ගිය බදාදා (නොවැම්බර් 15) කාර්යාලයේ දී මගේ චෙක් පොත නැති වුනා. සාමාන්‍යයෙන් මගේ චෙක් පොත මම ගෙදර අරගෙන යන්නේ නැහැ. ඒ මොකද කියනවානම්, ඒක මගේ ව්‍යාපාරික කටයුතුවලට පාවිච්චි කරන චෙක් පොත නිසා. පාවිච්චි නොකරන වෙලාවට ඒ චෙක් පොත තියෙන්නේ මගේ කාර්යාලයේ මේසයේ වම් අත පැත්තේ තියන ලාච්චු පේලියේ, උඩම ලාච්චුවෙයි. පසුගිය සතියේ මම කාර්යාලයට ගියේ නැහැ. මම ගියේ බදාදා යි. මම ඒ ගිහිල්ලා බලන කොට මගේ චෙක් පොත ලාච්චුවේ නැහැ. කොතෙක් විපරම් කලත් මට චෙක් පොතට වෙච්ච දෙයක් සොයාගන්න බැරිව ගියා. මේ ගැන කාර්යාලයේ සේවය කරන අයගෙන් ද විමසුවත් මට හරි තොරතුරක් දැන ගැනීමට බැරිව ගියා. මම වහාම බැංකුවට කතා කර මගේ චෙක් පොත නැතිවී ඇති බව දැනුම් දී, එම චෙක් පොත අවලංගු කලා. නමුත් මට එයින් සිදුවුන පාඩුව විශාලයි. ඒ මොකද කියනවානම්, මගේ ව්‍යාපාරික කටයුතුවලදී මම බොහෝ විට චෙක්පත් මගින් ගණුදෙනු කරන අතර, එම චෙක්පත් නිකුත් කිරීමට අදාල සියළු විස්තර මම සටහන් කරන්නේ චෙක්පත්වල වම් පැත්තේ ඉතිරිවන කොටසේයි. එමනිසා එම කොටස් මට ගොඩක් වටිනවා. එම කොටස්වල සදහන් විස්තර මගේ ව්‍යාපාරික කටයුතුවලට වැදගත්. බොහෝ ව්‍යාපාරිකයන් චෙක්පත් නිකුත් කරන විට ඒ ගැන වෙනමම පොත්වල සටහන් කලද මම එම සටහන් දැමුවේ චෙක් පොතේම වම් අත පැත්තේ තියන කොටසේයි.

 

මම එදා සවස ගෙදර ආවේ හිස අවුල් වෙච්ච පුද්ගලයෙක් ලෙසයි. මගේ ව්‍යාපාරයේ ගණුදෙනු රාශියක තොරතුරු මෙම චෙක් පොත සමගම මට නැති වුනා. පසුදින බ්‍රහස්පතින්දා උදේ මම කාර්යාලයට ගියේ නැහැ. මගේ ඔළුව හොදටම අවුල් වෙලයි තිබුනේ. මම මගේ හොදම හිතවත් යාළුවාට දුරකථන ඇමතුමක් දීලා, චෙක්පොත නැතිවී ඇති බව කිව්වා. ඔහු මගේ හොදම යාළුවා වගේම මගේ ව්‍යාපාරයේත් හවුල් කාරයෙක්. මම සියළුම ගණුදෙනු සටහන් තබා ඇත්තේ චෙක් පොතේම බව ඔහුත් දන්නවා. දහවල් වන විට ඔහු මගේ ගෙදරට ආවා. මම පදිංචිව ඉන්නේ බත්තරමුල්ලේ. මගේ කාර්යාලය තියෙන්නේ බම්බලපිටියේ. මගේ යාළුවා මගේ ගෙදරට ඇවිත්, උඩ තට්ටුවේ මගේ කාමරයටම ආවා. අපි බොහෝ දුරට හමුවන්නේ මෙම කාමරයේම තමයි. මගේ විස්තර අහලා මගේ යාළුවා මට කිව්වේ, චෙක් පොත සොයා ගැනීමට ක්‍රමයක් තියෙන බවයි. එහෙම කියලා ඔහු කටුනායක අප ස්වාමිදූගේ හාස්කම් සිද්ධස්ථානය ගැන විස්තර කිව්වා. ඒ වෙලාවෙම ඔහු අන්තර් ජාලයට පිවිසිලා මේ මහා හාස්කම් සිද්ධස්ථානය ගැන විස්තර පෙන්නුවා. මගේ යාළුවා ඒ වන විටත් කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානයට නිතරම යන කෙනෙක් බව මම දැන ගත්තේත්, ඔහු ගොඩක් පිහිට එම සිද්ධස්ථානයේ දී ලබා ඇති බව දැන ගත්තේත් එවිටයි. මේ සියළු තොරතුරු මට කිව්ව යාළුවා වැඩි දුරටත් කිව්වේ, ‛‛උඹ ඉන්ටර්නෙට් එකෙන් මේ හාස්කම් සිද්ධස්ථානය ගැන ඔක්කොම අද කියවපන්. කියවලා මේ සිද්ධස්ථානයට ගිහිල්ලා දේව මෑණියන්ට කියන්න ඕනා කියලා උඹට විශ්වාසයක් ඇති වුනොත් විතරක් මට කියපන්’’ කියලයි.

