ලෝකයට අපොස්තුළු තුමෙකු ලැබීම, ලෝකයට ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවක්. ඒ වගේම එය ලෝකයට ලැබෙන ලොකුම ලොකු දේව දීමනාවක්. නමුත් සාමාන්‍යයෙන් ලෝකය, මේ බව තේරුම් ගන්නේ එවැනි උත්තමයන් ලෝකය හැරදා ගියාට පසුවයි. අතීතයේ සිදුවී ඇති සිද්ධීන් දෙස බලපුවහම මේ බව හොඳින්ම අවබෝධ වෙනවා.

 

ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ, අපේ සර්වබලධාරී දෙවියන් වහන්සේයි. ඉතින් උන්වහන්සේ මිනිස් වෙසින් මේ ලෝකයට පැමිණියා. අද ඔබත් මමත් පය ගසා සිටින මේ මහ පොළව මත ගමන් කරමින්, ජනතාවට ධර්මය දේශනා කලා. මේ ලිපිය රැගෙන එන තැනැත්තා දෙවියන් වහන්සේයි කියලා උන්වහන්සේ අත ලිපියක් තිබුනේ නැහැ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, දෙවියන්වහන්සේය කියලා සාක්ෂි දැරුවේ, උන්වහන්සේමයි. සාමාන්‍ය මනුෂ්‍ය වෙසින් පෙනී සිටපු උන්වහන්සේ, තමා තමාවම දෙවියන් වහන්සේ කියලා හඳුන්වා ගන්නවාය කියලා මිනිස්සු උන්වහන්සේට නින්දා කෙරුවා, පීඩා කෙරුවා. කරන ලද පීඩනයේ තරම කොච්චරද කියනවානම් මැරෙණ තුරුම නින්දා කෙරුවා, පීඩා කෙරුවා. හරියටම කියනවානම්, මැරෙන තුරුම නෙමෙයි, මරා දමන තුරුම නින්දා පීඩා කෙරුවා. මරා දැම්මේත් කුරුසියේ ඇණ ගසලා, එල්ලලයි.

 

ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේව කුරුසියේ ඇණ ගසා එල්ලා තැබූ විට උන්වහන්සේ පැය තුනක්ම කුරුසියේ එල්ලී මරණ වේදනාවෙන් දුක් වින්දා. කුරුසියේ එල්ලී දුක් විඳින ජේසුස් ස්වාමින් වහන්සේව දැකීමෙන්, උන්වහන්සේගේ විරුද්ධවාදීන්ගේ හදවත්, එක අබ ඇටයක තරම්වත් උණු වුනේ නැහැ. වේදනාවෙන් කුරුසිය මත දුක් විඳින ජේසුස් ස්වාමින් වහන්සේ දෙස බලා, මරණ මොහොතේ සිටි ජේසුස් ස්වාමින් වහන්සේටත් අපහාස කලා. ඒ අපහාස කිරීම ගැන ශුද්ධවු මාක් තුමා තමසුවිශේෂයේ සඳහන් කරලා තියෙන්නේ මෙන්න මෙහෙමයි.

 

‛‛උන්වහන්සේට අපහාස කරමින්, ‛හහා දේව මාළිගාව වනසාදමා තෙදිනකින් එය ගොඩනඟන ඔබ, කුරුසියෙන් බැස එන්නැ යි කීහ. එලෙසම නායක පූජකවරු විනයධරයන් සමග තම තමන් අතර උන්වහන්සේට කවටකම් කරමින්, මොහු අනුන් ගැළවීය, එහෙත් තමා ම ගළවාගන්නට මොහුට නොහැකිය. අප විසින් දැක අදහන පිණිස, ඉශ්රායෙල් රජ වන ක්‍රිස්තුස් දැන් කුරුසියෙන් බසින්නැයි කීහ.’’

 

ඉතින් සර්බලධාරී දෙවියන් වන ජේසුස් ස්වාමින් වහන්සේගේ සත්‍ය තත්වය, උන්වහන්සේ සැබෑම දෙවියන් බව, උන්වහන්සේ කිව්වේ බොරුවක් නොවන විත්තිය, මිනිස්සුන්ට දැන ගන්නට ලැබුණේ උන්වහන්සේව මරා දැම්මාට පස්සෙයි. එතකොට සියල්ල ප්‍රමාදයි. ඒ නිසා මිනිස්සුන්ට සිද්ධ වුනේ, ජේසුස් ස්වාමින් වහන්සේගේ ප්‍රතිමා ඉඳිකරගෙන ඒවා ඉදිරියේ දුක් මනස්ථාප වෙන්නයි.

 

ජේසුස් ස්වාමින් වහන්සේගේ ශ්‍රාවකයන් වූ අපොස්තුළු තුමන්ලාගේ ඉරණමත් එයමයි. ජේසුස් ස්වාමින් වහන්සේ මෙලොව ජීවතුන් අතර සිටිත්දී පත්කරපු අපොස්තුළු තුමන්ලාගේත්, පසුව ජේසුස් ස්වාමින් වහන්සේ දර්ශණය වෙලා පත්කරපු ප්‍රථම අපොස්තුළු තුමන්ගේත් ඉරණම, මරා දමා ඉන්පසු, ජනතාව එකතුවී ප්‍රතිමා ඉඳිකරගෙන වන්දනා කිරීමයි.

