දූ දරුවන් අත්හරිනු ලැබූ වියපත් මාපියන් සැත්තෑවක් පමණ වෙසෙන, මීගමුවට නුදුරු, දූනගහ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක් තෝරාගෙන එම භූමියේම, දර්ශණීය අන්දමින් සැකසූ විශේෂ අට්ටාලයක් තුළදී තම විවාහ මංගල දේව මෙහෙය පවත්වා විවාහ ප්‍රාප්ත වූ යුවළකගේ උත්සවයක් පසුගිය දිනයක (2019 අගෝස්තු 30) පැවැත්වුණි.

 

දූනගහ වැඩිහිටි නිවාසයේ ජීවත්වන වයෝවෘද්ධ මවුපියන්ගේ මුහුණු එදින සතුටින් පිරී තිබුණි. ඇතැමුන්ගේ දෙනෙත්වල තිබුණේ ආදරණීය බවකි. මුහුණුවල තිබුණේ ආදරය උතුරා යන සෙනෙහසේ ඉරියව්ය. ‛මොකද අම්මා මේ කඳුළු’ මම මහළු මවක් වෙතට ළංවී හිමිහිට ඇසුවෙමි. ‛සතුටුයි පුතා…. ඉවසන්න බැහැ….. අනේ අපි මේ තරම් වාසනාවන්ත වේවි කියලා කවදාවත් හිතුවේ නැහැ. මේ විවාහ මංගල උත්සවය තමයි අපේ ජීවිතයේ සතුට පිරුණු හොඳම දවස. ඇය එසේ කියා කඳුළු පිස දැම්මාය. ‛අවුරුදු ගාණකින් දරුවෙක් කසාද බඳින උත්සවයක් අපි දැකලා තිබුණෙ නැහැ. එහෙම උත්සවයකට ගිහින් තිබුණේ නැහැ. මේ සතුට අපිට දුන්න මේ දුවටත්, පුතාටත් අපි පින් දෙනවා.’

 

ශෙඩ්රික් සහ ප්‍රසානි ආදරෙන් බැඳී සිටියේ අවුරුදු දහයක පමණ සිටය. කාලයාගේ ඇවෑමෙන් විවාහ දිවියට ඇතුළත්වීමට සූදානම් වූ ඔවුන් දෙදෙනා තමන්ට එදා සිට ආශිර්වාද කල කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන්ගේම ආශිර්වාද ඇතිව තම යුග දිවිය ආරම්භ කිරීම සඳහා තීරණය කර තම අදහස උන්වහන්සේ වෙත පවසනු ලැබුවේ, උන්වහන්සේගේ ආශිර්වාදයත් අවවාදයත් තම යුග දිවියට බෙහෙවින් උපකාරී වන බව හැඟුණු නිසාය.

 

මංගල භෝජනයක් සූදානම් කල විට ඒ සඳහා ඇරයුම් කල යුත්තේ සමාජයේ කුමන ආකාරක පිරිසකට දැ යි ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා කලකට පෙර තම සැදැහැවත් බැතිමතුන්ට අනුශාසනා කර තිබුණි. කන්න බොන්න නැතිව සමාජයෙන් කොන්කර සිටින අසරණයන් වෙනුවෙන් රසවත් මංගල භෝජනයක් පිරිනමා මංගල අවස්ථාව පින් බර අවස්ථාවක් කරගන්නා මෙන් උන්වහන්සේ සැදැහැවතුන්ට ආයාචනා කර තිබුණි.

 

ඒ අනුව ශෙඩ්රික් සහ ප්‍රසානි තම විවාහ මංගල උත්සවය එවැනි වැඩිහිටි පිරිසක් සමග සමරන්නට පමණක් නොව ඔවුන් මධ්‍යයේම ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන්ගේ ආශිර්වාදය ලබාගන්නා මංගල දේව මෙහෙය ද පැවැත්වීමට උන්වහන්සේට ආරාධනා කල අතර, තම වචන අනුව කටයුතු කරන්නට තීරණය කල මේ තරුණ යුවලගේ ආරාධනය උන්වහන්සේ පිළිගත්තේ අපමණ සෙනෙහසකිනි.

 

ශෙඩ්රික් සහ ප්‍රසානි තම මංගල උත්සවය සඳහා තෝරා ගත්තේ මීගමුවට නුදුරු, දූනගහ වැඩිහිටි නිවාසයයි. එහි වෙසෙන පිරිමි සහ කාන්තා වැඩිහිටි සංඛ්‍යාව සැත්තෑවක් පමණ වේ.

 

2019 අගෝස්තු 30 වෙනි සිකුරාදා දින උදේ විවාහ මංගල උත්සවය සඳහා සියළු කටයුතු අඩුවක් නොමැතිව ම සූදානම් කෙරුණි.

 

විවාහ මංගල දිනයේ මේ වැඩිහිටි නිවාසයේ ජීවිතය ගෙවන වියපත් දෙමාපියන්ගෙන් බොහෝ දෙනෙක් විවාහ මංගල උත්සවයට සහභාගි විය. සහභාගි නොවුනේ, ඇවිද ගැනීමට නොහැකිව ඇඳ මත එක්තැන් වී සිටින්නන් පමණකි. අනික් සියල්ලෝ උදෑසන පටන් ම ඊට ලක ලෑස්ති විය. තමන්ට ඇති ඇඳුම් කීපය අතරින් ඇති හොඳම ඇඳුම (එය ද කාගෙන් හෝ පිනට ලැබුනකි) ඇඳගෙන ඔවුන් ඊට සහභාගි විය.

 

විවාහ මංගල උත්සවයේ ආගමීක පිළිවෙත් සියල්ල ඉටු කරනු ලැබුවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ වෙසෙන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන් විසිනි. උන්වහන්සේ නව යුවල අමතා කරනු ලැබුවේ අපූරුම අනුශාසනාවකි.

 

එදින නව ජීවිත ගමනක් ආරම්භ කරන ශෙඩ්රික් සහ ප්‍රසානි නව යුවලගේ දිගු ආදර කතාවේ වැදගත් දිනයන් දෙකක් තිබෙන බවත්, පළමුවන දිනය, ඔවුන් දෙදෙනා දිගු කලකට පෙර හඳුනාගත් දිනය වන අතර දෙවන දිනය වන්නේ, ඔවුන් දෙදෙනා හඳුනා ගත්තේ ඇයි දැයි අවබෝධ කරගන්නා එම මංගල දිනය බව පැවසූ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා, නව යුවල දීර්ඝ කාලයක් එකිනෙකාව හඳුනා ගැනීමෙන් කල අධ්‍යනයේ ප්‍රතිඵලය වන්නේ ආදරය කරන්නට ආරම්භ කිරීම බවත්, විවාහ දිනය යනු ආදරයේ ප්‍රතිඵලය නොව ආදරය කරන්නට ආරම්භ කිරීමේ දිනය බවත් ප්‍රකාශ කල සේක.

 

එපමණක් නොව විනාඩි හතලිහක් පුරා ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා කරනු ලැබූ අනුශාසනය ඔස්සේ නව යුවලට උපදෙස් රාශියක් විය.

 

මේ වැඩිහිටි නිවාසයේ පාලකවරයා වශයෙන් කටයුතු කරන්නේ එච්. එම්. විජේරත්න මහතාය. ඔහු ද විශේෂ ස්තූති කතාවක් කලේය. තරුණ යුවලවල් මෙලෙස පිනට ලැදිව කටයුතු කිරීම සඳහා නිසි මං ගන්වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන්ට මුව පුරා ස්තූති කල ඒ මහතා, නව යුවල අමතා කල අනුශාසනය ඉමහත් අගැයීමට ලක් කලේය. ආගම් භේදයකින් තොරව ඕනෑම ආගමක අයෙකුට ගැලපෙන පරිදි කල සාර්ථක දේශනාව විවාහ දිවියට පා තබන අයට පමණක් නොව, විවාහ වූ අයට ද ගැලපෙන දේශණයක් බව සඳහන් කල විජේරත්න මහතා කියා සිටියේ, විවාහ ජීවිතය කඩාකප්පල් කරගත් ජෝඩු පවා මෙම දේශණයේ වීඩියෝ පටයවත් දැක අසා ගෙන, අළුතින් කල්පනා කර, නව දිවියක් ආරම්භ කිරීමට පවා ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ දේශණය හරවත් බවය.

 

විවාහ මංගල දේව මෙහෙයෙන් පසුව ශෙඩ්රික් සහ ප්‍රසානි, ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් සමග ගමන් කලේ දිවා ආහාරය සූදානම් කර තිබූ ස්ථානය වෙතය. උන්වහන්සේ ද සමගින් නව යුවල තම දෑත් වලින්ම පෙර කී සියලු වැඩිහිටියන්ට කෑම බෙදා දුන්හ. කිසිදු අඩුවක් නැති මංගල භෝජනයකි. මගුල් ගෙදරක තිබෙන සියළු කෑම වර්ගයක් ම එහි විය.

 

ශෙඩ්රික් සහ ප්‍රසානි නව යුවල කල තවත් අපූරු වැඩකි. තමන්ට මේ පින් බර අවස්ථාවට මග කියා දී, තම අපොස්තලික ආශිර්වාදයෙන් විවාහ ගැන්වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමාණන් සමග මේ වැඩිහිටි නිවාසයේ ජීවත්වන සියල්ලන්ටම තෑගි බෙදා දීමයි.

 

විවාහ මංගල උත්සවය අවසානයේ එක් මහළු පියෙක්, ඇස්වල කඳුළු පුරවාගෙන මට කීවේ, ‛අනේ පුතේ මගේ ඇස්වලට කඳුළු එනවා. දන් පින්කම් මේ ස්ථානයේ ඕනතරම් සංවිධානය වෙනවා. ඒත් විවාහ මංගල උත්සවයක් පැවැත්වෙන්නේ පළමු වතාවට. මේ දරුවෝ අපිට මේ ලබා දෙන්නේ මතක හිටින සතුටක්. ඒකට මේ අපොස්තලික පියතුමාට වගේම මේ දරුවෝ දෙන්නාටත් අපි පින් දෙනවා’ කියාය.

 

බොහෝ වැඩිහිටි නිවාසවල ජීවත්වන බොහෝ මවුපියන්ට දරුවෝ සිටිති. ඒ දරුවෝ ඉහළ පුටුවල වැජඹෙති. ඇතැම්හු විදෙස්ගතවී සිටිති.

 

එහෙත් ජීවිතයේ සැඳෑ සමය ගත කරන මේ වැඩිහිටියන් කාලය ගත කරන්නේ වේදනාවන්, පසුතැවිල්ලන් තුළය. ඉතින් ඔවුන්ගේ ඒකාකාරී ජීවිතවලට ශෙඩ්රික් ක්‍රාමර් හා ප්‍රසානි ඉමන්ති ලබා දුන් මේ සිහිවටනය වෙනස්ම එකකි වෙනස්ම දවසකි.

 

මෙවන් සිදුවීමක් මීට පෙර ලොව සිදුවී ඇති බවට වාර්තා වන්නේ එකක් පමණකි. එය ද සිදු වූයේ මේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන්ගේ අනුශාසනා නිසාවෙනි. මෙම 2019 වසරේ ජනවාරි 17 වෙනි දින, පානදුර, ආලෝකා වැඩිහිටි නිවාසයේ දී මේ අයුරින්ම සිදුවූ මංගල උත්සවයේ එම යුවල විවාහ දිවි ගැන්වූයේ ද මේ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ය. ජාඇල රංග ප්‍රසාද් සහ සඳුනි දිලීකා නම් වූ ඒ යුවල ද මේ විවාහ මංගල උත්සවයට ආරාධනා ලැබ පැමිණ සිටීම ඉතාමත් සතුටට කරුණකි.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ගේ අවවාද සහ අනුශාසනා පරිදි තමන් ගත් මග යමින් තවත් වැඩිහිටි සෙවණකට මංගල භෝජනය දී මංගල ගමන ගිය තවත් පින්බර යුවළක් වූ රංග ප්‍රසාද් සහ සඳුනි දිලීකා යුවල, ශෙඩ්රික් ක්‍රාමර් සහ ප්‍රසානි ඉමන්ති නව යුවල සමග ඡායාරූපයකට ද පෙනී සිටින ආකාරය ද දැක ගන්නට ලැබුණි.

 

ඉනේජ් එල්කින්ටන්
කටුනායක

 

 

 Apostle of SriLanka

 

 Apostle of SriLanka

 

 Apostle of SriLanka

 

 Apostle of SriLanka

 

 Apostle of SriLanka

 

 Apostle of SriLanka

 

 Apostle of SriLanka

 

 Apostle of SriLanka