මෙම ලිපිය ලියන මා මෙහි ආරම්භයේදීම ඔබ සියළු දෙනා වෙත අප ආදරණීය දෙවි මහෝත්තමයාණන් විසින් උන්වහන්සේගේ එකම පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව මේ මුළු ලෝකයටම ප්‍රකාශ කළ අවස්ථාවක් පිළිබඳව මතක් කිරීමට කැමැත්තෙමි. එනම් අප ආදර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, ස්නාවක ජුවාම් තුමා වෙතින් ප්‍රසාද ස්නාපනය ලැබූ අවස්ථාවේදී, ශුද්ධාත්මයාණන් වහන්සේ පරවියකු විලාශයෙන් උන්වහන්සේ පිට වැඩම කිරීමත්, ඒ සමගම, ඬඬඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝය: ඔබ කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමිඬඬයි (ලූක් 3/22) හක්‍ෂක් මුළු ගුවන් තලය පුරාම විසිර යාමේ සිද්ධියයි. මෙම සිදුවීම මඟින් සර්වබලපරාක්‍රම දෙවි මහෝත්තමයාණන් වහන්සේ ප්‍රසිද්ධියේම තම පුත්‍රයාණන්ව, එනම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව ලෝකයට ප්‍රකාශ කල බව ඉහත සුවිශේෂ පාඨය මඟින් අපට අවබෝධ වේ. මෙම සිද්ධිය සිදුවී මේ වකවානුව වන විට අවුරුදු දෙදහස් ගණනක් ගත වී ඇති අතර, සැබෑ ක්‍රිස්තු භක්තිකයන් වන අප, මෙම අවුරුදු දෙදහස් ගණනකට පෙර වූ සිද්ධිය පිළිබඳව දැඩි විශ්වාසයක් හා ගෞරවයක් දක්වන්නෙමු. මා මේ ලිපිය මඟින් ඔබ සියළු දෙනාට ප්‍රකාශ කිරීමට සූදානම් වන්නේ එම සිද්ධියේ ඇති ඇත්ත නැත්ත බව හෝ එය එසේ සිදු වූයේ කෙසේද යන්න බව හෝ එය මා සියැසින් දුටු බව යන්න නොවේ. මීට වසර දෙදහස් ගණනකට පෙර එම සිද්ධිය එසේ සිදු වුනත් මේ නූතන සහස්‍රයේදී ද, ඒ හා සමාන සිද්ධීන්, හාස්කම් හා ප්‍රකාශ කිරීම් මේ නවීන ලෝකය තුල සිදුවන බවත්, ඒ පිළිබඳව මා සාක්ෂි දරණ බවත් මෙම ලිපිය කියවන ඔබ මේ පිළිබඳව මීට පෙර අසා නැතිනම්, මේ පිළිබඳව ඔබගේම ඇස් දෙකෙන් දැක බලාගෙන, ඔබගේ ජීවිතයට පිහිට වරප්‍රසාද ඒකරාශි කරගෙන ඔබගේ ද ජීවිතය සාර්ථක කර ගැනීමට හැකියාවක් ඇති බව ප්‍රකාශකිරීමටය.

 

මා විසින් ඉහත සඳහන් කළ විස්තරය ඔබට ප්‍රශ්ණාර්ථයක් ඇති කරන නිසා, එය මේ ආකාරයට තේරුම් කර දීමට මා කැමැත්තෙමි. එනම් එදා කල්වාරියේදී ක්‍රිස්තුස් වහන්සේව කුරුස පත් කළ විට උන්වහන්සේ සිය දෑතෙහි දැරුවාවූ ශ්‍රී වණ කැලැල් මගේ මේ දෑසින්ම දැක ඇති බවක් මා කිවහොත් එය ඔබට විශ්වාස කළ හැකිද? ඇත්තෙන්ම මෙය මා පමණක් දුටු දෙයක් නොවේ. මෙය මා ඇතුළු කටුණායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ 2007 වසරේ පාස්කු සමයෙහි දිව්‍ය පූජාවන්ට පැමිණියා වූ සියළුම බැතිමතුන්ට හා වන්දනාකරුවන්ට දැකගත හැකිවූ සිද්ධියක් විය. එනම් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට ජේසුස් ක්‍රිස්තුස්වහන්සේම පැමිණ, උන්වහන්සේ විසින්ම පත් කරනු ලැබූ අපොස්තුළු තුමන් වන, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ගේ සුරතෙහි, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී වණ කැළැල් දරා සිටි බව, මා ඉහත ප්‍රකාශ කළ ආකාරයට 2007 වසරේ පාස්කු සමයේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දේව මෙහෙයන්ට පැමිණි සියළුම බැතිමතුන්ට හා වන්දනාකරුවන්ට ඔවුන්ගේම දෑස් වලින් දැක ගැනීමට හැකි විය.

