ළදරු ජේසූ තුමන් දේව මාළිගාවෙහි ඔප්පු කරනු ලැබීම ලොව පුරා ක්‍රිස්තියානි ජනතාව සමරනු ලබන්නේ පෙබ්‍රවාරි 2 වෙනි දිනය. මනුෂ්‍ය වර්ගයා උදෙසා දිව්‍යමය සේවාවක් ඉටුකරනු පිණිස ලෝකයට වැඩම කල ජේසූ තුමා දේව මාලිගාවෙහි, නිර්මල කන්‍ය මරිය මෑණියන් අතින් ඔප්පු කරනු ලැබීම සමරණ දිනයේ මෙලොව උපන් අති උත්තම රොහාන් ලලිත් අපෝන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් වෙතින්ද අද ජනතාවට සිදුවන්නේ දිව්‍යමය සේවයකි. උන්වහන්සේ වෙතින් පිහිට පතන්නෝද, පිහිට ලබන්නෝද, මෙය හොඳාකාරවම දනිති. පෙබ්‍රවාරි 1 වෙනි දින හරියටම මධ්‍යම රාත්‍රී 12 ට (එනම් පෙබ්‍රවාරි 2 වෙනි දිනට උදාවත් සමගම) මෙලොවට ජනිතවු අප ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා, අද වැනි කාලයකට විශේෂයෙන්ම අවැසි උත්තමයෙකි.

 

මරිය තුමීට ගැති, එමෙන්ම එතුමියට ලැදි ජනයාගේ සිත් තුලින් මරිය තුමී වෙත ආදරය, ගෞරවය, භක්තිය, සදහටම අතුගා දැමීමට, එක්තරා පිරිසක් බයිබලයද කිහිල්ලේ රුවාගෙන දරන්නාවු වෑයම නිශ්ප්‍රභා කිරීම සඳහාත්, ජේසූ තුමන් වදාළ උතුම් සත්‍ය ධර්මය ජනතාවගෙන් වසන් කර, තමන් විසින්ම නිශ්පාදිත ධර්මයක් ජන හදවත් තුල ගොනු කරවීමට උත්සහ දරණ තවත් පිරිසකගේ දුෂ්ඨ වෑයම අතුගා දැමීම පිණිසත්, ජේසූ තුමන් සහ මරිය තුමී විසින් තෝරා අපට ලබා දුන් ජීවමාන දේව තිළිණය වන අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ට, මරිය බැති, මරිය ගැති, එමෙන්ම ක්‍රිස්තුස් වහන්සේ වදාළ ධර්මය පිරිසිදු ලෙසත්, බොරුවෙන් තොරව සත්‍ය ලෙසත්, දැනගැනීමට කැමති සෑම කිතුණු පැවිද්දෙක්ම, ගිහියෙක්ම, සදා ණයගැති විය යුතුය. ශුද්ධෝත්තම අපෝස්තලික පියතුමා නිසා අද මරිය තුමීගේ බලය දිළිසෙයි, ජේසූ තුමන් වදාළ ධර්මය අපට තේරුම් ගත හැකි ආකාරයට බැබළෙයි. බයිබලය කිහිල්ලේ ගසාගෙන ගෙදරින් ගෙදරට ඇවිදින්නන්, මරිය තුමී නිකම්ම නිකම් කාන්තාවක් බවට ඇදබාන බේගල් කථා, විකාර කථා බව, අප ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ කටයුතු නිසා තහවුරු වී ඇත.

 

ළදරු ජේසු තුමන් ජෙරුසලෙම් දේව මාලිගාවෙහි පුද කරන්නට රැගෙන ගිය විට, සිමියොන් නැමැති බැතිමත් මනුෂ්‍යයෙක් ශුද්ධාත්මානුභාවයෙන් ජේසූ තුමා ගැන අනාවැකි කිහිපයක් මරිය තුමියට කිවු බව ලූකස් තුමාගේ සුවිශේෂයෙහි සදහන් වේ. ‛‛මේ දරුවා ඉශ්රායෙල් හි බොහෝ දෙනකුගේ වැටීම හා නැඟීම පිණිසත්, ප්‍රතික්ෂේපයට ලක්වන දේව සලකුණක් වන පිණිසත් නියමව සිටී.’’(ලූක් 2/34) දැනට අවුරුදු දහස් ගණනකට පෙර පෙබ්‍රවාරි 2 වෙනිදාවක සිමියොන් තුමා, ළදරු ජේසූ තුමන් ගැන ප්‍රකාශ කරන ලද එම අනාවැකිය, එදා සිට ගෙවී ගිය තවත් අවුරුදු දහස් ගණනකට පසු පෙබ්‍රවාරි 2 වෙනිදාවක සිදුවු අප ශුද්ධෝත්තම අපොස්තලික පියතුමාණන්ගේ උපන් දිනය සමගම ඇත්තෙන්ම ගැලපෙයි.

 

ධනවත් පවුලක උපත ලබා, උපතින්ම විශාල ධනයකට හිමිකම් ලබා තිබුණ අප ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා, මා පිය උරුමයෙන් ලද දේපොල තව තවත් වැඩි දියුණු කර ගැනීම පිණිස තම ඥාණය මෙහෙයවා කටයුතු කලානම්, මෙතුමා අද සමාජයේ මහා ධනවතකු වනවා නොඅනුමානය. පූජක සේවයට ඇතුලත් වන්නාවු ඇතැමුන් ටික කලකදී, බැතිමතුන්ගේ පක්‍ෂුරු මුදල්වලින්ම මහා ධනවතුන් බවට පත්වන යුගයක, මා පිය උරුමයෙන් ලත් දේපොල, ජේසූ තුමන්ට සහ මරිය මවුන්ට කැපකර, මරිය තුමියගේ නිර්මල හෘදයටත්, ජේසූ තුමන්ගේ දිව්‍ය හෘදයටත්, සැනසීම පිණිස ජනතාවට කරන මහා සේවාව නිසාම, අප ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා, බොහෝ දෙනෙකුගේ වැටීම හා නැඟීම පිණිසත්, ප්‍රතික්ෂේපයට ලක්වන දේව සලකුණක් වන පිණිසත් නියමව සිටින බව, ඔබටත් අපටත් රහසක් නොවෙයි නේද?