 

යාළුවා ගියාට පස්සේ මම ඉන්ටර්නෙට් එකෙන් සිංහල භාෂාවෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් පලවෙලා තිබුණ විස්තර කියෙව්වා. කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානය ගැන තොරතුරු කියෙව්වහම මට ලැජ්ජා හිතුනා මෙච්චර බලගතු සිද්ධස්ථානයක් ගැන, ලංකාවේ ජීවත්වෙන කෙනෙකුත් වෙලා, මෙතෙක් කල් මට දැනගැනීමට නොලැබුන එක ගැන.

 

ඒ බ්‍රහස්පතින්දා සවස 6 විතර වෙත් දී, මම කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානය ගැන ගොඩක් විස්තර කියවා අවසන් කර තිබුනා. මගේ හිත තුල දේව මෑණියන් කෙරෙහි ලොකු විශ්වාසයක් ඇතිවී තිබුණා. සිද්ධස්ථානයේ ඒ වෙනකොටත් සිදුවෙලා තිබුන හාස්කම් ගැන කියවපුහම මට හිතුනේ කටුනායක මෑණියෝ මටත් පිහිට වෙනවා, පිහිට වෙනවාමයි කියලා. මම එවලේම යාළුවට කෝල් කෙරුවා, ඇහැව්වා, ‛‛අපි දැන්ම යමුද කටුනායක පල්ලියට යාළුවා ඇහැව්වා විස්තර කියෙව්ද කියලා. මම කිව්වා විස්තර කියෙව්වා, ඒ නිසා තමයි දැන්ම යන්න හිතුවේ කියලා. එතකොට යාළුවා කිව්වා, උඹගේ විශ්වාසය හොදයි. අපි යමු මම දැන් එන්නම්. හැබැයි හාස්කම් යාච්ඤාව තියෙන්නේ සෙනසුරාදා කියලා. මම කිව්වා ඒ විස්තර මම දැක්කා. සෙනසුරාදාට අපි යමු, ඒ වුනාට දැනුත් ගිහිල්ලා එමු කියලා.

 

ඒ අනුව අපි දෙන්නා බ්‍රහස්පතින්දා රාත්‍රියේම කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානයට ගිහිල්ලා සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත නිර්මල කටුනායක අප ස්වාමිදූගේ ප්‍රතිමාව අසල රෝසමල් ඉටිපහන් පත්තු කරලා යාච්ඤා කෙරුවා. මරිය මාතාවන් වෙතටම හිත ඇදී යන, කොතනකවත් නැති පරිසරයක් තිබුනේ. මගේ හිතට ලොකු සැනසිල්ලක් ලැබුනා. මම ගොඩක් වෙලා හිටියා.