 

මා විසින් ඔබගේ කුතුහලය අවුස්සමින් සඳහන් කළා වූ සිද්ධිය මෙයයි. 2007 මාර්තු 17 වෙනි දින ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් පවත්වනු ලැබූ දිව්‍ය පූජාව ආරම්භ කිරීමට පෙර, ශබ්ද විකාශණ මඟින් නිකුත් කරනු ලැබුවේ, එදා රැස්ව සිටි පිරිස් පුදුම කරවන ආකාරයේ නිවේදනයකි. එනම් අප ශුද්ධෝත්තම අපොස්තලික පියතුමාණන්ගේ ශ්‍රී හස්තයන්හි, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ එදා කල්වාරි කඳු මුදුනේදී ලැබුවා වූ ශ්‍රී වණ කැලැල් දරා සිටින බවයි. එම නිවේදනය ප්‍රචාරය වූ මොහොතේ සිට, දිව්‍ය පූජාව පැවැත්වීමට ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා, ශුද්ධවූ පූජාසනයට පැමිණෙන තෙක්, නොඉවසිල්ලෙන් මා බලා සිටියේ උන්වහන්සේ විසින් දරා සිටින මෙම ශ්‍රී වණ කැලැල් දැක ගැනීමේ මහත් ආශාවෙනි.

 

දිව්‍ය පූජාව පුද කිරීම සඳහා ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා, ශුද්ධවූ පූජාසනයට පැමිණි අවස්ථාවේ දී, මා හට දැකගත හැකි වූයේ, උන්වහන්සේගේ ශ්‍රී හස්තයන්හි හරි මැද, රක්ත වර්ණයෙන් තිබෙන්නාවූ, කවාකාර හැඩයෙන් යුත් ශ්‍රී වණ කැලැල්ය. එමෙන්ම ඒ අවස්ථාවේදී මා හට දැකගත හැකි වූයේ එම වණ කැලැල් නිසා වේදනා විඳින උන්වහන්සේගේ දුක් භරිත ශ්‍රී මුහුණයි. මන්ද උන්වහන්සේ විසින් ශ්‍රී වණ කැලැල් ලබා තිබුණේ, මෙම දිව්‍ය පූජාව පැවැත්වීමට දින සතරකට පෙරය. උන්වහන්සේගේ මෙම වේදනාකාරී මුහුණ දුටු මා හට සිතුනේ, අනේ මෙය ප්‍රාතිහාර්‍යයක් වූවත්, මා ආදරණීය අපොස්තලික පියතුමන් විසින් විඳින්නේ අප්‍රමාණ වූ වේදනා නොවේද යන්නයි. එමෙන්ම එදා කස පහර කා, කටු ඔටුණු ලා, කල්වාරියේදී කුරුස ගසේ එල්ලී සිටියාවූ අප දයාබරයාණන් වහන්සේ කොපමණ වේදනාවක් විඳින්න ඇත්ද යන්න, මා ආදරණීය අපොස්තලික පියතුමා, එතුමාගේ ශ්‍රී හස්තවල දරා සිටින එම ශ්‍රී වණ කැලැල්වලින් දරන්නාවූ වේදනාව දැකීම තුලින් මා හට යම්තාක් දුරට අවබෝධ කරගත හැකි විය.

 

එමෙන්ම ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා දරා සිටින මෙම ශ්‍රී වණ කැලැල් හි අනෙකුත් පුදුම සහගත සිද්ධිය දැක ගැනීමටත් අසා ගැනීමටත් මා හට හැකි වූයේ ඉන් පසුවය. එනම් මහ බ්‍රහස්පතින්දා රාත්‍රියෙහි හා පාස්කු ඉරුදින උදයේය.

