2020 මැයි 26 වන දින, මගේ ජීවිතයේ කවදාවත් අමතක නොවන අහඹු සිදු වීමක් සිදු වුනා. පසුගිය දිනවල තිබූ ව්‍යසනකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා රජය විසින් පනවා තිබූ ඇදිරි නීතිය හේතුවෙන් සියල්ලන්ටම මෙන් මගේ වැඩ කටයුතු ද දින කිහිපයකට නතර වී තිබුනා. පසුගිය මැයි 26 වන දින ඇදිරි නීතිය ලිහිල් කෙරූ නිසා මගේ වැඩ කටයුත්තක් සදහා පිටත්ව යන මොහොතක සිතේ කොනක වත් නොතිබූ, එමෙන්ම පෙර කිසිම දාක නොවූ හරිම පුදුම සිදුවීමක් සිදු වුනා.

 

මගේ කටයුත්ත සදහා නිවෙසින් පිටත් වී මහා මාර්ගයේ ගමන් කරමින් යන අතරතුර දුරකථන ඇමතුමක් ගැනීමට තිබූ අවශ්‍යතාවයක් හේතුවෙන් මම මගේ බයිසිකලය පාරේ අයනිකට කර මොහොතකට නතර කෙරුවා. හොදින් දැක පුරුදු වාහනයක් මගේ ඉදිරියේ නවත්වා ‛හෝර්න්’ එක නාද කරා. හොදින් දැක පුරුදු වාහනයක් නිසා මගේ හිතවතෙකු හෝ මිතුරෙකු යැයි සිතා වාහනය අසළට මා පැමිණියා. පැදවීමේ ආසනයේ සිට වීදුරුව පහත් කර මට කථා කරේ, අපොස්තලික මාධ්‍ය ජාලයේ මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතායි. එතුමා මට එක වරම පැවසුවේ, ‛‛ශානක, පොඩ්ඩක් වාහනේ එහා පැත්තේ දොර ලගට යන්න’’ කියාය. එසැණින් එම ස්ථානයට පිවිසි මා හට දැක ගන්නට ලැබුනේ සිතේ මල් පිපුනාක් මෙන් වූ සිදුවීමකි. ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට දර්ශණය වී තෝරාපත් කරගත් දෙවන අපොස්තුළු තුමාණන් වන, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණන් එම ආසනයේ සිට වීදුරුව පහත් කරා. මගේ ඇගේ හිරි ගඩු පිපුණා. කිසිම මොහොතක එවැනි වාසනාවක් උදා වේ යැයි මගේ සිතේ කොනකවත් නොතිබුණ නිසා උන්වහන්සේ එලෙස හමුවීම මට අදහා ගන්නටත් නොහැකි වුණා.

 

ඒ මොහොතේ මම පැවසිය යුත්තේ කුමක්ද කියාවත් මට සිතා ගැනීමට නොහැකි වුණා. කිසිවක් කියා ගැනීමට නොහැකි වූ නිසා, ඒ සිටි අයුරින්ම දෑත් එක්කොට ‛පියාණෙනී’ කියා උන්වහන්සේට ආමන්ත්‍රණය කරා. එවිට උන්වහන්සේ මදක් සිනාසී, සුපුරුදු හාස්‍ය රසය සහ ලෙන්ගතුකම ද මුසු කරමින්, ‛‛කොහෙද මේ යන්නේ? අන්න ආයෙත් ඇදිරි නීතිය දාලලු’’ කියා මට විහිළුවෙන් වාගේ පැවසුවා. ඒ මොහොතෙත් සිදු වූ සිදුවීම නිසා, ඒ වන විටත් කුමක් කියනවාද කියා සිතා ගත නොහැකිව සිටි මා සතුටු කදුළු පිරි සිනහවකින් උන්වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේ වාහනය තුළ තිබූ පුංචි සිහිවටනයක් ගෙන, නැවතත් සුපුරුදු සිනහවෙන්, විහිළුවෙන් වාගේ ‛‛ආ මේක තියගන්න’’ කියා මට තෑගි කලා. ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් වහන්සේ යනු කවුරුන්ද කියා හදුනන ඕනෑම පුද්ගලයෙකුට එම සිදුවීමෙහි වටිනාකම කියා නිම කල නොහැකි බවට තර්කයක් නොමැත. උන්වහන්සේ තිලිණ කල එම සිහිවටනය බොහෝම ආදරයෙන් ගෙන උන්වහන්සේට දෑත් එකතු කර නමස්කාර කර වාහනය එතනින් නොපෙනී යන දුරක් වන තෙක්ම මා බලා සිටියා.