 

නැවත සිකුරාදා සවසත් අපි දෙන්නා ගියා. රෝසමල් ඉටිපහන් දල්වලා යාච්ඤා කෙරුවා.

 

සෙනසුරාදා සවස මගේ යාළුවා මාත් සමග කටුනායක පල්ලි යන්න මගේ ගෙදරට ආවා. වෙනදා වගේම ඔහු උඩ තට්ටුවේ මගේ කාමරයටමයි ආවේ. එතකොටත් මම ලෑස්ති වෙලයි හිටියේ. ඔහු මට කිව්වා රතු පෙට්ටියට දාන ලිපිය ලියන්න කියලා. මම කාමරයේ මේසය ලග ඉදගෙන යාළුවා දුන්න, සිද්ධස්ථානයෙන්ම නිකුත් කර ඇති කුඩා පත්‍රිකාව මේසය උඩ තබාගෙන, යාළුවාගෙනුත් අහගෙන මෙහෙම ලිව්වා, ‛‛ආදර කටුනායක මෑණියනී, මගේ ඔළුව හොදටම අවුල් වෙලා. මගේ චෙක් පොත නැති වෙලා. මට එය සොයා දෙන්න’’ යාළුවාගේ උපදෙස් අනුව වචන විසිපහකට වැඩි නොවන විදිහට මගේ දැවෙන බලාපොරොත්තුව ලිව්වා.

 

අපි දෙන්නා නියමිත වෙලාවට කලින් කටුනායක මහා හාස්කම් සිද්ධස්ථානයට ගියා. ලිපිය උඩට ඔසවාගෙන හාස්කම් යාච්ඤාවට සහභාගි වෙලා, රතු පෙට්ටියට ලිපිය දැම්මා.

 

හාස්කම් යාච්ඤාවෙන් පසුව අපට ලොකු අවස්ථාවක් ලැබුනා. පිච්ච මල් සුවද පැතිරෙන ලොව එකම දේව මාතා ප්‍රතිමාවේ සේයාරුව ඉදිරියේ විශේෂ ඉටිපහන දල්වා යාච්ඤා කිරීමේ අවස්ථාව. ඒකනම් හරිම අපූරු අවස්ථාවක්. මමයි යාළුවයි දෙන්නාම ඒ විශේෂ ඉටිපහන් පත්තු කලා. තනි තනිව යාච්ඤා කිරීමට පවා අවස්ථාව සලසා දී තිබුනා. සිද්ධස්ථානයේ නිලධාරීන් ඒ සදහා ඉතාමත් කාරුණිකව මග පෙන්වීම ගැන ස්තූතියි. මම ඒ අසිරිමත් ප්‍රතිමාවේ පින්තූරයට අත තබාගෙන නිහක්‍ෂව යාච්ඤා කලා. ‛‛ආදර කටුනායක මෑණියනී, මගේ ඔළුව හොදටම අවුල් වෙලා. මගේ චෙක් පොත නැති වෙලා. මට එය සොයා දෙන්න’’ පින්තූරයට අත තබාගෙන මම කීප වරක්ම කිව්වා. පසුව සිද්ධස්ථාන භූමියේ මරිය මවගේ ප්‍රතිමාව ලගත් දන ගහලා යාච්ඤා කරලා, රෝසමල් ඉටිපහන් දෙකක් පත්තු කරලා, සිද්ධස්ථානයෙන් පිටත් වුනා. අපි දෙන්නා එන ගමන් කොළඹ දී හෝටලයකින් රාත්‍රී කෑමත් ගත්තා.

 

ඊට පස්සේ අපි දෙන්නා කෙලින්ම ආවේ බත්තරමුල්ලේ මගේ ගෙදරට. මුහුණ ටිකක් සෝදගන්න ඕනා කියලා මගේ යාළුවා මාත් එක්කම, උඩ තට්ටුවේ මගේ කාමරයට ආවා. ලයිට් එක පත්තු කලා. දෙවියනේ, මගේ නැති වුන චෙක් පොත මේසය උඩ. මගේ යාළුවයි මමයි දෙන්නාම එක පාරටම ‛මවන් චෙක් පොත’’ කියාගෙන බදා ගත්තා. අපි දෙන්නාටම හරි බයකුත් ඇතිවුනා. දෙන්නාම ඇද උඩින් වාඩි වුනා. මම රතු පෙට්ටියට දාපු ලිපිය ලිව්වේ ඔය මේසය උඩමයි. ලිපිය ලියන්න පෑන දුන්නේ යාළුවා. එයාගේ කමිස සාක්කුවෙන් ඇදලා තමයි මට දුන්නේ. ලිපිය ලියලා මම පෑන මේසය උඩින් තිබ්බා. නැවත යාළුවට දෙන්න ඒ වෙලාවේ නිච්චියක් උනේ නැහැ. පුදුමය කියන්නේ. ඒ පෑන චෙක්පොත උඩින් තියලා. මගේ යාළුවගේ ඇස්වල කදුළු. ඔහු සීනුව නාද කරලා මගේ සේවකයාට කතා කරලා වතුර වීදුරුවක් ගෙන්ව ගත්තා. ඔහුගේ කට වේලිලා. මම චෙක් පොත අරගෙන බැලුවා. සියල්ල නිවැරදියි. කිසිම අඩුවක් නෑ. මා යොදපු සටහන් සියල්ල තිබුනා. චෙක් පොත නැති වුනේ බම්බලපිටියේ මගේ කාර්යාලයේදී. චෙක් පොත කවදාක්වත් මේ ගෙදරට ගෙනල්ලාවත් නැහැ. නැතිවූ චෙක් පොත කටුනායක මෑණියෝ මට ගෙදරටම ගෙනල්ලා දුන්නා.

 

කොහොමත් එදා රෑ මම යාළුවාව මගේ ගෙදර නතර කර ගත්තා. ඔහු මට කිව්වා සියළු විස්තර අපි දැන්ම කටුනායක මෑණියන්ගේ සිද්ධස්ථානයට මේල් කරමු කියලා. ඒ රෑ ලිපිය ටයිප් කරන්න අපි දෙන්නාම උත්සහ දැරුවත් අපට ඊට හොද ශක්තියක් තිබුනේ නැහැ. මේ පුදුම සිද්ධියෙන් අපි දෙන්නාම බීරන්ත වෙලයි හිටියේ. පසුව ඉරුදින උදේම තමයි අපි දෙන්නා එකතු වෙලා ලිපිය ලියන්න ආරම්භ කෙරුවේ.

 

හාස්කම් යාච්ඤාව හරිම පුදුම යාච්ඤාවක්. රතු පෙට්ටියට ලිපි දැමීම ගැන මට හිතෙන්නේ, අපේ ඉල්ලීම් ලියලා මරිය තුමියට ලිපි තැපැල් කරනවා වගෙයි. නිරන්තරයෙන් පිච්ච මල් සුවද පැතිරෙන දේව මෑණියන්ගේ ප්‍රතිමාව කොතරම් බලගතු ද කියලා මේ සිද්ධියෙන් ම තේරෙනවා. ඒ හාස්කම් ප්‍රතිමාවේ සේයාරුව පවා මෙතරම් බලවත් නම්, ප්‍රතිමාව කොතරම් බලසම්පන්න ඇතිද?

 

මගේ ජීවිත කතාවේ ප්‍රථම වරට යම් තැනක, යම් මොහොතක. නිර්මල මරිය මාතාවෝ මටත් ප්‍රාතිහාර්යයක් කල බව සදා සිහිපත් කරන්නෙමි.

 

 

මිලින්ද දේශප්‍රිය – බත්තරමුල්ල