 

මහ බ්‍රහස්පතින්දා රාත්‍රියෙහි ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් විසින්, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියෙහි ස්ථාපිත දෙව් මවුන්ගේ ප්‍රතිමාව ඉදිරිපිට, එදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් පළමු මහ බ්‍රහස්පතින්දා රාත්‍රියේ සහ පළමු මහ සිකුරාදා දිනයේ වින්දාවූ වේදනාවන්, ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේම ශ්‍රී වචනයන්ගෙන් පටිගත කර, මහ බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිද්ධස්ථාන භූමියේ රැස්ව සිටි සියළුම දෙනාහට ශබ්ද විකාශණ මගින් ඇසෙන්නට සැලැස් වූ සේක. ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ද ශ්‍රී වණ කැලැල් දරාගෙන බැතිමතුන් අතරේ සිටිමින් ඊට සහභාගි වීමට පැමිණි සේක.

 

මට අමතක නොවන 2007 එම මහ බ්‍රහස්පතින්දා රාත්‍රියේ රැස්ව සිටි ජනතාව මැද ශ්‍රී වණ කැලැල් වලින් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා බලවත් ලෙස වේදනා විඳින්නට විය. උන්වහන්සේ වේදනාවෙන් කෑ ගසන අයුරු අප සියළු දෙනාටම දැකගත හැකි විය. උන්වහන්සේගේ ශ්‍රී වණ කැලැල් සහිත දෝත් ඉදිමී තිබුණ අතර, මුහුණ ද ඉදිමී තිබුණි. එම අවස්ථාවේදී මා උන්වහන්සේ ලඟින්ම සිටි අතර, උන්වහන්සේ දරන්නාවූ වේදනාවට, උන්වහන්සේට ලැබිය හැකි එකම සහනය උන්වහන්සේට ලබාගත හැකි වූයේ, එම ශ්‍රී වණ කැලැල්වලට අප විසින් පවන් සැලීම මඟිනි. මෙහිදී මෙම පවන් සැලූ පුද්ගලයන් අතර මා ද සිටි අතර, එම අවස්ථාවේදී මාගේ ඇස්වලට මා දුටුවේ, මාගේ ඇස් අදහාගත නොහැකි සිද්ධියකි.

 

එම අවස්ථාවේ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ වේදනාකාරි ශ්‍රී වණ කැලැල් මත පවන් සලමින් සිටි මා දුටුවේ උන්වහන්සේගේ ශ්‍රී හස්තයන් හි තිබුණාවූ, එම ශ්‍රී වණ කැලැල් තත්පර ගණනකට අතුරුදන් වන ආකාරයයි. මෙම අවස්ථාවේදී මා එය හොඳටම දුටුවේ, එම මොහොතේදී උන්වහන්සේගේ ශ්‍රී හස්තයන්ට පවන් සලමින් සිටියේ මා වන අතර, මාගේ නෙත් එක එල්ලේම උන්වහන්සේගේ ශ්‍රී වණකැලැල් මත යොමුවී තිබුණු හෙයිනි. තත්පර ගණනකින් උන්වහන්සේගේ ශ්‍රී වණ කැලැල් නැවත මතු වූ විට මා විසින් වටපිට බැලුවේ, අවට රැස්වී සිටි පිරිසද මෙය දුටුවේද යන්න පිළිබඳව සනාතකර ගැනීමට වන අතර, එවිට මා දුටුවේ මා අවට සිටි පිරිස ද ඒ බව දැක, තම ඇස් අදහාගත නොහැකි ආකාරයට, උන්වහන්සේගේ ශ්‍රී වණ කැලැල් මතත්, අවට සිටින පිරිස අතරත් පුදුමයෙන් බලන ආකාරයයි.