 

ඇත්තෙන්ම, යන්නට ගිය ගමනත්, ගන්නට ගිය දුරකථන ඇමතුමත් අමතක වුනා. උන්වහන්සේව හමු වූ එම අවස්ථාව මැවි මැවී පෙනෙන්න පටන් ගත්තා. ඒ මොහොතේ මට අවශ්‍ය වුනේ එම සිදුවීමෙහි සතුට නිදහසේ විදීමටයි. ඒ නිසාම මගේ ගමන පසුවදාට කල් දමා ගන්නවා යැයි සිතාගෙන නැවතත් මගේ බයිසිකලය හරවාගෙන නිවෙසට පැමිණියා. උන්වහන්සේ මට දුන් තිළිණයත් පරෙස්සමින් අරන් තබා උන්වහන්සේව හමුවීමේ සතුට විදිමින් නිවෙසට වී සිටින මොහොතේ දී තවත් සිදුවීමක් සිදු වුනා. මම වෘත්තියෙන් සිවිල් ඉන්ජිනේරුවෙක්. වසරක පමණ කාලයක සිට ගෘහ නිර්මාණ සහ ඉදිකිරීම් ව්‍යාපෘති ලබාගෙන තනි ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යනවා. මා නිවසට පැමිණ හෝරාවක් යන්නටත් මත්තෙන් පුද්ගලයෙකු පැමිණ ‛‛ඔයා house plan කරනවා නේද? මට පොඩ්ඩක් ඒ ගැන විස්තර වගයක් දැනගන්න පුළුවන්ද?’’ යැයි විමසුවා. ඒ වන විට ඒ පුද්ගලයාව කිසිම දිනෙක මම දැක තිබුණේ ද නැහැ. එම පුද්ගලයා මා සොයාගෙන පැමිණියේ, අළුතෙන් නිවසක් තැනීමට බලා පොරොත්තු වන නිසා, තම අවශ්‍යතාවයන් පරිදි ගෘහ නිර්මාණ සැලසුමක් නිර්මාණය කරගැනීම සදහාය. මට ඒ මොහොතේ සැණෙකින්ම මතකයට නැගුනේ මෙයයි. අද ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණන්ව හමු නොවුනානම්, මා ගමන නවතා නිවෙසට හැරී එන්නේ නැති බවත්, ඒ මොහොතේ නිවසට හැරී ආවේ නොමැති නම්, නිවසටම සොයාගෙන ආ පුද්ගලයාගේ ව්‍යාපෘතියද නොලැබෙන බවත්ය. ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් දැකගැනීමට ලැබීමේ පින මට ඒ ආකාරයෙනුත් බලපෑවා.

 

එම කතාව නම්, මෙම ලිපියෙහි ප්‍රධාන අන්තර්ගතයෙහි අතුරු කථාවකි. මන්ද, උන්වහන්සේව එලෙස නොසිතූ පැතූ මොහොතක හමුවීමත්, ඒ මොහොතේ උන්වහන්සේ එම අවස්ථාවේම වාහනය තුළ තිබී ලබා දුන් තිළිණයත් සමග බලන විට නිවසටම සොයාගෙන පැමිණ ලබාදුන් මගේ ව්‍යාපාර කටයුතු නම් දශමයක් මට වත් වටින්නේ නැත. ඒ පිළිබදව මෙම ලිපිය තුළ සටහන් කරනු ලැබුවේ උන්වන්සේව හමුවීමේ වාසනාව ඒ ආකරයෙන්ද මා හට ලැබුන බව පෙන්වීම සදහාය.

