සය හැවිරිදි කුඩා දරුවා ‛මා…මා….අම්මා’ කියා කතා කිරීමට ආරම්භ කරනු ලැබුවේ නිර්මල කන්‍ය මරිය තුමියගේ මෙම ප්‍රතිමාව ඉදිරිපිටදීයි

 

මට දරුවන් දෙදෙනෙක් සිටින අතර වඩිමහල් දුවගේ වයස අවුරුදු 10 යි. දෙවැන්නා හෙවත් බාල පුතාට වයස අවුරුදු 6 යි. නමුත් මේ මගේ පුංචි පුතා උපතේ සිටම කතා කලේ නැහැ. අපි කියන දේවල් චූටි පුතාට හොදට ඇහෙනවා. අපි කියන දේවලුත් පුතාට තේරෙනවා. නමුත් පුතාට කතා කරන්න බැහැ. දොස්තරලා ගණනාවකට පුතාව පෙන්නුවා. වෛද්‍ය පරීක්ෂණ ගණනාවක්ම කලා. ඒ සෑම පරීක්ෂණයකින්ම කියවුනේ කිසිම අසනීපයක් නැති බවයි. විශේෂඥ වෛද්‍යවරුන් පවා කිව්වේ වෛද්‍ය පරීක්ෂණවලට අනුව බෙහෙත් කරන්න තරම් අසනීපයක් පුතාට නොමැති බවයි. දිනක් එක් වෛද්‍යවරයෙක් කිව්වා, පුතා කුඩා කාලයේදීම එයාගේ මොලයට විෂ බීජයක් ගිහිල්ලා, එම නිසයි මේ වගේ තත්වයක් ඇතිවන්නේ, පුතාගේ මෙම තත්වයට බෙහෙතක් නැහැ කියලා. වෛද්‍යවරුන් ලගයි, එක එක පල්ලි වලයි, විවිධ සුව මෙහෙයන් වලයි මම පුතාත් එක්ක ගියා. නමුත් මගේ පුතාට කතා කරගන්න බැරිව දුක් වින්දා. කතා කරගන්න බැරිව දුක් විදින පුතාව දැකීමෙන් වඩාත් වේදනාවට පත් උනේ මමයි. පුතා ගොඩක් හුරතල්, හුරුබුහුටියි. මගේ ඇස් දෙකෙන් ගලා ගිය කදුළු නිමක් නැහැ.

 

 

 

සය හැවිරිදි කුඩා දරුවා ‛මා…මා….අම්මා’ කියා කතා කිරීමට ආරම්භ කරනු ලැබූ නිර්මල කන්‍ය මරිය තුමියගේ ප්‍රතිමාව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් 2016 පෙබ්‍රවාරි 7 වෙනි දින සවස ආශිර්වාද කරනු ලැබූ අවස්ථාව

 

දවසක් අපේ ගෙදරට පැමිණි මගේ මිතුරියක් කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානය ගැන විස්තර කිව්වා. අන්තර් ජාලයෙන් විස්තර සහ ඡායාරූප

 