 

එමෙන්ම අප ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා දැරූ මෙම ශ්‍රී වණ කැලැල් පිළිබඳව ඊළඟ පුදුම සහගත සිද්ධිය මා හට අසා දැනගත හැකි වූයේ පාස්කු ඉරුදින උදයේ වන අතර, එම සිද්ධිය වූයේ, අප ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා දින ගණනාවක් තුල වේදනා විඳිමින් දුක් වින්දාවූ, ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී වණ කැලැල්, සම්පූර්ණයෙන්ම ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ ශ්‍රී හස්තයන්ගෙන් පාස්කු ඉරුදින උදයේ අතුරුදන් වී ඇති බවත්, උන්වහන්සේ ශ්‍රී වණ කැලැල් දැරීමට පෙර සිටියාවූ ආකාරයටම සාමාන්‍යයෙන් තම එදිනෙදා වැඩ කටයුතු කරන බවත්ය. මෙය ඇත්තටම දෙවි වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මැදිහත් වීම මත සිදු වුනාවූ ප්‍රාතිහාර්‍යයක් නොවේද? ඒ පිළිබඳව තීරණය කිරීමටත්, ඒ පිළිබඳව තව තවත් සොයා දැන ගැනීමටත් ඔබ හට භාර කරමි.

 

මෙම ලිපිය අවසාන කිරීමට පෙර, මා විසින් මෙම ලිපියේ පළමු පරිච්ඡේදයේදී සඳහන් කළ ශුද්ධ ලියවිලි පාඨයත්, ඉන්පසු මා විසින් විස්තර කරන්නට යෙදුනු ප්‍රාතිහාර්‍යාත්මක සිද්ධියත් පිළිබඳව සම්බන්ධයක් කිරීමට කැමැත්තෙමි. එනම් මීට වසර දෙදහසකට පමණ පෙර දෙවියන් වහන්සේ විසින් තමන්ගේ ඒක ජනිත පුත්‍රයාණන් පිළිබඳව ලොවට ප්‍රකාශ කිරීම සඳහා විවිධ ප්‍රාතිහාර්‍යයන් කරමින්, ඒ බව ලොවට සනාථ කිරීමට බොහෝ තැතක් දැරුවත්, එම ප්‍රයත්නය අවසාන වූයේ, තම ඒක ජනිත පුත්‍රයාණන් කුරුස ගසේ එල්ලී, මේ සකල ලෝක වාසීන් උදෙසා එතුමාගේ ප්‍රාණය පුද කිරීමෙනි.

 

එහෙත් අද තත්වය කෙසේද? මුළු ලෝකයම තවම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව නොපිළි ගත්තත්, ලොව පුරා උන්වහන්සේව පිළිගන්නන් විසිරී පැතිරී සිටිති. නමුත් උන්වහන්සේව මරා දැමීමෙන් පසු උන්වහන්සේව පිළිගැනීමෙන් ඇති ඵලය කුමක්ද? එමෙන්ම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයේ ශ්‍රී ලංකාව තුල, කටුනායක නගරයෙන් තෝරා පත් කරන ලද උන්වහන්සේගේ දස සතර වන අපොස්තුළු තුමන් මඟින්ද මා ඉහත සඳහන් කල ආකාරයේ හා තවත් නොයෙක් වූ ආකාරයේ ප්‍රාතිහාර්‍ය හා පිහිට වරප්‍රසාද ලබා දෙමින් එම අපොස්තලික පියතුමන්ව ඬඬමා විසින් පත් කරන ලදීඬඬ යන්න අපට ඒත්තු ගැන්වීමට උත්සහ දරණ අතර, ඒ පිළිබඳව විශ්වාසයක් හා භක්තියක් ඇති පුද්ගලයන්ට ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් මඟින් පිහිට වරප්‍රසාද ලබා දෙන සේක. නමුත් එම අපොස්තලික පියතුමන් ජීවත්ව සිටින සමයේ, උන්වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නියෝජිතයෙක් යන්න ඒත්තු ගැන්වීමට මෙතරම් කොතරම් ප්‍රතිහාර්‍ය සිදු කළත්, උන්වහන්සේ ගැන තැකීමක් නොකිරීමෙන්, මීට වසර දෙදහස් ගණනකට පෙර සිටි ජනතාව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට කලා හා සමානම දෙයක්, වර්තමාන නූතන සහස්‍රයේ ජනතාවත් කරනවා නොවේදැයි යන ප්‍රශ්ණය මතු කරමින්, ඒ පිළිබඳව සාවදානව බුද්ධිමත්ව සිතන ලෙස ඔබට ඇරැයුම් කරමි.

 

සශික සිල්වා

අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක