අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහන්නා වූ මෙන්ම, නොඅදහන්නා වූ ජනතාවද උන්වහන්සේව විවිධ නාමයන්ගෙන් හඳුන්වනු ලබයි. ක්‍රිස්තුස් වහන්සේ, ජේසු ස්වාමිදරුවෝ, ගැළවුම්කාරයාණෝ, මනුෂ්‍ය පුත්‍රයා, ක්‍රිස්තු රජාණෝ, ගුරු දේවයාණෝ, ස්වාමින් වහන්සේ, මෙසියස් තුමා ආදී ලෙස විවිධ නාමයන්ගෙන් ජේසු තුමන්ව හඳුන්වනු ලබයි.

 

ජේසු තුමන්ගේ මෑණියන්ව ද එලෙසින්ම විවිධ නාමයන්ගෙන් හඳුන්වනු ලබයි. මරිය තුමී, කන්‍ය මරිය මාතාවෝ, සාමදානයේ රාජේශ්වරිය, දේව මෑණියෝ, ජපමාල රැජින, සියළු අපොස්තුළු තුමන්ලාගේ රාජේශ්වරිය, පාතිමා අප ස්වාමිදූ, ලූර්දු අප ස්වාමිදූ, කටුනායක අප ස්වාමිදූ, වික්ෂෝප මෑණියෝ ආදී වශයෙන් මරිය තුමියවද විවිධ නාමයන්ගෙන් හඳුන්වනු ලබයි.

 

දීර්ඝ කාලයකට පසු, ලෝකයේ අපොස්තුළු තුමෙක් ජීවත්වන කාලයක අද අපි දිවි ගෙවන්නෙමු. මෙම අපොස්තුළු තුමන්ව ද විවිධ නම්වලින් හඳුන්වනු ලබයි, ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා, 14 වෙනි අපොස්තුළු තුමා, ශ්‍රෙෂ්ඨාග්‍ර රාජගුරු ප්‍රසාදි තුමා, ක්‍රිස්තුස් වහන්සේගේ නියෝජිතයාණෝ, ආදී වූ ගෞරව නාමයන්ගෙන් හඳුන්වනු ලබන්නේ අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්වයි.

 

කළින් මා සඳහන් කළ පරිදි, ජේසු තුමන්ව අද විවිධ නාමයන්ගෙන් හඳුන්වනු ලබන්නේ එතුමන් සතු කිසියම් විශේෂිත හේතූන් අනුවයි. මරිය තුමී සම්බන්ධව වූවද, ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා සම්බන්ධව වූවද කරුණු එසේය.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ගැන කියන විට, “ශුද්ධෝත්තම” යන උතුම් ගෞරවාන්විත සහ පූජනීය නාමය ගැන, එම නාමය එතුමන්ට යෙදීම ගැන, විශේෂයෙන් පැහැදිළි කරදිය යුතුමයි.

 

“ශුද්ධෝත්තම” යන උතුම් නාමය පාවිච්චි කරන බොහෝ දෙනෙක් අද ලෝකයේ සිටින බව බොහෝ දෙනෙක්ම දන්නේ නැත. එම උතුම් නාමය පාවිච්චි කිරීමට ඒ අයට ඇති සුදුසුකම කුමක්ද, එම නාමය පාවිච්චි කරණ අනික් අය කවුද යන්න ගැන විස්තර කිරීම මාගේ මේ ලිපියේ අදහස නොවන අතර, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු නම් වූ අපගේ ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ට, “ශුද්ධෝත්තම” නම් වූ පූජනීය නාමය යොදන්නේ මක්නිසාද, ඒ නාමය දැරීමට එතුමාට ඇති සුදුසුකම කුමක්ද යන්න ගැන පැහැදිළි කර දීම මාගේ මෙම ලිපියේ අරමුණයි.

