා දගලන්න පටන් ගත්තා. දේව මෑණියන්ගේ ප්‍රතිමාව දිහා බලාගෙන ‛මම ඉක්මනට එන්නම් මෑණියනි’ කියලා පුතාවත් අරගෙන සිද්ධස්ථාන භූමියෙන් පිටවෙලා වාහනයට ගිහින් පුතාට මම ම මවු කිරි දුන්නා. හොදට බඩ පිරෙන්න පුතා මගෙන් කිරි බිව්වා. ඊට පස්සෙ මම ආයෙත් සිද්ධස්ථාන භූමියට ගිහිල්ලා දේව මෑණියන්ගේ ප්‍රතිමාව පාමුල වාඩිවෙලා මෑණියන්ට ස්තූති කෙරුවා. මගේ හිත කිව්වා මගේ ඉල්ලීම කටුනායක හාස්කම් සිද්ධස්ථානයේ වැඩ සිටින දේව මෑණියෝ ඉෂ්ඨ කෙරුවාමයි කියලා. ඊට පස්සෙ මම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙන් පිටත් වෙලා නුවර එන්න ආවා. කඩුගන්නාව හරියේ දී චූටි පුතා නැවතත් මගෙන් කිරි බිව්වා. එයින් පස්සේ චූටි පුතාට පිටි කිරි දෙන්න සිද්ධ උනේම නැහැ. දැන් හොදට මගෙන් කිරි බොනවා. ඒ වගේම පුතාට උවමනා තරම් දෙන්න මට කිරිත් තිබෙනවා. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ නිර්මල මරිය තුමී ජීවමානවම වැඩ සිටිනවා. ඒක මට ස්ථීරයි. එතුමිය පවුකාර අපට පිහිට වෙන්නේ හරිම පුදුම විදිහට. මට පිහිට වූ ආකාරය මට ම පුදුමයි. අද මම මේ ලිපිය ලියන්නේ, මැයි 20 වෙනි දා. මරිය තුමී කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී හිස සලා මට සංඥා කලාට පස්සේ, එදා ඉදන් මගේ චූටි පුතා ඉපදිලා මාස හයකට පස්සේ දැන් හොදට මවු කිරි බොනවා. ඇත්තටම මරිය තුමී විසිතුන් වාරයක් දර්ශණය වී ඇති කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී මම දේව මෑණියන්ව අත්දැක්කා.

 

 

නිමල්කා දේවින්දි ආරියසිංහ (මහයියාව – මහනුවර)