වම් පියයුරේ පිලිකාවක් ද සමගින් ඇය දර්ශණ ඉටිපහන් දැල්වූයේ ද පිලිකාව ඇති ස්ථානය තදින් පිලිස්සෙන බවක් ඇයට දැනුනේ ද මෙම දෙව් මවු ප්‍රතිමාව ඉදිරිපිටයි. සෑම සෙනසුරාදාවකම සවස මෙම ප්‍රතිමාව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී දැකගත හැකියි

 

අප ආදරණීය නිර්මල කන්‍ය මරිය මාතාවන් විසිතුන් වාරයක් දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දේව මෙහෙයන් සදහා මමත්, මගේ පවුලේ සියල්ලනුත් සහභාගි වන්නේ අවුරුදු 13 ක කාලයක සිටයි. අද ලොව ජීවත් වන එකම අපොස්තුළුතුමා ජීවමානවම වැඩ වසන මෙම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී උන්වහන්සේ පවත්වන දේව මෙහෙයන්ට සහභාගි වීමෙන් සහ උන්වහන්සේගෙන් ලැබෙන ආශිර්වාදයෙන් අපගේ ජීවිතවල නව පිබිදීමක් සිදුවූ අතර, අපගේ ව්‍යාපාරික කටයුතු ද දිනෙන් දිනම වැඩි දියුණු වන්නට විය.

 

නිර්මල කන්‍ය මරිය තුමිය ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ට දර්ශණය වී ඇත්තේ කහ පැහැති රෝසමල් 123 ක් මතයි. මේ බව සිහිපත් කිරීම සදහා, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට යන බැතිමතුන් රෝසමලින් නිපද වූ දර්ශණ ඉටිපහන් දල්වනු ලබයි. සෑම සතියකම සෙනසුරාදා සවස හාස්කම් යාච්ඤාව ආරම්භයේ දී ම, බැතිමතුන් දර්ශණ ඉටිපහන් දල්වන අතර, මෙම සිද්ධස්ථානයේ දී ලැබූ ආශිර්වාදයෙන් මාගේ ව්‍යාපාරික කටයුතු නොසිතූ ලෙස දියුණුවීම නිසා, එකම දිනයක හාස්කම් යාච්ඤාව ආරම්භයේ දී ම දර්ශණ ඉටිපහන් 123 ක් එක් වරම දල්වා, කටුනායක අප නිර්මල මෑණියන්ට උපහාර දැක්විය යුතු යයි මම සිතුවෙමි.

 

දර්ශණ ඉටිපහන් 123ක් එක් සෙනසුරාදා දිනයක එක විටම දැල්වීමට මගේ සිත තුල තිබුණ ආශාව සිද්ධස්ථාන පාලක මණ්ඩලය වෙත දැනුම් දුන්නෙමි. ඒ සදහා මට දිනයක් ලබා ගත හැකි වූව ද එය තරමක් දීර්ඝ දිනයක් විය.

 

නියමිත දිනය එනතුරු මා මහත් ආශාවෙන් බලා සිටින අතරේ, මා නොසිතූ රෝගයක තොරතුරු ඉස්මතු වන්නට වී, වෛද්‍ය වාර්තාවන්ගෙන් සහ වෛද්‍යවරුන්ගෙන් ද ඒ භයානක රෝගය තහවුරු විය. එනම් මගේ වම් පියයුරේ පිළිකාවක් ඇති බවයි. මෙය කාලයක සිට කුඩා ගෙඩියක් ලෙස පැවති අතර එය මා කිසිවෙකුටවත් කීවේ නැත. එය ක්‍රමයෙන් විශාල වෙමින් කළු පැහැ ගැන්වෙමින් පැවති අතර ක්‍රමයෙන් වේදනා දෙන්නට වූ නිසා, වෛද්‍යවරයෙකුට පෙන්වා බැලූ අතර, ඔහුගේ උපදෙස් මත මේ පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වා, එම විශේෂඥ වෛද්‍යවරයාගේ නියමයට අනුව ගනු ලැබූ ස්කෑන් පරීක්ෂණ සහ වෙනත් වෛද්‍ය වාර්තා අනුව මගේ වම් පියයුරේ පිළිකාවක් ඇති බවට තහවුරු විය. මේ සදහා ශල්‍යකර්මයක් කල යුතු බව වෛද්‍ය නිගමනය වූව ද, මේ බව දැනගැනීමෙන් පසු මම මහත් අපහසුතාවයට පත් වූවත්, මම කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානය ගැන දන්නා නිසා ම එය මට මහා බලාපොරොත්තු ඇති කරවන්නට සමත් විය. මගේ මේ සුව කල නොහැකි රෝගී තත්වය ගැන මටත් වඩා පීඩාවට පත් වූයේ මගේ මවයි. ඒ නිසාම තවත් වෛද්‍යවරුන් වෙත ගොස් ඔවුන්ගේ උපදෙස් අනුව කරනු ලැබූ සියළුම පරීක්ෂණවලින් තහවුරු වූයේ, මගේ වම් පියයුරේ පිලිකාවක් වර්ධනය වෙමින් පවතින නිසා, ඉතා ඉක්මනින් ශල්‍යකර්මයක් කල යුතු ම බවයි.

 

මේ අතර සෑම සෙනසුරාදාවකම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පැවැත්වෙන හාස්කම් යාච්ඤාවට සහභාගි වෙමින් මා නිර්මල කටුනායක මෑණියන්ගෙන් ඉල්ලා සිටියේත්, එතුමිය පාමුල රතු පෙට්ටියට ලිපි ලියා දැමුවේත් මාගේ පිලිකාව සම්පූර්ණයෙන්ම සුවපත් කර දෙන ලෙසයි. මීට පෙර ද කටුනායක මෑණියන්ගේ පිහිටෙන් සහ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ආශිර්වාදයෙන් සුවපත් වී ඇති පිලිකා රෝගීන් කීප දෙනෙකු ගැනම මා දන්නා නිසා එතුමිය මටත් සම්පූර්ණ සුවය ස්ථීරයෙන්ම ලබා දෙන බව මම තරයේ ම විශ්වාස කලා.

 

මේ අතර දර්ශණ ඉටිපහන් 123 ක් දැල්වීම සදහා මගේ සිත තුල තිබුන ආශාවට අනුව ඒ සදහා දිනය ද ලගා වුනා. එම අවස්ථාව මට විශාල සතුටක් ඇති වූ මොහොතක් ලෙසට මම අදටත් සිහිපත් කරන අතර එම අවස්ථාවේ දී මම සම්පූර්ණ සුවය ලද බවට මම අදත් තරයේ විශ්වාස කරන්නේ, එම දර්ශණ ඉටිපහන් 123 දල්වන වෙලාවේ මගේ ශරීරයේ පිලිකාව ඇති ස්ථානයේ සිදු වූ කිසියම් දැනීමක් නිසයි.

 

ඒ කුමක් දැයි කියනවානම්, මේ වන විට සෑම සෙනසුරාදාවකම ජීවමාන සංඥාවන් දැක ගැනීමට ලැබෙන නිර්මල මරිය මාතාවන්ගේ ප්‍රතිමාව පාමුළ ඉටිපහන් 123 දල්වන අවස්ථාවේ මාගේ වම් පියයුරේ පිලිකාව ඇති ස්ථානයේ ඇතුලතින් පිළිස්සෙනවාක් වගේ තද දැවිල්ලක් ඇති උනා. ඉටිපහන් 123 දල්වන්නට තරමක වේලාවක් ගිය නිසා, එම වේලාව තුල අඩුවෙමින් වැඩිවෙමින් මේ දැවිල්ල තිබුණා. නිර්මල මරිය තුමී මගේ පිලිකාව සුවපත් කරමින් සිටිනවා යයි මට ලොකු ම ලොකු විශ්වාසයක් ඇති උනා. ඉටිපහන් 123 දල්වා අවසන් කලාට පසුව, පිලිකාවේ දැවිල්ල සම්පූර්ණයෙන්ම නතර උනා.

 

පිච්ච මල් සුවද පැතිරෙන ලොව එකම දෙව් මවු ප්‍රතිමාව ඊට දින කීපයකට පසුව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ප්‍රදර්ශණය කිරීමට නියමිතව තිබුනා. එමනිසා එම ප්‍රතිමාවත් සිපාචාර කර, නැවතත් වෛද්‍යවරුන් සමුවිය යුතු යයි මම සිතුවා. ඒ අනුව පිච්ච මල් සුවද පැතිරෙන ලොව එකම අසිරිමත් දේව මාතා ප්‍රතිමාව ද සිපගෙන ඊට පසුදින විශේෂඥ වෛද්‍යවරයා සමු වී මගේ රෝගී තත්වය නැවත පරීක්ෂා කර ගත යුතු යයි පවසා, ඒ සදහා කටයුතු සලස්වා ගත්තා.

 

පරීක්ෂණ අවසන් උනා. මුලින්ම කලේ ස්කෑන් පරීක්ෂණයක්. පිලිකාවක් නැති බව තහවුරු උනා. අනික් සියළුම වෛද්‍යවාර්තාවලින් ද කියවුනේ පිලිකාවක් නොමැති බවයි. වෛද්‍යවරයා පුදුමයට පත් උනා. මොනවද කලේ ඇසුවා. මම සියළු විස්තර කිව්වා. මීට පෙරත් ඔහුගේ රෝගියෙක් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සනීප වෙලා තියෙනවා කියලා වෛද්‍යවරයා කිව්වා. කලින් මාව බලපු තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් සමුවී ඔහුත් සියළු පරීක්ෂණ මුල සිට අගටම කෙරුවා. ඔහු කිව්වෙත් දැන්නම් පිලිකාවක් නැහැ කියලයි. මොනවද උනේ කියලා, ඔහුත් විස්තර ඇසුවා. මම සියල්ලම කිව්වා. මේ වගේ කතාවක් ඔහු ඇසුව පළමු අවස්ථාව මෙයයයි කිව්වා.

 

රෝගී තත්වයේ දී ගනු ලැබූ සියළු වෛද්‍ය වාර්තා මෙන්ම පිලිකා තත්වයේ රූප සටහන් ද, සුවය ලැබීමෙන් පසු ගනු ලැබූ සියළු වෛද්‍ය වාර්තා මෙන්ම රූප සටහන් ද, මෙම ලිපියට අමුනා කටුනායක නිර්මල මෑණියන්ට ද ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට ද භාර කරමි.

 

කහ පැහැති රෝස මල් 123 ක් මත කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී දර්ශණය වූ නිර්මල මරිය මාතාවෝ දර්ශණ ඉටිපහන් දැල්ලෙන් මාගේ පිලිකාව පුළුස්සා දැමූ සේක.

 

මනෝජි ඩයස් – ජාඇල