පෙන්නුවා. ඒ අනුව මම ප්‍රථමයෙන් කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථනයට පුතාත් සමග ගියේ ජූලි 29 වෙනිදා. එදා නිර්මල මරිය තුමී ජේසු බිළිදුන් සමග දර්ශණය වෙලා අවුරුදු 40 ක් සම්පූර්ණවීම සිහිපත් කරලා, ජේසු බිළිදුන් සමග දේව මෑණියන්ගේ දර්ශණ ප්‍රතිමාව ප්‍රදර්ශණය කරපු දවසයි. මම දේව මෑණියන්ගේ ප්‍රතිමාව ඉදිරියේ රෝස මල් ඉටිපහනක් දල්වාගෙන මගේ එකම බලාපොරොත්තුව කිව්වා. මම තදින්ම විශ්වාස කලා මගේ පුතා කතා කරයි කියලා. කටුනායක හාස්කම් සිද්ධස්ථානය වෙත පැමිණෙන මරිය තුමී කොයි මොහොතක හරි මගේ පුතාව සුවපත් කරයි කියලා මට ලොකු විශ්වාසක් තිබුණා. ඒ විශ්වාසය නිසාම එදා සිට සතිපතාම මම සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට ගිහිල්ලා හාස්කම් යාච්ඤාවට සහභාගි වෙලා, මගේ පුංචි පුතාව කතා කරවන්න දේව අම්මේ කියලා ලියලා රතු පෙට්ටියට ලිපියක් දාන්න පටන් ගත්තා. පේදුරු පාවුළු අපොස්තුළු උයනේ දී රෝසමල් ඉටිපහනක් පත්තු කරලා නිහඩවම මගේ වේදනාව දේව මෑණියන්ට කිව්වා. කොයි මොහොතක හරි මගේ දරුපැටියා කතා කරයි කියන දැඩි විශ්වාසය මට තිබුණා. මේ විදිහට සතිපතා සෙනසුරාදා සවස හාස්කම් යාච්ඤාවට සහභාගි වෙලා රතු පෙට්ටියට ලිපි දමන්න මට අවස්ථාව ලැබුනේ සෙනසුරාදාවල් 8 ක් පමණයි. සතිපතා මම කටුනායක මෑණියන්ගේ හාස්කම් සිද්ධස්ථානයට ගියත්, සමහරදාට බස් පරක්කුව නිසා පොඩ්ඩක් ප්‍රමාද උනා. අන්න ඒ දවස්වලට හාස්කම් යාච්ඤාව කියන උයනට ඇතුළු වෙන්න ලැබුනේ නැහැ. එහෙම දවසට මම දර්ශණ භූමියට වෙලා පුතාවත් තියාගෙන, රූපවාහිනී තිරයෙන් බලාගෙන සහභාගි වුනා. මේ විදිහට සෙනුරාදාවල් ගෙවිලා ගියා. රතු පෙට්ටියට මගේ 8 වෙනි ලිපිය දැම්මේ ඔක්තෝබර් 14 වෙනි සෙනසුරාදා. එදා විශේෂ දවසක්. දර්ශණ දෙව්මැදුරේ ඉහළින්ම ඊට පසුදා තැන්පත් කෙරෙන දෙව් මවුන්ගේ ප්‍රතිමාව දර්ශණ දෙව්මැදුරේ ප්‍රදර්ශණය කලා. මම හාස්කම් යාච්ඤාවට සහභාගි වෙලා, වෙනදා වගේම මම කවදත් ඉල්ලපු මගේ එකම ඉල්ලීම රතු පෙට්ටියට දැම්මා. ඊට පස්සේ දර්ශණ දෙව්මැදුර මුදුනේ තැන්පත් කරන දෙව් මවුන්ගේ ප්‍රතිමාව දැකගැනීම සදහා බැතිමතුන්ට දර්ශණ භූමියට රැස්වන්න කියලා ශබ්ද විකාශණ මගින් දැනුම් දුන්නා. සියළුම බැතිමතුන් දර්ශණ භූමියට රැස්වුනා. ටික වේලාවකින් අප ආදර නිර්මල මරිය මෑණියන් කහ පැහැති රෝස මල් 123ක් මත දර්ශණය වූ ආකාරය මතකයට එන අප ආදර මරිය මෑණියන්ගේ ප්‍රතිමාව තැන්පත් කර තිබූ දර්ශණ දේව මන්දීරයේ දොරටුව ඇරුනා. ඒත් එක්කම ‛‛අම්මා අම්මා……..’’ යනුවෙන් මරිය තුමියට ගීතිකාවක් ගයන්නට ආරම්භ උනා. මම රෝස මල් ඉටිපන්දමක් අතේ දල්වාගෙන මගේ පුංචි පුතාවත් වඩාගෙන අර ‛‛අම්මා අම්මා……’’ කියලා දිගටම කියන ගීතිකාවට සම්බන්ධ උනා. වැඩි වෙලාවක් ගියේ නැහැ. මගේ අතේ උන්න පුංචි පුතා එකපාරටම ‛‛මා..මා…අම්මා’’ කියලා අත දිගු කරලා දර්ශණ දෙව්මැදුර තුල තැන්පත් කර තිබුන නිර්මල මරිය මෑණියන්ගේ ප්‍රතිමාව පෙන්නුවා. ඇත්තටම මට මොනවද උනේ කියලා මට තේරුම් ගන්න බැරුව ගියා. මුළු දර්ශණ භූමියම කැරකෙනවා වගේ මට දැනුනා. මරිය තුමියගේ ප්‍රතිමාවත් තද සුළගකට වගේ එහාට මෙහාට පැද්දෙනවා වගෙයි මට දැනුනේ. මගේ පුංචි පුතාට කටුණායක ආදර දේව මෑණියෝ කතා කිරීමට ශක්තිය දුන්න බව මම දැනගත්තා. කෙනෙකුට මෙම අවස්ථාවේ අම්මා කෙනෙකුට ඇතිවන හැගීම දැනෙන්නේ, මෙවැනි දරුවෙක් සමග මෙවැනිම අවස්ථාවකට මුහුණ දුන්නොත් පමණයි.

