මෙම ප්‍රාතිහාර්යය සිදුවු 2018 මාර්තු 10 වෙනි සෙනසුරාදා දින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් ද සමගින් අළුත්ම හාස්කම් යාච්ඤාව සැදැහැවතුන් උච්චාරණය කරනු ලැබූ පසුව මෙම ප්‍රාතිහාර්‍යය පිළිබදව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දැනුම් දෙනු ලැබූ අවස්ථාවයි මේ

 

මම වැන්දඹු අම්මා කෙනෙක්. මට ඉන්න එකම දරුවා පුතෙක්. මේ පුතාට වයස අවුරුද්දේදී මගේ ස්වාමියා හදිසි අනතුරකින් මිය ගියා. ඊට පස්සේ මම මේ පුතාව හදා ගන්න බොහෝම දුක් වින්දා. දරුවත් අරගෙන ගෙවල්වල වැඩට ගියා. පස්සේ ඒ ලැබෙන මුදලින් ටික ටික එකතු කරලා මහන මෙෂින් එකක් අරගෙන පුතාවත් බලාගෙන ගෙදර ඉදලා මැහුම් පටන් ගත්තා. ඒ සමහර දවස්වල මම තේ වතුර බීලා බඩගින්න නිවා ගත්තා. ඒ සල්ලි නැති නිසා. නමුත් මගෙ පුතාට මම වේල් තුනම බඩ පිරෙන්න කන්න දුන්නා. පුතා ටික ටික ලොකු මහත් වුනා. එයාට මම නිදහසේ හැදෙන්න ඉඩ දුන්නා. රැකියාවක් කරන්න කියලා මම කවමදාකවත් කිව්වේ නෑ. පුතාට දැන් අවුරුදු 25 ක්. අදටත් මම ඇදුම් මහනවා. වයස අවුරුදු 18 ඉදලා පුතා මත් වතුරට ඇබ්බැහි වුනා. මුල දී ටික ටික බීලා එන්න පටන් ගත්තා. මම කවමදාකවත් සැර කරලා නැහැ. ගහලා නැහැ. මම පුළුවන් තරම් හොදින් කිව්වා. බේරගන්න බැරුව ගියා. පස්සේ පස්සේ මගෙන් බලහත්කාරයෙන් සල්ලි ඉල්ලන්න පටන් ගත්තා. සමහර දවස්වලට බීගෙන ඇවිත් මාව ඇදගෙන ගිහිල්ලා බිත්තියට තියලා තද කරලා බෙල්ල මිරිකනවා. දවස් ගනනාවක්ම මගේ කම්මුලට ගහලා තියනවා. ඔළුවට ගහලා තියනවා. මම තියන සල්ලි දෙනවා. මම කන්නේ නැතුව පුතාට උයලා තියලා කන්න දෙනවා. සමහර දවස්වලට කෑම විසි කරනවා. ඒ එයා බීලා යාළුවොත් එක්ක හොදට කාලා ඇවිදින්. මම බඩගින්නේ. මට විදින්න සිදුවුන ඒ අප්‍රමාණ කරදර මම කාටවත් කිව්වේ නැහැ. මම පුතාටවත් කිසිම දෙයක් කිව්වේ නැහැ. උදේට පුතාට කිසිම දෙයක් මතක නැහැ. උදේට හරිම හොදයි. බී ගත්තහම තමයි මේ ඔක්කොම. මේ හැම දෙයක්ම මම හෙලිකරන පළමුවෙනි අවස්ථාවයි මේ. පුතාගේ මේ බීමත්කම නැති කර ගන්න මම ගොඩක් දේවල් කලා. යන්න තියන හැම තැනකටම ගියා. අවසානයේ මම ගියේ කටුනායක මහා හාස්කම් සිද්ධස්ථානයටයි. එතනින් එහාට ආයෙනම් කොහාටවත් යන්නේ නැහැ කියලා මම හිතුවා. කටුනායක මෑණියන්ගේ හාස්කම් අහපුවහම විශ්වාසයක් ඇත්නම් කාටත් හිතෙන්නේ එහෙම තමා. මම සති නවයක් හාස්කම් යාච්ඤාවට සහභාගි වුනා. මේ සති නවය අතර සතියේ දවස්වලත් මම කටුනායක මෑණියන්ගේ හාස්කම් සිද්ධස්ථානයට ගිහිල්ලා දර්ශණ භූමියේ දණ ගහගෙන මගේ දුක දේව මෑණියන්ට කිව්වා. අටවන සතියේ සෙනසුරාදා ශුද්ධෝත්තම අපොස්තුළුතුමා කිව්වා ඊට පසු සෙනසුරාදා උන්වහන්සේ ලියපු අළුත්ම හාස්කම් යාච්ඤාව කියන්න ආරම්භ කරනවා කියලා. එදා මට ගොඩක් සන්තෝශ හිතුනා. ඒ සතියෙත් මම දින දෙකක්ම කටුනායක හාස්කම් සිද්ධස්ථානයට ගිහිල්ලා දේව මෑණියන්ට කන්නලව් කලා. මට කිසිම දෙයක් එපා, මගේ පුතාගේ බීමත්කම නතර කරලා දෙන්න කියන එක තමයි මම කිව්වේ. මගේ නම වන සතියේ සෙනසුරාදාත් මගේ ඉල්ලීම වෙනදා වගේම ඔසවාගෙන