මගේ වයස අවුරුදු 33 ක් වන අතර මගේ සැමියාගේ වයස අවුරුදු 35 කි. අප විවාහ වී අවුරුදු අටක්ම ගතවී තිබුනත් අපට දරු සුරතල් බැලීමේ වාසනාව නොතිබුනි. අප දෙදෙනාම කාලය ගත කලේ ඉතාමත් වේදනාවෙනි. වෛද්‍යවරුන්ටද සොයාගැනීමට තරම් රෝගී තත්වයක් අප දෙදෙනාටම නොතිබුන අතර බොහෝවිට සමාජයේ පිළිකුලට ලක්වූයේ මාවයි. මා වඳ ගැහැණියක් කියා සමහරු මට මුහුණ දීමෙන්ද වැලකී සිටින අයුරු මගේ දෑසටම මම දැක ඇත්තෙමි. විවාහයෙන් අවුරුදු අටක් ගතවීමෙන් පසුවත් දරුවකු නැති ශෝකයෙන් පීඩාවට පත්වී සිටි අපට කටුනායක පිහිටි ප්‍රාතිහාර්‍යාත්මක දෙව් මවු සිද්ධස්ථානය ගැන දැනගන්නට ලැබී, මමත් මගේ ස්වාමිපුරුෂයාත් අප ජීවිතය කාලකණ්නි වී ඇති මේ ගැටළුවට සහනයක් පතා එම ප්‍රතිහාර්‍යාත්මක සිද්ධස්ථානය වන, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය සොයා පිය නැගුවෙමි.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් පවත්වනු ලබන දේව මෙහෙයන්ට අප දෙදෙනාම සහභාගි වී, උන්වහන්සේගේ ආශිර්වාදය අප දෙදෙනාම ලබාගත්තේ දැඩි විශ්වාසයකිනි. ඒ වන විටත් විවිධ දෙව්මැඳුරුවලට ද, සුව මෙහෙයන් වලට ද ගොස් හෙම්බත්වී සිටි අප දෙදෙනා දැඩි ලෙස සිතුවේ, මරිය තුමී දර්ශණයවූ මේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී, අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා අප වෙනුවෙන් මැදිහත් වී දෙව් මවුගෙන් අපට සහනයක් ලබාදෙනු ඇති බවයි. මෙම සිද්ධස්ථානය අපි දෙවියන්ට මේ ගැන කන්නලව් කරන අවසාන සිද්ධස්ථානය කර ගනිමු යයි අප දෙදෙනාම කතාකර ගත්තේ, ශුද්ධෝත්තම අපොස්තුළුතුමා කෙරෙහි ඇතිවූ දැඩි විශ්වාසය නිසාමය.

 

අපගේ දුක කියා ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ දෝතටම අප දෙදෙනාම ලිපි බාර දුන්නෙමු. සතිපතාම උන්වහන්සේ සිනහ මුසු මුහුණින් යුතුව අපගේ ලිපි භාරගෙන අපට ආශිර්වාද කල සේක. අපගේ සම්පූර්ණ විශ්වාසය ශුද්ධෝත්තම අපොස්තුළුතුමා කෙරෙහි විය.

 

නොකඩවා මාස පහක් ලැබූ ආශිර්වාදය මල් ඵල ගැන්වී, අවුරුදු අටක් මුළු සමාජයටම කාලකන්නි ගැහැණියක් වී සිටි මාගේත් මාගේ ස්වාමිපුරුෂයාගේත් වාසනාව මතුවී මට දරුවකු පිළිසිඳුනි. පසුගිය දෙසැම්බර් 20 වෙනිදා නිරෝගී සිඟිති දියණියක් කිසිදු කරදරයකින් තොරව ප්‍රසූත කිරීමට මට හැකි විය. දරු ප්‍රසූතිය ද කිසිදු වේදනාවකින් තොරව සිදු විය. දෙවියන්වහන්සේ අපට ලබා දුන් ශුද්ධවු ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ට ස්තූති වේවා අපට උන්වහන්සේ කෙරෙහි විශාල විශ්වාසයක් ඇත. නිතිපතා අපි උන්වහන්සේගේ සරණය සොයන්නෙමු. අපගේ සිඟිති දියණියගේ තොටිල්ල උඩින් මේ ශුද්ධවු අපොස්තුළු තුමන්ගේ විශාල පිංතූරයක් සවිකර ඇත. උන්වහන්සේගේ බැල්ම සිඟිති දියණියට ලැබෙන බව අපගේ විශ්වාසයයි.

 

 

රංගා දිසානායක – හුණුපිටිය