මම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත ගියේ මගේ මිතුරියක් සමග ඇයගේ තනියටයි. සමහර දවස්වලට මිතුරියත් සමග මම හාස්කම් යාච්ඤාව කියන මරිය තුමියගේ ප්‍රතිමාව ස්ථාපිත උයන තුලටත් ගියා. ටික දිනක් මම යනකොට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ගැන මගේම හිත තුල යම් කුතුහලයක් ඇති වෙන්න පටන් ගත්තා. විශේෂයෙන් දේව මෙහෙයන් ආරම්භ කරන්නට පෙර ප්‍රචාරය කරනු ලබන විවිධ දැනුම්දීම් තමයි එම සිද්ධස්ථානය ගැන මගේ හිත තුල කුතුහලයක් ඇති කලේ. ක්‍රමයෙන් එය විශ්වාසයක් බවට පෙරලී, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී දර්ශණය වූ නිර්මල මෑණියන් ගැන ලොකු විශ්වාසයක් බවට පත් වුනා. ඒ වෙනකොටත් මම කිසියම් රෝගී තත්වයකින් අසරණ වෙලයි හිටියේ. මගේ පපුවේ ක්‍රමයෙන් වැඩෙමින් පවතින මස් වැදැල්ලක් නිසා මම ඉතාමත් පීඩා විදිමින් සිටියේ. වෛද්‍යවරුන් කියා තිබුනේ ශල්‍යකර්මයක් මගින් එය ඉවත් කල යුතු බවයි. නිතර ඇතිවන පීඩා අතර, රාත්‍රියේ දී ඇතිවන හුස්ම ගැනීමට අපහසුකම නිසා බොහෝමයක් දිනවල නිදා නොගෙන, කොට්ටයක් තබා හේත්තු වී මුළු රැය අවදියෙන් ගත කරන්නට සිදුවන අවස්ථා නම් එමටයි. මගේ රෝගී තත්වය දැනගෙන සිටියේ මගේ මව පමණයි. මගේ මිතුරියවත් ඒ බව දැනගෙන සිටියේ නැහැ.

 

සති ගණනාවක් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට මගේ මිතුරියත් සමග ඇයගේ තනියට ගියාට, පසුව මගේ හිතේ ඇතිවූ විශ්වාසය ගැනත්, මගේ රෝගී තත්වය ගැනත් දිනක් මම මිතුරියට කිව්වා. ඇය කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානයේ දී, හාස්කම් යාච්ඤාවට සහභාගි වී, රතු පෙට්ටියට ලිපි දැමීම ගැන මට කිව්වා. විශ්වාසයෙන් කලොත් වරදින්නේ නැත කියලා, ඊලග සෙනසුරාදා සිට විශ්වාසයෙන් මෙම පිළිවෙතට සහභාගි වෙන්න කිව්වා. සති ගණනාවක්ම හාස්කම් යාච්ඤාවට සහභාගි වුනා. රතු පෙට්ටියට ලිපි දැම්මා. මේ අතර සතියකට වරක්, එක් දිනයක් මම තනියම හෝ මගේ මිතුරිය සමග කටුනායක අප ස්වාමිදූගේ හාස්කම් සිද්ධස්ථානයට ගිහිල්ලා දර්ශණ භූමියේ ස්ථාපිත, ජේසු බිළිදුන් සහ මරිය මවගේ ප්‍රතිමාව ඉදිරියේ යාච්ඤා කලා. මේ අතර පිච්ච මල් සුවද පැතිරෙන දේව මෑණියන්ගේ ආශ්චර්යමත් ප්‍රතිමාව ප්‍රදර්ශණය කිරීමට පෙර එම ප්‍රතිමාවේ සේයාරුව සෙනසුරාදා සවස හාස්කම් යාච්ඤාවෙන් පසුව ප්‍රදර්ශණය කිරීමට ආරම්භ කලා. ආශ්චර්යමත් ප්‍රතිමාවේ සේයාරුව ඉදිරිපිට ඉටිපහන් දැල්වීමට කැමති බැතිමතුන්, රතු පෙට්ටියට දැමූ ලිපියේ ලිවූ ඉල්ලීම, එම ආශ්චර්යමත් ප්‍රතිමාවේ සේයාරුව ඉදිරියේ නිහක්‍ෂව සිහිපත් කරන ලෙස නිවේදන මගින් කියවුන නිසා මමත් එසේ කලා. දිනක් එසේ කරත් දී මට පිච්ච මල් සුවදක් දැනුනා. ඒ පිච්ච මල් සුවද නාසයෙන් ඇතුළු වී පපුවේ යම් තැනක හිර වෙනවා වගේ මට දැනුනා. මට හරිම අමුත්තක් දැනුනා. මගේ මිතුරියටත් මම කිව්වා. ඇය කියාම සිටියේ මම සනීප වෙලා කියලයි. මගේ හිතත් මට එහෙම කිව්වා. ඒ සෙනසුරාදා රාත්‍රියේ මට හොදට නින්ද ගියා. පසුදා ඉරුදින රාත්‍රියෙත් කිසිදු අවහිරයක් නැතිව මට හොදට නින්ද ගියා. සදුදා, අඟහරුවාදා දිනවල මම වෛද්‍ය පරීක්ෂණ සදහා ඉදිරිපත් වුනා. මගේ පපුවේ මස් වැදැල්ලක් නැති බව වෛද්‍යවරු කියා සිටියා. මට පෙර තිබුන අපහසුතා කිසිවක් දැන් නැහැ. මට දැන් සම්පූර්ණ සුවයි.

 

කටුනායක අප ස්වාමිදූගේ හාස්කම් සිද්ධස්ථානයේ විසිතුන් වතාවක් දර්ශණය වී ඇති මා දයාබර නිර්මල මරිය මෑණියෝ මට කලේ ලොකු දෙයක්. මට දුන්නේ ලොකු සුවයක් සහ සහනයක්. ස්තූතියි ආදර කටුනායක අම්මේ

 

 

සෙව්වන්දි ප්‍රනාන්දු – නාත්තන්ඩිය