 

ජේසූ තුමන්ගේත්, මරිය තුමීගේත් විශේෂ තෝරාගැනීමක් වූ අප ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ට ක්‍රෝධ කරන, වෛර කරන, ඊර්ෂ්‍යා කරන ගිහි මෙන්ම පැවදි පිරිසද සිටින බව අමුතුවෙන් කිව යුතු නොවේ. මීට පෙර නිකුත් වී ඇති ‛‛එඩේරා’’ පත්‍ර කියවන විට, එවැනි අවිචාරවත් පුද්ගලයන් පිලිබඳ තොරතුරු අනාවරනය වේ. මෙවැනි අශික්ශිත ක්‍රියාවන් ගැන කිව හැක්කේ කුමක්ද? සාමය ගැන, සහෝදර ප්‍රේමය ගැන, ලොවට දෙසු ජේසූ සමිඳුන්ගේ ධර්මය තුලම, මෙවැන්නෝ මෙවැනි ක්‍රියා කිරීමෙන් ඇද වැටී ඇත. වැදගත් වූ සහ මනුෂ්‍යත්වයට තරම් වූ දේ නොකිරීමෙන්, මනුෂ්‍යත්වය ඉදිරියේ එවැන්නෝ ඇද වැටී සිටිති.

 

දමස්කස් නුවරදී ජේසූ තුමන්ගේ දර්ශණය වීම, ලූර්දුවේදී, පාතිමාවේදී දෙව් මවුන් දර්ශණය වීම, ශුද්ධවු අන්තෝනි මුනිඳුන්ගේ හස්තයට ජේසූ බිළිඳුන් වැඩම කිරීම වැනි අද ඉතිහාසයට එක් වී ඇති කරුණු සාවධානව, මධ්‍යස්ථව විග්‍රහකර, එම දර්ශණ ඉතිහාසයන්ගෙන් පාඩම් ඉගෙන ගැනීමට හැකියාවක් ඇති අය ඉගෙන ගෙන ඒ අනුව අප ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් ගැනද කල්පනා කරති, උන්වහන්සේට සහයෝගය දක්වති, එම දර්ශණ ඉතිහාසයේ කරුණු විග්‍රහ කර ගැනීමට බැරිව සමහරු ඔලමොට්ටල විදියට වැඩ කරති, කථා කරති, ඇද වැටෙති.

 

ඇත්තෙන්ම අප ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ සේවාවන්, ආශිර්වාදයන් බොහෝ දෙනෙකුගේ නැඟීම පිණිසත් හේතු වී තිබේ. දෙවිඳුන්ගෙන්ම තමන් සතු වූ දුර්ලභ ඝනයේ ‛‛ශුද්ධවු උත්තම අපොස්තලික බලය’’ මෙතුමාණෝ අප ජනතාව වෙනුවෙන් මුළුමනින්ම කැප කර ඇත. ආගම් භේද, ජාති භේද, පක්ෂ භේද, නොතකා, නොබලා, අප ශුද්ධෝත්තම අපොස්තලික පියාණන් කරන්නාවු සේවය, එය ලබා ගැනීමට කැමති සෑම සියළු දෙනෙකුටම ඵලදායකය.

 

අප ශුද්ධෝත්තම අපොස්තලික පියතුමාණන්ගේ ආශිර්වාදය නිසා, ඇද වැටෙන්නට ගිය ජීවිත නැගී සිටියහ. ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් වෙත විශ්වාසය තබා පිහිට පැතූ දහස් ගණන් ජනතාව රැකවරණය ලැබුහ, අස්වැසිලි ලැබුහ, ආරක්ෂාව ලැබුහ, නැඟී සිටීමට වාසනාව ලැබූහ. මෙලොව පව්කාර මිනිසුන් අතරින් අපොස්තුළුවරය වෙත නැගී සිටීමට, ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ට අත දුන්නේ ජේසූ තුමා සහ මරිය තුමියයි, එම නිසා එය බොහෝ දෙනෙකුගේ නැඟීමට හේතු විය.

 

ධර්මයෙන් ඈත් වී පාපයට වැටී සිටි අය පාපය හැරදා නැඟී සිටියේත්, දුකට වැටී සිටි අය සහනය කරා නැඟී සිටියේත්, රෝග වලින් පීඩිත වූවන් සුවය කරා නැඟී සිටියේත්, අසරණවුවෝ සැනසුම කරා නැඟී සිටියේත්, ජේසූ තුමා සහ මරිය තුමී අපට දුන් අපගේ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා නිසා නොවේද? මේ නිසාම අති උත්තම රොහාන් ලලිත් අපොන්සු නම් වු අප ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ව, මේ අපගේ ජීවමාන අපොස්තුළු තුමන්ව, ශුද්ධවු වස්තුවක් ලෙසින් අගය කරමු, රැකබලා ගනිමු.

 

 

ඩබ්ලිව්. අශෝක් ප්‍රනාන්දු

මීගමුව