 

කුඩා කල සිටම අපොස්තුළුතුමන්ලාව අප දකින්නේ ප්‍රතිමා තුලින්ය. එසේත් නැතිනම් සිතුවම් තුළින්ය. නමුත් ජීවමානව, අපත් සමග කථා කරන, අපට ආශිර්වාද කරන, අපට ආදරය දක්වන, පාරේ යන එන ජීවමාන අපොස්තුළු තුමෙකු ක්‍රිස්තුස් වහන්සේ විසින්ම මෙලොවට දෙවන වරටත් දර්ශනය වී තෝරා පත් කර දී තිබෙනවා. එය කොතරම් නම් භාග්‍යක්ද? මෙම ලිපිය කියවා එම වාසනාවෙහි, භාග්‍යයෙහි අගය වටහා ගන්නේ කීයෙන් කී දෙනාද? එයට හේතුව නම්, අපොස්තුළු තුමෙකු මෙලොවට වැඩම කර ඇති මෙම කාලයේ උන්වහන්සේව හදුනා ගැනීමට හැකියාව ඇත්තේ කීයෙන් කීදෙනෙකුට ද? ඇත්තෙන්ම එයට මිනිසුන්ට දොස් පවරා පලක් නැත. එයට සසරේ පෙර භවයන් තුළදී ම රැස් කරගත් සුවිශාල පිනක්ම තිබිය යුතුය. සරළවම සදහන් කරනවානම්, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ව හදුනා ගැනීමටත් පිනක්ම තිබිය යුතුය. අද කොතරම් නම් ක්‍රිස්ස්තියාණීන් මුලා වී සිටිනවාද? එහිත් වරද ඇත්තේ මිනිසුන් තුළ නොව, තම අනුගාමිකයන් නොමග යවා ඇති නායකයන්ගේය. සත්‍ය සොයන්නට, තම අනුගාමිකයන්ට, රාමුවෙන් පිට යන්නට නොදී අගුල් දමාගෙන සිටින නිසාය. සත්‍ය සොයාගෙන රාමුවෙන් පිට යන පුද්ගලයන්ව ද්‍රෝහියන් සේ සලකන නිසාය. එනිසාම, රාමුවේ අගුල නම් එම අනුගාමිකයන් තුළ ඇති එම බියයි. යම් අවස්ථාවන් වලදී සත්‍ය ඇත්තේ රාමුවෙන් පිට යැයි ඔවුන්ට සිතුනත්, ඔවුන් තම මනස බලෙන්ම වාගේ වෙනස් කර ගන්නා මිනිසුන්ද මා හට හමු වී තිබෙනවා. ඉතින්, වරද ඇත්තේ කවුරුන් තුළද කියා ඔබම තීරණය කරන්න.

 

ලොව එකම ජීවමාන අපොස්තුළු තුමන්ව එලෙස හමුවීම මගේ ජීවිතයේ කිසිම මොහොතක අමතක නොවන සිදුවීමකි. එහි වටිනාකම හදුනන්නේද පිනක් ඇති පුද්ගලයන් ම පමණි. පසුගිය දිනයක රට පුරාම ඇදිරි නීතිය ක්‍රියාත්මක වී තිබූ කාලයක, මට ඉතාමත් සුළු කාලයක් සදහා නිවසින් පිට වීමට අවස්ථාවක් ලැබුනි. දෙවරක් නොසිතා එම අවස්ථාව මා ප්‍රයෝජනයට ගනු ලැබුවේ, මගේ මෙම ජීවිත සමයේ පමණක් නොව, මගේ මුළු අධ්‍යාත්යේම හැරවුම් ලක්ෂ්‍ය වූ සහ පිහිට ලැබූ එකම ශුද්ධ වූ පුන්‍ය භූමියට ඇතුළු වීමටය. එනම්, ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වී අපොස්තුළුතුමෙකු පත් කළ, එම අපොස්තුළුතුමාණන් ජීවමානව වැඩ සිටින, දේව මෑණියන් 23 වතාවක් දර්ශණය වුන, ලෝකයේ එකම ශුද්ධ වූ පුන්‍ය භූමිය වන, ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත ගමන් කිරීමටය. ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ව එම මොහොතේ දැක ගැනීමට නොහැකි වූවත්, උන්වහන්සේ ජීවමානව වැඩ සිටින, පුද බිමට ගොස් මොහොතකට ආශ්වාස කිරීමට ලැබීමත් කොතරම් නම් ආශ්වාදයක්ද කියා පවසනවා හැරුණකොට ඊට වඩා එම වටිනාකම විස්තර කිරීමට නම් මා හට ප්‍රමාණවත් වදන් නැත.