අළුත් හාස්කම් යාච්ඤාවට සහභාගි වුනා. රතු පෙට්ටියට එදත් ලිපිය දැම්මා. ඔක්කොම දෙනා රතු පෙට්ටියට ලියුම් දැම්මට පස්සේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා පවසපු දෙයින් මම ගල් ගැහුනා. සැම දෙයක්ම කරකැවෙනවා වගේ දැනුනා. ‛‛මේ අළුත්ම හාස්කම් යාච්ඤාවෙන් පළමු පිහිට ලැබෙන්නේ දැනට සති ගණනාවක සිට හාස්කම් යාච්ඤාවට සහභාගි වෙමින්, ලිපි දමමින්, තම පුතාව අධික බීමත්කමින් මුදවා දෙන්න කියලා ඉල්ලන අම්මාටයි. අද ගෙදර ගිය විට, අද රාත්‍රියේම සියල්ලම විසදෙයි’’ කියලා උන්වහන්සේ කිව්වා. මම දැනගත්තා ඒ මටමයි කිව්වේ කියලා. තවත් විස්තර වගයක් කිව්වා. මට ඈතින් වගේ ඇහුනේ. මොකද කිව්වොත් මට ඒ වෙලාවේ මොනවද උනේ කියලා තේරුමක් නැතිව ගියා. එදා රාත්‍රියේ මම ගෙදර එනකොට වෙනදා වගේම පුතා ගෙදර හිටියේ නැහැ. වෙනදා වගේම රෑ 12හට විතර හොදටම බීගෙන ගෙදර ආවා. බෙදලා දුන්න කෑමත් කෑවා. එදා කිසිම කතාවක් නැහැ. මමත් මොකවත් කිව්වේ නැහැ. කෑම කාලා ඉවර වෙලා බොහොම හොදින් ඇහැව්වා, ‛අම්මේ මොනාද මේ මල් සුවදක් එන්නේ’ කියලා. බීගෙන ආපු වෙලාවට මට ‛අම්මේ’ කියලා කතා කරපු පළමුවෙනි අවස්ථාව එයයි. මම දැනගත්තා මොකක් හරි හාස්කමක් වෙන්න යන බව. ශුද්ධෝත්තම අපොස්තුළුතුමා පවසපු වචන මට මතක් වුනා. මම කිව්වා මට සුවදක් දැනෙන්නේ නැහැ කියලා. ‛මට නම් හරිම සුවදක් එනවා’ කියාගෙන පුතා නිදාගන්න ගියා. පැයකට විතර පස්සේ පුතා මා ලගට ආවා. ඇවිත් බොහොම හොදින් කිව්වා, ‛අම්මේ මට සමා වෙන්ඩ. මම හරිම පවුකාරයෙක්. මම ආයෙ කවදාක්වත් බොන්නේ නැහැ.’ එහෙම කියලා අඩන්න පටන් ගත්තා. මම ඔළුව අත ගගා කිව්වා මම තරහ නෑ පුතේ කියලා. පසුවදා උදේ කවදාවත් නැතුව ගෙදරයි වත්තයි අතුගාලා, කුණු පුච්චලා බොහොම හොදට හිටියා. සදුදත් එහෙමයි. මගේ වැඩටත් උදව් උනා. අම්මා උදෙන්ම නැගිටින්න එපා, මම නැගිටලා තේ හදන්නම් කිව්වා. එහෙමම උනා. අගහරුවාදා මම විස්තරය කටුනායක හාස්කම් සිද්ධස්ථානයට දැනුම් දුන්නා. සිද්ධස්ථානයෙන් සශික විෂාන් කියලා මහත්මයෙක් මට කතා කලා. පසුව පුතාවත් මාවත් හමු උනා. බ්‍රහස්පතින්දා වෙනකොට තත්වය බලලා සියළු විස්තර ලියාගෙන එන්න කිව්වා. මේ වෙනකොට පුතා හොදටම හොදයි. බීමත්කම සම්පූර්ණයෙන් අත්හැරලා, හොද දරුවෙක් වෙලා. දැන් පුතා කියන්නේ ගෙදර ඉදලා ස්වයං රැකියාවක් කරලා මාව සදහටම බලා ගන්නවා කියලයි. මේ ප්‍රාතිහාර්යය මට පුදුම විදිහට ලැබුන දෙයක්. අපේ පිනට, අපට ලැබුන, අපේ දුක් වේදනා වෙනුවෙන්, අප වෙනුවෙන්, මරිය මවට යාච්ඤා ලියා දෙමින් අපට පිහිට වෙන ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට බොහොම ස්තූතියි. උන්වහන්සේ එදා කියපු වචන ටික මට කවමදාකවත් අමතක වෙන්නේ නැහැ. උන්වහන්සේ ලියපු හාස්කම් යාච්ඤාව මගින් තවත් බොහෝම දෙනෙක් පිහිට ලබා ගනිත්වා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට බොහෝම ස්තූති වේවා නිර්මල මරිය මෑණියන්ගේ බැල්ම නිරතුරුවම යොමුවී ඇති කටුනායක මහා හාස්කම් සිද්ධස්ථානය අප කාගේත් මෙලොව ස්වර්ගයයි.

 

 

නිර්මලී හේරත් – දිවුලපිටිය