ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින්ම උන්වහන්සේ ජීවත්ව සිටියදී හෝ උන්වහන්සේ ස්වර්ගාරෝහණය වූ දිව්‍යමය ශරීරයෙන් වැඩම කර අපොස්තුළුතුමෙකුව තෝරා පත් කිරීම යනු අති භාග්‍යවත් ඉතාමත් විරල වූ අවස්ථාවකි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපතින් පසුව මෙම සුවිශේෂී අවස්ථාව උදා වී ඇත්තේ මෙලොව විසූ මනුෂ්‍යයන් 14 දෙනෙකුට පමණි. ඒ අතරින් අවසාන වරට තෝරා පත් කරනු ලැබූ 14 වන අපොස්තුළුතුමන් වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සූ මා ආදරණීය අපොස්තුළුතුමන්ව, 1975 පෙබරවාරි මස 7 වෙනිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින්ම, උන්වහන්සේ ස්වර්ගාරෝහණය වූ දිව්‍යමය ශරීරයෙන් දර්ශනය වී මෙලොවට දායාද කර ඇති බව මේ වන විට ඉතා ප්‍රසිද්ධ රහසකි.

 

සමස්ත විශ්වයේ ම පිනට පහලව අප අතර අද වාසය කරන ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ව මෙලොවට දායාද කළ උන්වහන්සේගේ මෑණියන් වූ මාග්‍රට් අපොන්සු මැතිණිය වසර 90ක් ආයු වලදා, ලක් පොලොවේ පස හා මුසු වූයේ, ශ්‍රී ලංකාව තුළ පමණක් නොව සමහර විට මේ මුළු ලෝකයේම, එවැනි වූ භූමදානයකට ලක් වූ එකම මාතාව ලෙස ඉතිහාස පොත්වලට එම විශේෂත්වය සාක්ෂි සාධක සමග එක් කරමිනි. එම උතුම් මවගේ අවසන් මොහොතේ විශේෂත්වය ඔබ හා බෙදා ගැනීම මෙම ලිපියේ අවසානයට ඉතිරි කර ගනිමින්, මෙලොව පහල වූ මහා බලසම්පන්න උත්තුංග අපොස්තුළුතුමෙකුගේ මවක සම්බන්ධයෙන් මා ලැබූ අති සුවිශේෂී හා ඉතාමත් විරල වූ අත්දැකීම් කිහිපයක් ඔබ හා බෙදා ගැනීමේ අරමුණින් මෙම ලිපිය මා විසින් එකලස් කිරීමට තීරණය කළෙමි. මන්ද අපොස්තුළුතුමෙකුගේ මවක් හා සම්බන්ධව කටයුතු කිරීමට මෙම අවස්ථාව ලද මෙලොව එකම පුද්ගලයාද, බොහෝවිට මා විය හැකි බැවිනි.

 