 

ලොව ජීවත්වන එකම අපොස්තුළුතුමා වැඩසිටින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයයේ, මේ පූජනීය භූමියේ වටිනාකම වටහා ගැනීමටත් පිනක්ම තිබිය යුතුය. වසර දහස් ගණනකට පෙර යුගයේදී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේටත්, අනෙකුත් අපොස්තුළු තුමන්ලාටත්, ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට දර්ශණය වී තෝරාපත් කරගත් පළමු අපොස්තුළු තුමන්ටත් මෙන්ම ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට දර්ශණය වී තෝරාපත් කරගත් දෙවන අපොස්තුළු තුමාණන්ටද එලෙසින්ම කිසිදු සාක්ශියක් නොමැතිව, නින්දා, අපහාස, චෝදනා සිදුවන බවට තර්කයක් මෙන්ම පුදුමයක්ද නැත. මන්ද, එසේ නොවුනා නම්, ක්‍රිස්තුස් වහන්සේගේ වදන්ද බොරු වනු ඇත. එම සිදුවීම් ක්‍රිස්තුස් වහන්සේ මීට වසර දෙදහසකට පමණ පෙර පැවසූ වදන්ය. අනාගතයේ එනම් වර්තමානයේ අපොස්තුළුතුමෙකුට මිනිසුන් කෙසේ සලකන්නේ ද යයි ක්‍රිස්තුස් වහන්සේ එදාම, කල්වේලා ඇතිවම අපොස්තුළුතුමන්ලාට බොහෝ අන්දමින් ප්‍රකාශ කර ඇත. සියළුම අපොස්තුමන්ලාගේ ජීවිතවල මෙම අත්දැකීම දැක ගැනීමට ඇත. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වී පත්කරනු ලැබූ පළමු අපොස්තුළුතුමාණන්ගේ ජීවිතය තුල මෙම අත්දැකීම දැකගත හැකිය, එසේම උන්වහන්සේ දර්ශණය වී පත්කරනු ලැබූ දෙවන අපොස්තුළුතුමාණන් වන සහ තවමත් අප අතර ජීවත්වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ ජීවිතය තුල ද මෙම දේව වාක්‍යයේ අත්දැකීම ඉටුවෙමින් පවතින්නේ, සැබවින්ම උන්වහන්සේ සත්‍ය අපොස්තුළුතුමෙකු වන නිසාමය. උන්වහන්සේ ව්‍යාජ අපොස්තුළුතුමෙකු නම් ක්‍රිස්තුස් වහන්සේගේ වාක්‍ය ඉටුනොවන අතර සැමතැන, සැමදෙන අතරේ බුහුමන් ම ලබනු ඇත.

 

ඔබ ලගත් මා ලගත් ඇති බයිබලයේ සදහන් වන ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශයන් දෙකක් මෙහි සටහන් කරමි. මා සතු බයිබලය පෙරලා, සදහන්ව ඇති ස්ථාන ද සමග මෙහි සටහන් කරමි. ඔබ සතු බයිබලය ද පෙරලා බලන්න.