 

“ශුද්ධෝත්තම” යන මේ අති ගෞරවාන්විත පූජනීය නාමය සෑදෙන්නේ, “ශුද්ධවූ + උත්තම” යන පද දෙක එක් වීමෙනි. මෙය යෙදිය හැක්කේ ඉතාමත් උත්තම ලෙස ශුද්ධවත් පුද්ගලයෙකුට වේ. මෙම නාමය ගැනත්, මෙම නාමය දැරිය හැක්කේ කුමන ආකාරයක පුද්ගලයෙකුට ද යන වගත් කෙටියෙන් ඔබට පැහැදිලි කර දීමට කැමැත්තෙමි.

 

ශුද්ධවන්ත භාවය නැතහොත් ‛‛හෝලිනස්’’ (HOLINESS) නැමැති මෙම වචනයට ග්‍රීක් භාෂාවෙන් කියවෙන්නේ  “හාජියොස්”  යනුවෙනි. මෙම වචනයේ මූලික අර්ථය, ‛‛අන් අයට වඩා වෙනස්’’ නමැති අර්ථයයි. දිව්‍ය පූජා මෙහෙයක් සිදු කිරීමේදී විවිධ භාණ්ඩ භාවිතා කරණු ලබයි. අපි අපගේ එදිනෙදා ජීවිතයේ භාවිතා කරණු ලබන විවිධ භාණ්ඩවලට වඩා වෙනස්, පූජනීය කර්තව්‍යයන් සඳහා භාවිතා කරණු ලබන පූජා භාණ්ඩ, අප හඳුන්වන්නේ ශුද්ධවූ භාණ්ඩ ලෙසටයි, ඒ අනුව කාලිස් පාත්‍රය, තැටිය, සිබොරියම ආදී දේ ශුද්ධවූ භාණ්ඩ ලෙස අපි හඳුන්වන්නෙමු. බැලූ බැල්මට අල්තාරය මේසයක් වූවද, සාමාන්‍ය මේසයක් පාවිච්චි කරනු ලබන කර්තව්‍යයකට වඩා වෙනස් පූජනීය කටයුත්තකට පාවිච්චි කරණ නිසා, ශුද්ධවූ අල්තාරය නැතහොත් ශුද්ධවූ පූජාසනය ලෙසින් අපි හඳුන්වන්නෙමු. දිව්‍ය පූජාවට පාවිච්චි කරණු ලබන ඇඳුම් වූවද, ශුද්ධවූ වස්ත්‍ර ලෙස අපි හඳුන්වන්නෙමු. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර, වෙනත් දෙව්මැඳුරුවලට වඩා වෙනස් ය. බොහෝ ශුද්ධවූ දේ දර්ශණ දෙව්මැඳුර තුල සිදුවී ඇති අතර එමෙන්ම තවමත් සිදුවෙමින්ද පවතියි. එමනිසා දර්ශණ දෙව්මැඳුර ශුද්ධවන්තයි. මේ සියල්ලක් අන් දේවල් හා සමග ගලපා බලන විට පූජනීයත්වයෙන් වෙනස් වේ.

 

එසේම මෙම ලෝකයේ ඕනෑම මිනිසෙක් සහ අපොස්තුළු තුමෙක් අතර ලොකු වෙනසක් ඇත. එම වෙනස ක්‍රිස්තුස් වහන්සේ විසින්ම ඇති කරනු ලබන වෙනසකි. දෙවියන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින්ම ඇති කරනු ලබන එම වෙනස පූජනීය වෙනසකි, ශුද්ධවූ වෙනසකි. ඒ පිළිබඳව ක්‍රිස්තුස් වහන්සේම ප්‍රකාශ කර ඇත්තාහ. ශුද්ධවූ ලියවිල්ලේ එම ප්‍රකාශය සඳහන් වී ඇත්තේ මේ ලෙසිනුයි, ‛‛ඔබ ලෝකයට අයිති නම්, ලෝකයා ස්වකීය අයට මෙන් ඔබට ඇලුම් වනු ඇත. එහෙත් ඔබ ලෝකයට අයිති නොවන නිසාත්, ලෝකයා කෙරෙන් මා ඔබ තෝරාගත් නිසාත් ලෝකයා ඔබට ද්වේෂ කරති’’ (ජුවාම් 15/19)