ශුද්ධවූ බයිබලයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මෑණියන් වන නිර්මල කන්‍ය මරිය මාතාවන් ගැන සුළු වශයෙන් සදහන්ව තිබුනත් කිසිම අපොස්තුළුතුමෙකුගේ මවක පිළිබදව කිසිදු සටහනක් කිසිම ආකාරයකින් අපට හමු නොවේ. ශුද්ධවු බයිබලයේ එක් ස්ථානයක පමණක් ශුද්ධෝත්තම පේදුරු අපොස්තුළුතුමන්ගේ නැන්දණිය හෙවත් පේදුරු අපොස්තුළුතුමන්ගේ බිරිදගේ මව හා සබැදි ප්‍රාතිහාර්යාත්මක සිදූවීමක් සම්බන්ධයෙන් ඉතාමත් කෙටියෙන් හා සුළුවෙන් සටහනක් පවතී. ශුද්ධවූ බයිබලයේ නිර්මල මරිය උත්තමාවන් පිළිබදව ඇති විස්තරය බොහෝම සුළු විස්තරයක් වූවත් එතුමියව, වරක් දෙවරක් හෝ තුන්වරක් නොව විසිතුන් වරක්ම සියැසින් දැක, මුවගින් කතා කළ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගෙන් මේ මූළු ලොවම උගත් දැනුම් සම්භාරය අති මහත්ය. එමෙන්ම ඉතිහාසයේ මුල් වරට අපොස්තුළුතුමෙකුගේ මවක සම්බන්ධයෙන් අනාවරණය වී ඇති හා අනාගතයට අනාවරණය වීමට ඇති කරුණු රාශියක් මේ වන විට ග්‍රන්ථාරූඪ වී අවසන්ය.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ආදරණීය මෑණියන්ගේ අවසාන කාලයේ එතුමිය ජීවත් වුයේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේය. ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් තම මෑණියගේ සියලු වියහියදම් මා අත තබා එතුමියගේ අවසාන කාලයේ රැකබලා ගැනීමේ වගකීම මා හට භාර කරනු ලැබූහ. ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට ආදරැති තවත් බැතිමතුන් පිරිසකගේ ස්වෙච්ඡා දායකත්වයෙන් මෙම කර්තව්‍ය බොහෝ අපූරුවට ඉතා උසස් අන්දමින් සිදුකරගෙන යාමට අපට හැකි විය. මේ කාලයේදී එතුමිය සමග බොහෝ දේ දීර්ඝ කාලයක් තුළ සවිස්තරාත්මකව කතාබස් කිරීමේ අති දුර්ලභ වාසනාව මට හිමි විය. මා දැනගත් කරුණු අතර අපොස්තුළුතුමන්ගේ උත්පත්තියට පෙර හා උත්පත්තිය පිළිබද විස්තර, උන්වහන්සේගේ ළදරු අවධියේ විස්තර, තරුණ අවධියේ බොහෝ විස්තර, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ පියාණන් වූ ජී. සී. අපොන්සු මැතිතුමාගේ අභාවය සම්බන්ධයෙන් විස්තර, අපොස්තුළුවරය ලැබීමට පෙර නිර්මල මරිය මෑණීයන්ගේ වැඩම කිරීම් පිළිබද විස්තර, අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වැඩම කිරීමට පෙර සිදුවු සිද්ධීන් හා ක්‍රියාදාමයන් පිළිබද විස්තර, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වැඩම කිරීම සදහා සූදානම් කල ආකාරය පිළිබදව, වැනි අති සුවිශේෂී සිද්ධීන් මෙන්ම හා බොහෝම රසවත් විස්තරයන් ද රාශියක් විය.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ආදරණීය මෑණියන් වන මාග්‍රට් අපොන්සු මැතිණියගෙන් අසා දැනගත් කරුණු අතර තිබුනාවූ සුවිශේෂි කාරණා රාශියක් අතරින් මාගේ හිත තදින්ම ඇදී ගිය කාරණාවන් 2ක් විය. ඒ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ බාල කාලයේදීම උන්වහන්සේ මෙලොවට වැඩම කළ කාරණාව කල් තියාම ප්‍රකාශ කිරීම හා උන්වහන්සේ මාග්‍රට් අපෝන්සු මැතිනියගේ කුස තුළ සිටියදීම මේ ලෝකය පිළිබදව අවබෝධයෙන් යුතුව සිටීමේ අති සුවිශේෂි කතා පුවත්ය. එම සිදුවීම් පහත සඳහන් ආකාරයට සිදුවී ඇත.

 

මාග්‍රට් අපෝන්සු මැතිනියගේ විස්තරය ප්‍රකාරව 1965 පෙබරවාරි මස 2 වෙනිදා තම 8 වෙනි උපන්දිනය සැමරූ රාත්‍රියේ දී මේ ළදරු උත්තමයන් පවසා ඇත්තේ, ‛‛මම මේ ලෝකයට ආවේ අවසාන වරට, විශේෂ වැඩකට’’ කියාය. එය පවසා ඇත්තේ ක්ෂණිකව එක වරක් පමණි. පවුලේ සැමදෙනා එකී දේ නැවත නැවත අසා දැනගැනීමට උත්සහ කළ ද, උන්වහන්සේ ඒ පිළිබදව ඊට වැඩියෙන් එකදු වචනයක් හෝ සදහන් කර නොමැත. එදින රැය පහන් වන තුරු මේ ළදරු උතුමාණන්ගේ පියාණන් වූ එමෙන් ම බෞද්ධයකු වූ ජී. සී. අපොන්සු මැතිතුමා නිවසේ ආලින්දයේ ඔබ මොබ සක්මන් කරමින් උන්වහන්සේ ප්‍රකාශ කළ එම වචන කිහිපය ගැන වඩ වඩාත් කල්පනා කළ බව අපොන්සු මැතිණියගේ මතකයේ ගලේ කෙටූ අකුරු මෙන් රැදී තිබුණි.