 

(1) ‛‛මේ දේවල් මා ඔබට කීවේ ඔබ අධෛර්යට පත් නොවන පිණිස ය. ඔවුන් ධර්මශාලාවලින් ඔබ නෙරපාදමනු ඇත. එපමණක් නොව, ඔබ ව මරණයට පත් කරන අය, එය තමන් විසින් දෙවියන් වහන්සේට කරන පූජාවකැ යි සිතන කාලයක් පැමිණෙන්නේ ය. ඔවුන් මේ දේවල් කරන්නේ, ඔවුන් පියාණන් වහන්සේ ද මා ද නොහදුනන බැවිනි. තවද, මා මේ දේවල් ඔබට කීවේ, ඒවා ඉටු වන කාලය පැමිණි විට, ඒවා ගැන මා කී බව ඔබට සිහි වන පිණිස ය.’’ (ජුවාම් 16: 1 – 4)

 

(2) ‛‛ලෝකයා ඔබට ද්වේශ කරත් නම්, ඔබට පෙර මටත් ද්වේශ කළ බව දැනගන්න. ඔබ ලෝකයට අයිති නම්, ලෝකයා ස්වකීය ස්වකීය අයට මෙන් ඔබට ඇලුම් වනු ඇත. එහෙත් ඔබ ලෝකයට අයිති නොවන නිසාත්, ලෝකයා කෙරෙන් මා ඔබ තෝරාගත් නිසාත් ලෝකයා ඔබට ද්වේෂ කරති’’ (ජුවාම් 15: 18 – 19)

 

මිනිස් වෙසින් සිටිනා තිරිසනුන් කිසිදු සාක්ෂියක් නොමැතිව නිර්දෝශී අපොස්තුළු තුමෙකුට කරනා නින්දා, අපහාස මා අතීතයේ මෙන්ම අදටත්, විශ්වාස කර සිටියානම් මෙම අසිරිමත් අත්දැකීම කිසිමදාක මට විදගැනීමට ලැබෙන්නේ නැත. එසේනම්, අදටත් මම එම කාලකන්නි මිනිසුන් මධ්‍යයේ හිද උන්වහන්සේට නිකරුනේ අපහාස කරමින් සිටිනු ඇත. නමුත්, මගේ පෙර භවයේ පිනකට දෙවියන් විසින් ම උන්වහන්සේගේ සත්‍ය මගේම අත්දැකීමෙන් විදගැනීමට භාග්‍ය උදා කර දුන්හ.

 

මහ මග අද්දර දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ව සමුවීමේ අවස්ථාව අලලා මා අත්දුටු සතුටෙන් බිදක් වත් මෙහි ලිය වී නැත. මේ ලිපිය තුළ ලිඛිතව සටහන් කර ඇති සතුට මෙන් දස දහස් ගුණයක් එම සතුට මා තවමත් අත් දකිනවා. එය මා සදහට ම අත්විදිනවා. මේ පිළිබද සතුටු වීමට තවත් සුවිශේෂී හේතුවක් තිබෙනවා. එනම්, ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණන් බාහිර සමාජයෙන් ඈත් වූ සහ ඇතුලාන්ත ජීවිතයක් ගත කරන අයෙක්. සාමාන්‍ය සමාජයේ දී, උන්වහන්සේව දැක ගැනීමට ලැබෙතොත්, ඇත්තෙන්ම එය අහඹු සිදුවීමකි. ඒ නිසා මේ අකාරයෙන් සෑම බැතිමතෙකුටම මෙලෙසින් උන්වහන්සේ සමග කතා කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම සෑම බැතිමතෙකුටම එලෙස හදිසියේ අහඹු ලෙස සිහිවටන ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ ද නැහැ. ඉතින් එයට වාසනාවක් මෙන් ම පිනක් ද තිබිය යුතුමයි. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට දශක දෙක තුනක සිටම පැමිණෙන බොහෝ බැතිමතුන් පිරිසක් සිටිනවා. නමුත්, ඒ සැමටම උන්වහන්සේව හමු වීමට එවැනි අවස්ථාවක් ලැබී නැහැ. එසේ පැමිණියත් මේ වනතුරු උන්වහන්සේ සමග වචනයක්වත් කතා කිරීමට තවමත් භාග්‍යය නොලත් බැතිමතුන් සිටිනවා. නමුත් ඒ සියල්ලන් වෙතම උන්වහන්සේගේ ආශිර්වාදය ගලා එන බව ඒ සියල්ලෝ ම අත්දැකීමෙන් ම දන්නවා. උන්වහන්සේ වෙත පැමිණෙන සියල්ලන් වෙත උන්වහන්සේගේ සෙනෙහස නොඅඩුව ම ලැබෙන්නේ හරිම පුදුමාකාර විදිහකට.