 

ජේසුස් ස්වාමින් වහන්සේ කුරුසිය කර තබාගෙන කල්වාරි කඳු මුදුන බලා යන ගමනේදී පැවසූ අපූරු වාක්‍යයක් ශුද්ධවූ ලූක් තුමා තම සුවිශේෂ පොතේ සඳහන් කරලා තියෙනවා. ‛‛ඔව්හු අමු ගසට මේ දේ කරත් නම්, වියළුණු ගසට කුමක් නොකරනු ඇද්ද’’ මේ, ජේසුස් ස්වාමින් වහන්සේගේ වාක්‍යයයි.

 

ඒ වාක්‍ය හරියටම හරි ගියා. දේව වාක්‍ය එසේය බව පෙන්නුම් කරමින්, ජේසුස් ස්වාමින් වහන්සේගේ ශ්‍රාවකයන් වන අපොස්තුළු තුමන්ලාට මෙලොව ජීවත්වන්නට සිද්ද වුනා. සෑම අපොස්තුළු තුමෙක්ම මෙලොව ජීවත් වුනේ, නින්දා, තර්ජන, අපහාස, ආදී දේ මැදයි. අවසානයේ මරණයට පත්වන්නට ද සිද්ධ වුනා.

 

දේව වාක්‍ය නම් එසේය කියන්නට අදත් අපට සිද්ධ වෙලා තියෙනවා. එහෙම සිද්ධ වෙලා තියෙන්නේ, ජේසුස් ස්වාමින් වහන්සේ වෙතින් අපොස්තුළු තුමෙක් ලෝකයට ලැබී ඇති නිසයි. ජේසුස් ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනු ලැබූ වදන්, මේ අපොස්තුළු තුමන්ගේ ජීවිතය තුල ඉටුවෙමින් පවතින අයුරු අපට පෙනෙන්න තිබෙනවා. ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු නම් වූ මෙම අපොස්තුළු තුමන්ගේ, ‛අපොස්තුළුවරයේ’ හොඳම සාක්ෂිය ලෙස මම දකින්නේ, ජේසුස් ස්වාමින් වහන්සේ එදා පැවසූ වදන්, දැන් අවුරුදු දෙදහසකට පසුවත්, මේ අපොස්තුළු තුමා තුල ඉටුවීමයි. ඇත්තටම මේ මෙසේ වන්නේ, මේ අපොස්තුළු තුමා තවමත් අප අතර ජීවත් වන නිසාත්, මේ නම් සැබවින්ම අපොස්තුළු තුමෙකුම වන නිසාත්ය.

 

ඔබත් මමත් ජීවත්වන මෙම කාලයේ, ඔබ, මා, අතර, අපගේ දෑසට පෙනි පෙනී, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ජීවත් වන්නාවූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා, එදා ජේසුස් ස්වාමින් වහන්සේ ඇතුළු අපොස්තුළු තමන්ලා මෙන්ම අද මේ අපොස්තුළු තුමාත් ජීවත් වන්නේ, නින්දා, තර්ජන, අපහාස, ආදී දේ මැදයි. ‛‛ඔව්හු අමු ගසට මේ දේ කරත් නම්, වියළුණු ගසට කුමක් නොකරනු ඇද්ද’’ යන ජේසුස් ස්වාමින් වහන්සේගේ වචන, මේ අපොස්තුළු තුමන්ට අනන්තවත් මතක් වෙනවා ඇති. උන්වහන්සේ එසේ සිතා සැනසෙනවා ඇති.

 

සෑම සතියකම සෙනසුරාදා සවස මේ අපොස්තුළු තුමන් වෙත ජනතාව පැමිණෙන දවසයි. මේ අපොස්තුළු තුමන්ගෙන් පිහිට පතන සැදැහැවත් ජනතාවට උන්වහන්සේගේ ආශිර්වාදය, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී අඩුවක් නොමැතිවම ලැබෙනවා.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා ට, ආගම් භේදයක් නැහැ. මොනම භේදයක්වත් නැහැ. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට බෞද්ධ බැතිමතුන් පමණක් නෙමෙයි, බෞද්ධ භික්ෂූන් වහන්සේලාත් ඇවිත් තියෙනවා. මේ කිසිවෙකුගේවත් ආගම වෙනස් කරවීමට තරම් පහත් තත්වයකට මේ අපොස්තුළු තුමා නොවැටුනේ, ඇත්තටම, සත්තකින්ම මේ නම් ‛අපොස්තුළු තුමෙක්ම’ නිසයි. අපොස්තුළු තුමෙකුට ආගම් භේදයක් නැහැ. අප ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ වචන වලට අනුව කෙටියෙන් කියනවානම්, අපොස්තුළු තුමෙකුට ‛ආගමක්’ නැහැ. අපොස්තුළු තුමෙකුගේ ආගම හදවතේ ආගමයි.’