 

ඊට අමතරව තවත් විශිෂ්ඨ කරුණක්. අපොන්සු පවුලේ සැමදෙනා එකම මේසයක සිට එකට එක්වී රාත්‍රී ආහාරය ගැනීමේ චාරිත්‍රයක් මුල සිටම පැවැත ඇත. මෙම රාත්‍රී කෑම මේසයේදී දවසේ තතු විත්ති, දරුවන්ගේ පාසල් වැඩ කටයුතු, ඔවුන්ගේ අදහස් ආකල්ප, ජී. සී. අපොන්සු මැතිතුමන්ගේ ව්‍යාපාරික වැඩකටයුතු යනාදී තොරතුරු සියළු දෙනාගේම සහභාගීත්වයෙන් සාකච්ඡා කර ඇත. එම කෑම මේසයට ඉදිරියෙන් විශාල බිත්ති ඔරලෝසුවක් සවිකර තිබී ඇත. වර්ෂ 1965 පමණ කාලයේ සිට මේ ළදරු උත්තමයන් පෙර කී බිත්ති ඔරලෝසුව යටින් ‛‛මේ ගේ අයිතිකාරයා ලලිත්’’ යනුවෙන් පාට කූරු පාවිච්චි කර ලොකු අකුරෙන් ලියා තිබේ. රාත්‍රී කෑමට මේසයට එන හැමටම මේ දේ ඉතා සුලබ දසුනක් විය. කිසිවෙකු මේ දේ මකා දැමීමට උත්සහ නොදැරූ අතර, නිවසට තීන්ත ආලේප කරන අවස්ථාවලදී පවා එම කොටස මගහැර, තීන්ත ආලේප කිරීමට ජී. සී. අපොන්සු මැතිතුමා අදාල සේවකයන්ට අණ දී ඇත. දිනක් අපොන්සු මැතිණිය රාත්‍රී කෑම මේසයේ දී, පියා ඉදිරියේම මෙම වාක්‍ය ලිවීමට හේතුව උන්වහන්සේගෙන් විමසා තිබේ. එවිට උන්වහන්සේ පවසා ඇත්තේ ‛‛ඇයි ඔයගොල්ලෝ දෙන්නා කිව්වේ’’ යනුවෙන්ය. මෙවැනි දෙයක් සම්බන්ධව අපොන්සු මැතිතුමාට හා මාග්‍රට් අපෝන්සු මැතිණියට නිශ්චිත මතකයක් නැති හෙයින් උන්වහන්සේගෙන් අසා ඇත්තේ ‛‛අපි කවද්ද කිව්වේ’’ යන ප්‍රශ්නයයි. පෙරළා අපොන්සු මැතිණියගේ කුසයට ඇගිල්ල දිගු කරමින් උන්වහන්සේ පිළිතුරු දී ඇත්තේ ‛‛ඇයි, මම මේක ඇතුළේ ඉද්දී’’ යනුවෙන්ය. එවිට ඒ දෙපලට උන්වහන්සේ කුසය තුළ සිටීමේදී මෙවන් දෙයක් ඔවුනොවුන් අතර කතා කළ බව සිහිපත් වී, ඒ බව එදින රාත්‍රී කෑම මේසයේදී අනෙක් අය සමග ද ප්‍රකාශ කර ඇත. එදින ද රැය පහන් වන තුරු ජී. සී. අපොන්සු මැතිතුමා ආලින්දයේ ඔබ මොබ සක්මන් කරමින් උන්වහන්සේගේ මෙම ප්‍රකාශය පිළිබදවද වඩාත් කල්පනා කර ඇත.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ව මෙලොවට බිහිකල පින්වන්ත මෑණියන් වූ මාග්‍රට් අපොන්සු මැතිණියගේ මෙලොව ජීවිතයේ අවසාන කාලයේ අප අතර සිටියදී ඇයගේ උපන්දිනය අප හා එක්ව ඉතාමත් ප්‍රීතියෙන් සැමරුවාය. මුහුදු වෙරළේ අප සමග කුඩා දරුවෙකු මෙන් කාලය ගත කළාය. ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින් පුදදෙන දිව්‍ය පූජාවන්ට බොහොම ශ්‍රද්ධාවෙන් සහභාගී වූවාය. බොහෝ ආදරයෙන් හා කරුණාවෙන් අප සමඟ විහිළු තහළු පවා කරමින් අප සියල්ලන්වම හිනැස්සුවාය. අවසානයේ ඈට මෙලොව උපදින හැම හට උරුම මරණයට 2010 ජූනි මස 26 වෙනි සෙනසුරාදා දිනයක හවස් යාමයේ මුහුණ දීමට සිදුවුණි. එම මරණය හා සම්බන්ධ අති සුවිශේෂි කාරණාව දිග හැරෙන්නේ මෙතැන් පටන්ය.