 

මම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණ තවමත් ඉතා කුඩා කාලයක් තුල උන්වහන්සේ මෙලෙස මග තොටේ හමු වී කතා කර යන්නට තරම් මම කොතරම් නම් පින් කර තිබෙන්නට ඇතිද මට අදහා ගන්නත් බැහැ. උන්වහන්සේට අතීතයේදී කිසිම සාක්ෂියක් නැතිව නිරපරාදේ අපහාස කල මා වැනි පවුකාරයෙකුට උන්වහන්සේ මේ දක්වන සෙනෙහස මට දරාගන්න බැහැ.

 

ශුද්ධෝත්තම අපොස්තුළුතුමෙනි, මේ ලිපියේ, මෙම ඉතිරි අවසාන කොටස ඔබවහන්සේටම අමතන කොටසක්. පියාණෙනි, මම ඔබවහන්සේට අතීතයේ කිසිදු සාක්ෂියක් නැතිව අපහාස කල පුද්ගලයෙක් බව ඔබවහන්සේ දන්නවා. නමුත්, මගේම අත්දැකීමෙන් ඔබවහන්සේගේ බලයත්, ඔබවහන්සේ දේශනා කරන සත්‍ය ක්‍රිස්තු ධර්මයත් මා වටහා ගත්තා. එදා ක්‍රිස්තුස් වහන්සේටත්, සියළුම අපොස්තුළු තුමන්ලාටත් නිගරු කෙරූ මිනිසුන් අදටත් ඉපදෙමින් ඔබවහන්සේටත් නිගරු කරනවා. එය එලෙසම සිදු වෙමින් පවතිනවා. පියාණෙනි, ‛කෙනෙකු එක් කම්මුලකට ගැසුවහොත් අනෙක් කම්මුල ද හරවන්න’ යැයි ක්‍රිස්තුස් වහන්සේ පවසා තිබෙන බව මා දන්නවා. සැමටම මෛත්‍රීය කරන්න යැයි බුදුන් වහන්සේ දේශනා කර තිබෙන බවත් මා දන්නවා. ඔබවහන්සේ දේශනා කරන්නේ ද එය බව මා හොදින්ම දන්නවා. එසේම, මට සතුරු කම් කරන, මට නින්දා, අපහාස කරන සියල්ලන්ටම මා මෛත්‍රීය කරනවා. නමුත්, පියාණෙනි, ඔබවහන්සේට කිසිදු සාක්ෂියක් නොමැතිව ඔබවහන්සේට වරදක් කරන්නට ඔබවහන්සේ ඉදිරියට පැමිණෙන කිසිවෙකුට මෙන්ම, ඔබවහන්සේට නිගරු කරන කිසිවෙකුට වූවත් මෛත්‍රීය කර මා හට ස්වර්ග රාජ්‍යයට පිවිසෙන්නටවත් නිවන් දකින්නටවත් අවශ්‍ය නෑ. හැකි සෑම මොහොතකම, සෑම අයුරකින්ම ඔබවහන්සේවත් ඔබවහන්සේ දේශනා කරන සත්‍ය ධර්මයත් රකින්නට නිරතුරුවම මම පෙරමුණ ගන්නවා.

 

 

ප්‍රවීන් ශානක පෙරේරා,
ජාඇල