පිච්ච මල් සුවද පැතිරෙන ආශ්චර්යමත් දේව මාතා ප්‍රතිමාව
මම 2010 වසරේ රැකියාවක් සදහා මැද පෙරදිග බලා ගියේ ලංකාවේ කරමින් සිටි රැකියාව ද අතහැරලා, බොහෝම ණය වෙලයි. බොහෝම බලාපොරොත්තු ඇතිවයි මම ගියේ. මම රියදුරු රැකියාවක් කලේ. නමුත් 2012 දී මම හදිසි අනතුරකට ලක් උනා. ඒ වෙලාවෙ අඩු තරමින් මගේ ණයවත් ගෙවලා ඉවරවෙලා තිබුනේ නැහැ. එහිදී සැත්කම් තුනක් මට කලා. මගේ මුහුණට ගොඩක් තුවාල වෙලා තිබුනා. නාසයට තමයි සැත්කම් කරන්න සිදු උනේ. මාස පහක් විතර එහෙ රෝහලේ හිටියා. අවසානයේ මම ඒ රෝහලේ ප්රතිකාරවලින් සෑහෙන සුවයක් ලැබුවත්, මගේ නාසයේ එක නාස් පුඩුවක් ක්‍රියා විරහිතව තිබුනා. දකුණු පැත්තේ නාස් පුඩුව තමයි ක්‍රියා විරහිතව තිබුනේ. මම හුස්ම ගත්තේ වම් පැත්තේ නාස් පුඩුවෙන් පමණයි. දකුණු පැත්තේ නාස් පුඩුවට කිසිම ගදක් සුවදක් දැනුනේ නැහැ. හුස්ම ගන්න අමාරු නිසා ගොඩක් අපහසුතා ඇති උනා. වම් පැත්තේ නාස් පුඩුව පමණක් පාවිච්චි කරන නිසා නිදා ගත්විට ඒ නාස් පුඩුව හිර වෙනවා. මේ තත්වය සනීප කරන්න වෛද්‍ය ප්‍රතිකාර නැති බවයි දොස්තරලා කිව්වේ. මේ විදිහට අවුරුදු පහක් විතර ගත උනා. පසුගිය දෙසැම්බර් 24 වෙනි දා රාත්‍රී නත්තල් දිව්‍ය පූජාවට මම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට ගියේ ලොකුම බලාපොරොත්තුවකින් සහ විශ්වාසයකින්. පිච්ච මල් සුවද පැතිරෙන ආශ්චර්යමත් කටුනායක දේව මාතා ප්‍රතිමාව සිප ගන්න මට ලොකු බලාපොරොත්තුවක් තිබුනා. ප්‍රතිමාව පාමුල තැන්පත් කිරීමට මගේ රෝග තත්වය ලියපු ලිපියකුත් මම අරගෙන ගියා. නත්තල් දිව්‍ය පූජාවට පස්සේ ආශ්චර්යමත් කටුනායක දේව මාතා ප්‍රතිමාව සිප ගන්න මට අවස්ථාව ලැබුනා. මම දර්ශණ ඉටිපහනක් ප්‍රතිමාව අසල දල්වලා, ආශ්චර්යමත් කටුනායක දේව මාතා ප්‍රතිමාව සිප ගත්තා. ක්‍රියා විරහිතව, සුව කල නොහැකිව තිබුන දකුණු නාස් පුඩුව විවර වූ බවක් මට දැනුනා. නාස් පුඩු දෙකටම පිච්ච මල් සුවද දැනුනා. මට නිකන් මොනවා උනාද මන්දා ඒ වෙලාවේ. මම ඒ බලගතු දේව මාතා ප්‍රතිමාව ලගින් ඉවත් වෙලා, පේදුරු පාවුළු අපොස්තුළු උයනේ ප්‍රතිමාව පෙනෙන තැනක සිට වම් නාස් පුඩුව වසාගෙන, එතෙක් ක්‍රියා විරහිතව තිබුන දකුණු නාස් පුඩුවෙන් හුස්ම ගත්තා. ඒ වෙලාවෙ ප්‍රතිමාවෙන් පැතිරෙන පිච්ච මල් සුවද උයන පුරාම පැතිරිලා තිබුනා. දකුණු නාස් පුඩුවට ඒ ආශ්චර්යමත් පිච්ච මල් සුවද දැනෙන්න ගත්තා. හුස්ම ගන්නත් පුළුවන්කම ලැබුනා. අනේ කටුනායක දේව මෑණියනී දැන් මට හොදටම සනීපයි. ඔබ තුමියට ස්තෝත්ර වේවා මහිමය අත් වේවා
රොෂාන් සේනක ප්‍රනාන්දු – අත්තිඩිය