 

ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් මාග්‍රට් අපොන්සු මැතිණියගේ ජීවිතයේ අවසාන කාලය තුළ එතුමියගේ ජීවිතයේ ලැබුවාවූ සොදුරුම අවුරුදු කිහිපය ලබා දීමට අවැසි වාතාවරණය සලසා දුන්නා සේම එතුමියගේ මරණයේ අවසන් කටයුතු ද බොහෝ උත්කර්ෂවත් අන්දමින් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කළහ. ඒ අනුව එතුමියගේ දේහය කටුනායක පොදු සුසාන භුමියේ මිහිදන් කිරීම සිදු කරන ලදී. ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් යනු මහා බලසම්පන්න අධ්‍යාත්මික දැනුමකින් පරිපූර්ණ වූ මේ විශ්වයේ පිනට පහල වූ උත්තුංග ධර්මධරයෙකි, සාමාන්‍ය මිනිස් කැමැත්තෙන් පත්කරගන්නා ආගමීක නායකයකු නොව දිව්‍යමය පත්වීමක් ලද අධ්‍යාත්මික නායකයෙකි. අධ්‍යාත්මික නායකයකුව හදුනාගත හැක්කේ තවත් එවැනිම අධ්‍යාත්මික ඥාණයක් හා ශක්තියක් හිමි උත්තමයෙකුට පමණකි. අප ශ්‍රී ලංකාවේ වැඩ විසූ එවැනි උදාර උත්තමයෙක් වූයේ බුදු බව පතනා අති පූජ්‍ය අග්ගමහා පණ්ඩිත, අභිධජ මහා රට්ඨ ගුරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක මාහිමිපාණන්ය. උන්වහන්සේ විසින් මේ අප ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ අධ්‍යාත්මික ඥාණයන් පිළිබදව පැහැදිලිව හදුනාගත් අතර, මහා නායක මාහිමිපාණන්ගේ ද මහත් ගෞරවාදරයට පාත්‍ර වූ අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් පිළිබදව මහා නායක මාහිමිපාණන්ගේ අත්අකුරින්ම ලියා සනාථ කර ඇති ලේඛණයන් ද රාශියකි. ඒ අතර එක් ලේඛණයක අති පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක මාහිමිපාණන් සිය අත්අකුරින්ම සටහන් කර ඇත්තේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ජාතිස්මරණ ඥානය හිමි උසස් අධ්‍යාත්මික බලයක් හිමි උතුම් ගුරුවරයෙකු බවයි.

 