 

ටික වේලාවකින් ගීතිකාව අවසන් උනා. මම පුතාගෙන් ආයෙත් ඇහැව්වා, ‛මොකක්ද පුතේ ඔයා කිව්වේ, ආයෙත් කියන්න මගෙ පුතේ’ කියලා. ආයෙත් මරිය තුමීගේ ප්‍රතිමාව පෙන්නලා ‛‛අර අම්මා’’ කියලා, ලජ්ජාවෙන් වගේ මගේ බෙල්ල බදා ගත්තා. මම ඒ ලගම හිටපු බැතිමතෙකුට විස්තරය කිව්වා. එයා මට දර්ශණ භූමියේ හිටපු නිලධාරියකුව පෙන්නලා, ඒ මහත්තයාට ඉක්මනට ගිහින් කියන්න කිව්වා. මම ඒ මහත්තයාට ගිහින් කිව්වා. පසුව මට දැනගැනීමට ලැබුණා, ඒ තමයි සශික විෂාන් මහත්තයා. ඒ මහත්තයා තමයි කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානයේ බැතිමතුන්ට සිදුවන ප්‍රාතිහාර්යයන් ගැන පරීක්ෂාකර නිවැරදි බව සොයාබලන්නේ කියලා. මම සශික විෂාන් මහත්තයාට විස්තරය කිව්වා. ඔහු මගේ කතාව හොදින් අසා සිට, පුතාගෙන් ඇසුවා ‛කෝ පුතා අම්මා’ කියලා. එතකොට මේ කියලා මාව පෙන්නුවා. ඊළගට ඒ මහත්තයා ප්‍රදර්ශණය කරමින් තිබුන දේව මෑණියන්ගේ ප්‍රතිමාව පෙන්නලා ඇහුවා, ‛අර ඉන්නේ කවුද පුතා’ කියලා. එතකොට පුතා කිව්වා ‛ජේසු අම්මා’ කියලා. මීට කලින් මම කටුනායක හාස්කම් සිද්ධස්ථානයේ දී මරිය තුමීගේ ප්‍රතිමාව පෙන්නලා ‛ඒ ජේසු අම්මා’ කියලා පුතාට කියලා තිබුනා. හාස්කම් යාච්ඤාව වගේම ඒ කියවුන ‛අම්මා අම්මා’ ගීතිකාව පවා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා විසින් ලියනු ලැබූ ගීතිකාවක් කියලා සශික විෂාන් මහත්තයා කිව්වා. මට ඒ මහත්තයාගේ දුරකතන අංකය දීලා කිව්වා පසුදින ඉරිදා සවසට කතා කරන්න කියලා. මම 15 ඉරිදා කතා කෙරුවා. සශික විෂාන් මහත්තයා පුතාගේ තත්වය ඇහැව්වා. පුතා අවුරුදු හයකට පස්සේ හොදට කතා කරන බවත්, සමහර දේවල් වලට ඒ මොකක්ද කිය කියා අසමින් යම් යම් දේවල්වලට කියන නම් දැනගන්න උත්සහ කරන බවත් මම කිව්වා. මම කටුනායක අප ස්වාමිදූගෙන් ඉල්ලුවේ කමක්ද, ඒ ඉල්ලපු දේ මරිය තුමී ඉෂ්ඨ කලේ කුමන ආකාරයටද කියලා සම්පූර්ණ විස්තරය ලියලා, මෙතෙක් පුතාගේ සියළුම වෛද්‍ය වාර්තා සමග ගෙනත් දෙන්න කියලා සශික විෂාන් මහත්තයා මට කිව්වා. ඒ අනුව මෙම ලිපිය සමග ඒ සියල්ලම මම භාර දෙනවා.

 

මගේ පුංචි පුතා මේ ලෝකයේ ජීවත්ව ඉන්න කාලයේම මරිය තුමී පුතාට ලොකු තෑග්ගක් දුන්නා. ඒ නිසාම මගේ පුතා සමාජය ඉදිරියට යයි. නමුත් ජීවිතේ ඇති තෙක් මෙම වරප්‍රසාදය පුතාට මතක තියන විදිහට මම මොකක්ද කරන්න ඕනා කියලා මම හිතනවා. මොකද එයා තාම පොඩියි. එයාට ලැබුන දේ ගැන දැනටත් එයාට තේරුම් ගන්න බැහැ.

 

නිර්මල මරිය තුමියව තම දෑසින්ම දැකගෙන දුක් විදින ජනතාව වෙනුවෙන් මරිය තුමියට හාස්කම් යාච්ඤාවක් ලියා අපට දුන්න ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ව අප කාටවත් අමතක කරන්න බැහැ. උන්වහන්සේ ලිව්ව ගීතිකාවක පදයක් තමයි මගේ පුතා ඉස්සෙල්ලාම කිව්වෙත්. ඒ වගේම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය, ජාති ආගම් භේදයෙන් තොරව අප කාටත් මරිය තුමියව සමුවිය හැකි, එතුමියව අත් දැකිය හැකි සිද්ධස්ථානයයි. මෙම සිද්ධස්ථානය අපේම සිද්ධස්ථානය ලෙස අපි ආරක්ෂා කර ගත යුතුයි. අපගේ දුකට වේදනාවට කදුලට අපි කවුරුත් දැන් මරිය තුමියට කියන්න යන්නේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයටයි. කටුනායක අප ස්වාමිදූගේ හාස්කම් සිද්ධස්ථානය තුල මරිය තුමී ජීවමානවම වැඩ සිටින බව මට විශ්වාසයි.

 

 

සුදර්ශි අමරසේකර – කොලොන්නාව