ශ්‍රී ලංකාද්වීපයේ වාසනාවටත්, අපගේ පිනටත්, කිතු දහමේ සුරක්ෂණයටත්, පහළ වූ මහා පින් කඳ අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමාණන් වහන්ස්, අප ස්වාමින් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අපොස්තුළුවරු කණ්ඩායමේ අපොස්තුළු තුමෙකු වශයෙන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින්ම තෝරා පත්කරගෙන, දැනට දශක සතරක් ද ඉක්මවා යමින්, ඉදිරි පෙරමඟ දහම් සුවඳ පතුරා, ලොව තුල ජීවමානවම වැඩ සිටිමින්, අගාධයකට ඇද වැටී ඇති කිතු දහම යළිත් යථාර්ථයට පත් කරනට, නිවැරදි දැක්මකින් සහ ආකර්ෂණීය අන්දමකින් උන්වහන්සේ ක්‍රියා කරන සේක.

 

අප ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ ජීවිතය අති සුන්දර, වාසනාවන්ත වූවත්, අවාසනාවන්ත දුෂ්ඨ පුද්ගලයන්ගේ විවිධ පීඩා මැද, හදවතින්ම වේදනාවන් විඳිමින්, උන්ටහන්සේගේ ජීවිතය මුළු ලොවටම, පරම පිවිතුරු අධිෂ්ඨානශීලී ආදර්ශමත් නායකත්වයකින් ගමන් මඟ අරඹා ඇත. මෙය ඉතා ලෙහෙසි පහසු කොට සැලකිය නොහැකි භාරදූර කර්තව්‍යයකි. ශුද්ධෝත්තම අපෝස්තලික පියතුමා ගෙවීගිය පුරා වසර 40 ක් ද ඉක්මවා, අපොස්තුළු ප්‍රතිපදාව සම්පූර්ණ කරමින්, කිතු දහම් මඟ හෙළි පෙහෙළි කලේ සුඛ විහරණයෙන් යුත් දිවියක් ගෙවමින් නම් නොවේ. දුෂ්ඨ තිරිසන් වෙස් ගත් මිනිසුන් විසින් ඇති කල ආරවුල් ද, මරණ තර්ජන ද, අවමන් අපහාස ද මධ්‍යයේ, දුෂ්කර ජීවිතයක් ගත කරන්නට කටයුතු සැලසුන ද, කිතු දහම හා ශ්‍රෙෂ්ඨ අපොස්තුළු නිලයේ කර්තව්‍යයන් පිළිබඳව උන්වහන්සේ තුල තිබූ කැපවීම හා දැක්ම මනාව එළි දක්වෙයි.

 

එදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, මේ ලොවේ වෙසෙන පවුකාරයින්ගේ පවු නිසා නොයෙකුත් අපහාස, අවමන් මැද, ඒ සියල්ලක් ඉවසා දරා, ඒ මහා බරවූ කුරුසිය කරට ගෙන, දුක් වේදනා උසුලා කපාල කඳු වැටිය තරණය කර කුරුසියේ ඇණ ගැසී ජීවිතය පුද කළ සේම, අද ජීවතුන් අතර වැඩ සිටින ජේසුස් ස්වාමින් වහන්සේගේම අපොස්තුළු තුමා, අප සැමගේත් අපොස්තුළු තුමා, අපගේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා නොයෙකුත් වේදනා විඳිමින්, මේ පවුකාර ලොවට ගැළවීම ලඟා කර දීමට දරණ දැවැන්ත උත්සහය අනන්තයි, අප්‍රමානයි.

 

2007 අප්‍රිලේ 5 වෙනි මහ බ්‍රහස්පතින්දා දින රාත්‍රියේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින්ම දානය කළ ශ්‍රී වණ කැලැල් දරා සිටිය දී, ශු්ධෝත්තම අපොස්තලික පියතුමා විඳි දුක් වේදනාවන්, උන්වහන්සේගේ ශුද්ධවූ ශරීරයට දරාගත නොහැකි තරමටම විඳි දුක් වේදනාවන්, උන්වහන්සේ වටා රැස්ව සිටි මහා ජනකායේ සිත් තුලින් කිසිදා පහව නොයනු ඇත. පවු බරින් මිරිකෙන මේ ලෝකය ගලවා ගන්නා බවට ජේසු තුමන් වෙනුවෙන් ලොව හමුවේ දුන් පොරොන්දුවක් සේය.

 

දිනෙන් දින ප්‍රපාතයටම බර වෙමින්, මිය ඇදෙමින් පවතින සැබෑ කිතු දහම යළි ශක්තිමත් කර පණ පොවන්නට ද, කිතු දහම හරි හැටි අවබෝධ කර නොගත් කිතුණුවන්ට, කිතු මඟ නිවැරදිව අවබෝධ කරවන්නට ද, අප ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා නිරන්තරයෙන්ම වෑයම් කරන සේක.

 

ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ වදාළ ධර්මයටම අනුගතව, ශුද්ධෝත්තම අපොස්තලික පියතුමාණන් වහන්සේ දේශනා කළ සහ දේශනා කරන ධර්ම කරුණු, බාල, මහළු සෑම වයස් ගත අයෙකුටම, ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව අධ්‍යාත්මික ප්‍රබෝධයක් සහ විශ්වාසනීයත්වයක් මෙන්ම ජීවිතය පිළිබඳව වැටහීමක් ද ඇති කිරීමට සමත් වූවාට නම් සැකයක් නොමැත. ඉතා ආදරයෙන්, කරුණාවෙන්, දයා ගුණයෙන් යුතුව කිතු දහම සම්බන්ධ කරමින්, සිතට දැනෙන ආකාරයට, කිතු දහමට පන පොවා, කිතුණුවන්ට මෙන්ම සැමටම ප්‍රාණ වායුව දානය කරන්නේ, අද ලොව වැඩ වසන මේ අප ශුද්ධෝත්තම අපොස්තලික පියතුමාණෝය. සත්‍ය කිතු දහම සම්බන්ධ කොට තර්කානුකූලව විසඳා පහදා දීමේ සම්පූර්ණ හැකියාව උන්වහන්සේ තුළ තිබේ. කිතු දහමේ සත්‍යතාවය, බලය මෙලොවට තේරුම් කර දීමට උන්වහන්සේ විශාල වෙහෙසක් දරමින් කටයුතු කරන සේක.

 

අප දයාබර ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ, අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන්ට භාර දුන් උතුම් කර්තව්‍යය, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට ප්‍රසන්න වන්නාවූ ආකාරයටම කරන්නට සම්පූර්ණ ශ්‍රමය වැය කරන්නා වූ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමාණන්ට දීර්ඝායු ලැබේවා