මාග්‍රට් අපොන්සු මැතිණියගේ අවමංගල්‍ය කටයුතුවල කලබලකාරී වාතාවරණයන් වලින් අනතුරුව, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් සිය ‛ජාතිස්මරණ ඥානය’ හෙවත් ආත්ම විසදීමේ හැකියාව මෙහෙයවා උන්වහන්සේගේ මවගේ ආත්ම විනිශ්චයේ කරුණු කාරණා සොයා බලා ඇත. එහිදී උන්වහන්සේ තහවුරු කරගෙන තිබුනේ, උන්වහන්සේගේ මවගේ ආත්මය අපොස්තුළුතුමෙකුට උත්පත්තිය ලැබීමට දෙවියන් විසින් තෝරාගනු ලැබූ කුස හිමි මාතාවක් නිසා, එතුමිය පළමු ස්වර්ගය ලබාගෙන ඇත් බවයි. ඒ නිසාවෙන්ම මෙවන් වූ අති ශ්‍රේෂ්ඨ මාතාවක් වන මාග්‍රට් අපොන්සු මැතිණියගේ මිහිදන් කළ ශරීරය, කටුනායක පොදු සුසාන භුමියෙන් ඉවත් කර, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධෝත්තම පේදුරු හා පාවුළු අපොස්තුළුතුමන්ලාට කැප කර ඇති උයනේ පිහිටි, අපොස්තලික සොහොන් ගැබ තුළ තැන්පත් කිරීමේ අවශ්‍යතාවය මතුවිය. මේ සඳහා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් හට ශ්‍රී ලංකා අධිකරණයේ පිහිට පැතීමට සිදු විය. මේ සඳහා අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතා පෙරමුණ ගත් අතර නිතීඥ කණ්ඩායමකගේ දායකත්වය ද ඇතිව, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් අධිකරණයෙන් කරන ලද ඉල්ලීම ඉෂ්ඨ කරගැනීමට දැඩි කැපවීමෙන් යුතුව කටයුතු සම්පාදනය කරන ලදී. ප්‍රශ්නකාරී මරණයක, මරණයට හේතුව තහවුරු කර ගැනීමට මෙතුවක් කල් අධිකරණ නියෝගයන් නිකුත් කර ඇති නමුත් ශ්‍රී ලංකා අධිකරණය, අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට එසේ නොවන කාරණයකට ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ඉල්ලීමේ ස්වභාවය සලකා බලා උන්වහන්සේ මවගේ දේහය ගොඩ ගෙන, උන්වහන්සේගේ සිතැගි ප්‍රකාරව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ මිහිදන් කිරීම සඳහා අවසර දෙන ලදී. ශ්‍රී ලංකා අධිකරණය කරුණු කාරණා අධ්‍යනය කොට ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට අවසර ලබා දෙන විට, උන්වහන්සේගේ මවගේ සිරුර භූමදානය කර තෙමසකටත් ආසන්න කාලයක් ගෙවී තිබුනි.

 

සාමාන්‍යයෙන් මිනිස් සිරුරක මරණයෙන් පැය 24-72ක කාලයකට පසු අභ්‍යන්තර අවයව දිරාපත් වීමට පටන් ගනී. ඉන්පසුව මරණයෙන් දින 5 කට හෝ සතියකට පසුව ශරීරයේ ඔක්සිජන් නොමැතිකමින් ඉදිමීමට පටන් ගන්නා අතර සියලුම ද්වාරයන්ගෙන් රුධිරය අඩංගු පෙන කාන්දු වේ. මරණයෙන් දින 8 කට හෝ 10 කට පසුව රුධිරය දිරාපත් වන විට ශරීරය කොළ පැහැයේ සිට රතු පැහැයට හැරෙන අතර උදරය ඇතුළු අවයව වායුවෙන් පිරීමට පටන් ගනී. මරණයෙන් සති කිහිපයකට පසු නියපොතු සහ දත් ගැලවී යයි. මරණයෙන් මාසයකට පසු ශරීරය දියර වීමට පටන් ගෙන ඉසිලිය නොහැකි දුගදක් වහනය වේ. මාස තුනක් පමණ වන විට මුළු ශරීරයම පාහේ දියවී අධික දුර්ගන්ධයකින් යුතුව ඇටකටු පමණක් දැකීමට හැකි වනු ඇත.

 

