Mariyahanda

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී මේ වන විට විසිතුන් වතාවක් නිර්මල කන්‍ය මරිය තුමියව දැක ගැනීමට පමණක් නොව එතුමිය සමගින් කතා කිරීමට ද වාසනාව ලද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා නිර්මල මරිය මෑණියන්ගේ පිහිට සුවය පතා හාස්කම් යාච්ඤාව උච්ඡාරණය කරත් දී බැතිමතුන් තම ඉල්ලීම් ලිවූ පත්‍රිකා උඩට ඔසවාගෙන දෙව් මවුන්ගේ කරුණාව අයදින අයුරු

 

අප්‍රියල් 29 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ සුරතින් දේව මෑණියන්ට ඔටුණු පැළදවීමේ දේව මෙහෙයට මා සහභාගි වූ අතර, එම සිද්ධස්ථානයට මා ගිය ප්‍රථම අවස්ථාව ද එයයි. fb එකෙන් කියා තිබුන පරිදි මගේ හිතේ ඇති ලොකුම ගැටළුව මා ලියාගෙන ගියා. දේව මෙහෙය අවස්ථාවේ එම ඉල්ලීම උඩට ඔසවන්න කියලා කිව්ව වෙලාවෙ එහෙම කලා. ශුද්ධෝත්තම අපොස්තුළුතුමා අපගේ ඉල්ලීම් වෙනුවෙන් මරිය තුමියට යාච්ඤා කලා. මෙහෙය අවසානයේ මගේ ඉල්ලීම ලිවූ කොලය මම දේව අම්මා පාමුල පෙට්ටියට දමා ගෙදර ආවා. මම ලිව්වේ මෙයයි. ‛‛ආදර ජේසු අම්මේ ලක්ෂ දෙකක මගේ නය බරින් මාව නිදහස් කරන්න.’’

 

පසුදා අප්‍රියල් 30 වෙනිදා උදේ මගේ මිතුරෙක් අපේ ගෙදර ආවා. පන්තියේ එකට හිටපු යාළුවෙක්. මිනිහා ඉන්නේ ඉතාලියේ. නිවාඩුවකට ගෙදර ඇවිල්ලා. හදිසියේම මාව මතක් වෙලා මාව හොයාගෙන ඇවිල්ලා. අවුරුදු පහකට පසුවයි මට හමුවුනේ. අපි දෙන්නා කතා කර කර ඉන්න අතරේ මගේ තොරතුරු අහද්දී, මගේ නය බර ගැන මම යාළුවාට කිව්වා. ඔහු එකපාරටම ‛‛හරි හරි උඹ කල්පනා කරන්න එපා. මම උඹට ලක්ෂ දෙකක් හෙට ගෙනත් දෙන්නම්’’ කියලා කිව්වා. ඇත්තටම විශ්වාස කරන්නත් අමාරුයි.

 

අද මැයි 1 වෙනි දා සවස මගේ මිත්‍රයා රුපියල් ලක්ෂ දෙකක් අරගෙන අපේ ගෙදර ආවා. ‛‛මේක අරන් උඹ නයෙන් නිදහස් වෙයන්’’ කියලයි මට කිව්වේ. මම මිතුරාට කිව්වා මම ටික ටික නය බේරන්නම් කියලා. ඒ වුනත් ඔහු කිව්වේ, ‛‛උඹට පුළුවන් වෙච්ච දවසක දීපන්. හැබැයි උඹ නයකාරයෙක් කියලා ලොකුවට හිතන්න එපා’’ කියලයි.

 

මම රෑ කෑමට මිත්‍රයාව තියා ගත්තා. ඔහු පිටත් වෙලා ගියාට පස්සේ මම හිතුවා මුලින්ම මේ ගැන කටුනායක සිද්ධස්ථානයේ fb එකට දාන්න ඕනා කියලා. මගේ නය බරින් නිදහස් කරන්න කියලා සෙනසුරාදා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ හාස්කම් යාච්ඤාවේ දී මා කල ඉල්ලීම, මා ලියාගෙන ගිය ඉල්ලීම, මගේ ඉල්ලීම ලියාගෙන ගිය කඩදාසි කැබැල්ල, හාස්කම් යාච්ඤාව කරත්දී එය උඩට ඔසවාගෙන හිටපු ආකාරය, ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ඒවා ආශිර්වාද කරපු ආකාරය, ඔටුණු පැලදූ දෙව් මවු ප්‍රතිමාව දෙස බලාගෙන මගේ ඉල්ලීම පෙට්ටියට දමපු ආකාරය, මේ සියල්ලක් මට මතක් වුනා.

 

ලක්ෂ දෙකක් තියා රුපියල් දෙකක්වත් කෙනෙකුට දෙන්න හිතෙන්නෙ නැති සමාජයක් මේක. කොහොම හරි මගේ මිත්‍රයාට රුපියල් ලක්ෂ දෙකක් දෙන්න හිත දුන්නා. අවුරුදු ගණනාවක සිට මේ නය නිසා මම කුනු බැනුම් ඇසුවා. අවසානයේ මම කටුනායක අප ස්වාමිදූගේ හාස්කම් සිද්ධස්ථානයට ගිහිල්ලා මගේ දුක ලියලා පූජා කෙරුවා. ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ආශිර්වාදය මගේ ඉල්ලීමට ආශිර්වාද කලා. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ජේසු අම්මාගේ ප්‍රතිමාවට ඔටුණු පලදලා පැය 24ක් යන්ඩත් කලින් මගේ ප්‍රශ්ණය විසදුනා. මට පිහිට ලැබුනා, මට පිහිට ලැබුනා, මට පිහිට ලැබුනා.

 

 

ෂෙනාන් ද සිල්වා – රාජගිරිය