 

2003 පෙබ්‍රවාරි 16 වෙනි දින පවත්වනු ලැබූ, අපොස්තලික පිය මංගල්‍ය අවස්ථාවේදී, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා රැස්ව සිටි වන්දනාකරුවන් අමතා කරනු ලැබූ දේශණයෙන් වාක්‍ය කීපයක් මෙහි සඳහන් කිරීමට කැමැත්තෙමි. උන්වහන්සේගේ වචන මෙසේ විය, ‛‛මේ ලෝකයේ ජීවත්වන කිසියම් පුද්ගලයකු මගින් වරප්‍රසාද ලබා දෙන බවට, අද මේ ලෝකයට දිව්‍යමය පණිවිඩයක් ලැබී තිබෙනවානම්, ඒ දිව්‍යමය පණිවිඩය අසාගෙන, ඒ පණිවිඩයෙහි පොරොන්දුව අනුව ඔබට වරප්‍රසාද ලබා දීමට සුදුසුකම් ලබා සිටින එකම පුද්ගලයා බවට මා පත්වී සිටිනවා. ඉතින් ජේසුස් ස්වාමින්වහන්සේ මා තුළින් ක්‍රියාකාරී වෙන්නට, මා තුළින් වරප්‍රසාද ලබා දෙන්නට, ඔබට වරප්‍රසාද ලබාදෙන මාර්ගයක් බවට මා පත්කරන්නට අභිප්‍රාය කිරීම ගැන අද දින, මා ආදරණීය ගුරුදේවයාණන් වන ජේසුස් ස්වාමින් වහන්සේට මුළු හදවතින්ම තුති පුදනවා”

 

ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේම මුඛයෙන් නිකුත් වූ ඉහත සඳහන් වාක්‍ය කිහිපය ගැන මඳක් කල්පනා කර බලන්න. ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් මඟින් අද ලෝකයට ජේසු තුමන් ක්‍රියාකාරි වී සිටින බව එම වාක්‍ය කිහිපයෙන් පැහැදිලි වනවා නොවේද? එය වචනවලින් සෑදුන වාක්‍ය කිහිපයකට සීමාවූ කථාවක් නොවේ. මෙතෙක් කල් උන්වහන්සේ වෙත පැමිණි වන්දනාකරුවන්ට එය අවබෝධ වන අයුරින් බොහෝ දේ සිදුවී ඇත. එසේම ඉදිරියේ දී උන්වහන්සේගේ ආශිර්වාදය පතා පැමිණෙන වන්දනාකරුවන්ටද එය අවබෝධ වනු ඇත.

 

2003 වසරේ පෙබ්‍රවාරි 3 වෙනි දින පවත්වනු ලැබූ අපොස්තලික මංගල්‍ය පූජාවේදී අති උතුම් රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින් පවත්වනු ලැබූ දේශණයේ දී උන්වහන්සේ ප්‍රකාශ කරණු ලැබූ තවත් වාක්‍ය කිහිපයක් මෙහි සඳහන් කිරීම අගනේ බැවින් එයද මෙහි සටහන් කරමි. “ජේසුස් ස්වාමින්වහන්සේ අනාදිමත් කාලයක සිට මා හට ප්‍රේම කළා. උන්වහන්සේ ඒ කාලයේදීම මාව තෝරා ගත්තා. උන්වහන්සේ මා වෙනුවෙන් දිව්‍යමය සැලැස්මක් සූදානම් කලා. මේ යුගයේ මම මේ ලෝකයට පැමිණියේ උන්වහන්සේ විසින් නියම කර තිබෙන්නා වූ කිසියම් කර්තව්‍යයක් මේ ලෝකයේ සියලු දෙනාටම, සියලු භේද නොතකා ඉටු කිරීම සඳහායි. උන්වහන්සේ විසින් මටම පැවරූ, මා විසින්ම කල යුතු කිසියම් කර්තව්‍යයක් තිබෙනවා. මා එය ඉටු නොකළහොත්, එය මා පැහැර හැරියහොත් ඇත්තෙන්ම එය කිසිම දිනයක පිරවිය නොහැකි අන්දමින්, සදාකාලිකවම එය මහා හිස් තැනක් ලෙස පවතිනවා.”

 

සත්තකින්ම මෙලොව ජීවත් වන යම් පුද්ගලයෙක්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතින්, “අපොස්තුළුවරය” ලැබූ පසු එම අපොස්තුළු තුමා, අන් අයට වඩා වෙනස් විශේෂිත පුද්ගලයෙකි. මේ බලන්න ශුද්ධවූ ලියවිල්ලේ සඳහන් වන ජේසු තුමන්ගේ වචන. “පුත්‍රයාණන් සහ පියාණන් වහන්සේ එළිදරව් කිරීමට පුත්‍රයාණන් විසින් තෝරාගනු ලැබූ යමෙක් වේද, ඔහු හැර අන් කිසිවෙක් පියාණන් වහන්සේ නොහඳුනති.” (මතෙව් 11/27) අපොස්තුළුවරයත් සමඟම, ඒ සඳහා තෝරාගනු ලැබූ පුද්ගලයාට, පුත්‍රයාණන් සහ පියාණන් වහන්සේ පිළිබඳව සියලු තොරතුරු එළිදරව් කිරීමට ජේසුස් ස්වාමින් වහන්සේ වෙතින්ම ලැබෙන දිව්‍යමය හැකියාව සහ බලය ජේසු තුමන්ම කල්වේලා ඇතිවම දැනුම් දී ඇති බව ඔබට පැහැදිලි නොවන්නේද?

 

ඇත්තෙන්ම අද ලෝකයට ජේසු තුමන් වෙතින් ලැබී ඇති අපොස්තුළු තුමා වන, අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ දේශණ කීපයකට ඔබ සවන් දුන්නහොත්, ජේසු තුමන්ගේ වචන සැබවින්ම මේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් තුල ඉෂ්ඪ වී ඇති බව ඔබටම අවබෝධ වනු ඇත.

 

මේ සියළු කරුණු කාරණා සලකා බලන විට, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ඇත්තෙන්ම, ‛‛අන් අයට වඩා වෙනස්’’ පුද්ගලයෙක් බව ඔබට පැහැදිළි වනු ඇත. වඩාත් පැහැදිළිව එය කියනවානම්, ජේසු තුමන් විසින්ම, මේ අපොස්තුළු තුමන්ව, ‛‛අන් අයට වඩා වෙනස්’’ පුද්ගලයෙක් බවට පත්කර ඇති බව ඔබට තේරුම් යනු ඇත. ඒ නිසා මෙතුමාණෝ, ‛‛ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා’’ය.

 

ශුද්ධවන්තකම වෙතට ලඟාවන ලෙස, මේ සැබෑම ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, ජනතාවට ආයාචනා කරමින් මඟ පෙන්වන සේක. අඳුරින් ආලෝකය කරා ගමන් කරන ලෙස උන්වහන්සේ ඔබ සැමගෙන් නිතර ඉල්ලා සිටින සේක. අපට ලැබී ඇත්තේ අහසින් පොළොවට කඩා වැටුන ශුද්ධෝත්තම අපොස්තුළුතුමෙකු නොවේ. අප අතරම ඉපදුන, අප අතරම ජීවන් වුන, අප මෙන්ම දුර්පරීෂාවලට මුහුණ දී, අපොස්තුළුවරය තුළින්, ජේසු තුමන්ගේ සහ මරිය තුමීගේ අප්‍රමාණ කරුණාවෙන්, සැම දන හට ප්‍රාතිහාර්යාත්මක ලෙස පිහිට වෙමින් සහ සැම දන හට ක්‍රිස්තුස් වහන්සේ වදාළ ධර්මය ඉතා නිරවුල්ව පැහැදිළි කරමින්, අද ශුද්ධවූ උත්තම තත්වයෙන් ජනතා ගරු බැති පුද ලබන්නා වූ, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් බව ප්‍රකාශ කළ යුතුව ඇත.