නමුත් භූමදානය කරනු ලැබූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ මවගේ සිරුරට සිදුවී තිබුනේ ඇස් අදහා ගත නොහැකි මහත් අසිරිමත් සිදුවීමකි. මාස 3 කට පසුව ගොඩ ගන්නා ලද ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ මවගේ දේහය කිසිදු නරක් වීමකින් හෝ දුර්ගන්ධයකින් තොරව නිරුපද්‍රිතව තිබුණි. එම අවස්ථාවට සහභාගී වු ශ්‍රී ලංකා පොලිසිය, අධිකරණය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, මාධ්‍ය ආයතනයන්හි මාධ්‍යකරුවන්, අවමංගල සංවිධාන කටයුතු සිදුකරන ලද අවමංගල්‍ය ආයතනයේ සේවකයින් හා කටුනායක සුසාන භූමිය අවට රැස්කමින් බලා සිටි විවිධ පිරිස් සාක්ෂි දරනු ඇත. මෙම මෘත ශරීරයට පමණක් මෙසේ වීමට හේතුව කුමක්දැයි ඔවුන් සියලු දෙනාවම මහත් පුදුමයට හා කුතුහලයට පත් කරමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ මවගේ දේහය පස් මතින් ගොඩ ගන්නා ලදී. ගොඩ ගන්නා ලද දේහය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට රැගෙන ගොස් පැරණි දර්ශණ දෙව්මැදුර තුල, ප්‍රධාන පූජාසනය ඉදිරියේ තැන්පත් කරන ලදී. ඉන්පසු ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් කෙටි දේව මෙහෙයක් ද පවත්වා, ආගමික කටයුතු සිදු කර, දේහය බහා තිබූ පෙට්ටිය විවෘත කර දේහය මත ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේම සුරතින් උන්වහන්සේගේ මෑණියන්ගේ දොත් මත රතු රෝස නැවුම් මල් කළඹක්ද තබා, එම දේහය කටුනායක අප ස්වාමීදුගේ සිද්ධස්ථානයේ ශුද්ධෝත්තම පේදුරු හා පාවුළු අපොස්තුළුතුමන්ලාට කැප කර ඇති උයනේ පිහිටි, අපොස්තලික සොහොන් ගැබ තුළ තැන්පත් කරන ලදී.

 

මේ මහා පුදුම සිද්ධිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන රූපවාහිනී මාධ්‍ය නාලිකාවල ප්‍රමුඛ සිරස්තල යටතේ, ශ්‍රී ලංකාවේ මුල් වරට සිදුවූ පුදුම සහගත පුවතක් ලෙසින් වාර්තා කරන ලදී. ඊට අමතරව අපොස්තලික ප්‍රකාශන කාර්යාංශය මගින් සිද්ධිය ඇසින් දුටුවන්ගේ සාක්ෂි අළලා, සම්පූර්ණ සිද්ධියේ වර්ණ ඡායාරූප එකතුවක්ද සමගින් ‛යලි ගොඩගත් මවගේ නොදිරූ දේහය’ ලෙසින් කෘතියක්ද ප්‍රසිද්ධියට පත් කර ඇත.

 

මෙලොව කාන්තාවකට ලැබිය හැකි උත්තරීතරම පදවිය මව් පදවියයි. මවක විසින් දරුවෙකු බිහිකිරීමට දරන වේදනාව දෙවෙනි වන්නේ මිනිසෙකු පණපිටින් පුළුස්සා දැමීමේදී දැනෙන්නා වූ වේදනාවට පමණි. මවකට තරම් දරා ගැනීමේ ශක්තියක්, ඉවසීමක්, කරුණාවක් ඇති අයෙකු මිහිපිට නොමැත. මව්වරුන් අතර ද අති සුවිශේෂී චරිතයක් වන මාග්‍රට් අපොන්සු මැතිණිය, අනාගත අපෝස්තුළුතුමෙකුට තම කුස යහන කර දීමට කෙතරම් නම් පුණ්‍යවන්ත ස්ත්‍රි රත්නයක්ද? අපොස්තුළුතුමෙකුව මෙලොවට බිහිකර සිදුකළාවූ විශ්මයට අමතරව එතුමිය ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව ද සිදුකළ මහා අසිරිමත් විශ්මකර්මයට 2020 ජූනි මස 26 වෙනි දිනට වසර 10 කි. එබැවින් මෙවන් උතුම් වූ මාතාවක් පිළිබද මෙවන් වූ සංධිස්ථානාත්මක අවස්ථාවක දී සිහිනොකර සිටිය නොහැක. එමෙන් ම එතුමියගේ ජීවිතයේ අවසාන කාලයේ එතුමියගෙන් අසා දැනගත් තවත් බොහෝ අති විශේෂ කරුණු, අනාගතයේ සමාජගත කිරීමට වර්තමානයේ පෙළ ගැසෙමින් පවතින බව සදහන් කළ යුතුමය. එබැවින් සුරලොව වැඩි සුදු මවගේ දශක පූර්ණය සිහිපත් කරමින්, සුරලොව සිටිනා එතුමියට අපි නැවත නැවත් ස්තූති ප්‍රශංසා කරන්නෙමු, මන්දයත් අපට අපොස්තුළුතුමෙකුව ලබා දුන් නිසා

 

සශික විෂාන්
අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක