කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය, මරිය තුමියට කැප කල හාස්කම් පුද බිමක්. මෙම සිද්ධස්ථානයේදී කිසිදු භේදයකින් තොරව ජනතාව ලබා ගන්නා පිහිට වගේම ඒ ලැබෙන ආකාරයත් හරිම පුදුමයි. පසුගිය ඔක්තෝම්බර් 8 වෙනිදා (2012 ඔක්තෝම්බර් 8 වෙනිදා) සවස අප දයාබර කන්‍ය මරිය තුමියගේ උත්පත්ති මංගල සන්ධ්‍යා මෙහෙය, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ මෙහෙයවීමෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී පවත්වනු ලැබුවා. එදා තමයි මේ ප්‍රාතිහාර්‍යාත්මක සුවය දහ නව හැවිරිදි දැරියකට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී, ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ආශිර්වාදයෙන් සහ ආශ්චර්‍යමත් කටුනායක අප ස්වාමිදූගේ කරුණාවෙන් ලැබී ඇත්තේ.

 

එදින සන්ධ්‍යා මෙහෙයේදී ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්, මරිය මවගේ මෙම හාස්කම් සිද්ධස්ථානයේ, ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ ඉදිකර ඇති මණ්ඩපය ඉහළින්ම ස්ථාපිත, දෙව් මවුන්ගේ නව ප්‍රතිමාව ආශිර්වාද කරනු ලැබුවා. ඒ සමගම දෙව් මවුන්ට ගෞරවය හා මහිමය පිණිස සන්ධ්‍යා දේව මෙහෙය ආරම්භ වුනා. මෙම දේව මෙහෙය අවස්ථාවේ, රැස්ව සිටි බැතිමතුන්ට පිහිට ඉල්ලා සිටීම සඳහා, අති විශේෂ යාච්ඤාවක් උච්ඡාරණය කරනු ලැබුවා. ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් යාච්ඤාවේ පදයෙන් පදය උච්ඡාරණය කරත්දී, සැදැහැවතුන්ට ද එම වචන විශ්වාසයෙන් උච්ඡාරණය කරන්නැයි ශුද්ධෝත්තම අපොස්තුළු තුමා ඉල්ලා සිටියා. එදා කිව්ව ඒ යාච්ඤාව ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් හඳුන්වා දුන්නේ ‛‛මරිය තුමියට ප්‍රාතිහාර්යාත්මක යාච්ඤාව’’ කියලයි. ඇත්තටම, ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ මුවින් පිටවූ ලෙසම, ඒ යාච්ඤාව, මරිය තුමියට ප්‍රාතිහාර්‍යාත්මක යාච්ඤාවක් වෙලා. එදා පළමු වරට ඒ යාච්ඤාව උච්ඡාරණය කරනු ලැබූ මොහොතේදීම සිදුවී ඇති හාස්කමක් පිළිබඳවයි මේ තොරතුරු හෙළිවී ඇත්තේ.

 

තවත් දෙයක් කියන්න ඕනා. මේ යාච්ඤාව රචනා කෙරුවේත්, ඒ යාච්ඤාවට ‛‛මරිය තුමියට ප්‍රාතිහාර්යාත්මක යාච්ඤාව’’ කියලා නමක් තැබුවේත්, ශුද්ධෝත්තම අපොස්තුළු තුමාමයි.

 

ඉතින් ඒ ප්‍රාතිහාර්‍යාත්මක යාච්ඤාව උච්ඡාරණය කරපු පළමු දවසේම සිදුවූ වාර්තාගත පළමු ප්‍රාතිහාර්යාත්මක සුවයේ කතාවයි පහත දැක්වෙන්නේ.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ වැඩ වසන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් පිළිබඳවත්, හාස්කම් සහිත කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය පිළිබඳවත් අපට අහම්බෙන් වගේ දැනගැනීමට ලැබුනේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ස්වෙච්ඡාවෙන් සේවයේ යෙදෙන නිලධාරි මහත්මයෙකුගෙන්ය. මේ හාස්කම් සිද්ධස්ථානය පිළිබඳවත්, මේ සිද්ධස්ථානයේ වැඩවසන අපොස්තුළු තුමන් පිළිබඳවත් ලියැවුනු පොත්, පත්තර වැනි දේ ද, ඩී.වී.ඩී., සී.ඩී. වැනි දේද ඒ මහතා අපගේ කැමැත්ත මත අපට ලබා දී තිබුණි. ඒවායෙන් අපට මෙම සිද්ධස්ථානය පිළිබඳව අවබෝධයක්, විශ්වාසයක්, කැමැත්තක් තිබුණත්, අපට මුලදී මේ සිද්ධස්ථානයට ඇවිත් පිහිට ඉල්ලීමට තරම් හේතුවක් නොවීය. නමුත් පසු කාලයේදී අපගේ දියණියට ඇතිවු හදිස්සි අසනීප තත්වය සඳහා හේතු වුන සිද්ධියත්, එම අසනීප තත්වය නිසා, ඒ වෙනකොට අප දැනගෙන තිබුණු මේ අපොස්තුළු තුමන් පිළිබඳවත් හා හාස්කම් සහිත මේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය පිළිබඳවත් තැබූ අපගේ විශ්වාසයත්, කැපවීමත් උඩ අපිට ලැබුන පිහිට අපට අදටත් අදහා ගැනීමටත් නොහැක. එම සිද්ධියනම් පුදුම දෛවෝපගත හාස්කමක්ම බව අපගේ විශ්වාසයයි.

 

අප මේ අපොස්තුළු තුමන් පිළිබඳවත්, හාස්කම් සහිත මේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය පිළිබඳවත් තොරතුරු දැන ගත්තේ, මේ ලිපිය ලියන කාලයට මාස 6 කට පමණ පෙරය. මාගේ ස්වාමියා ව්‍යාපාරිකයෙක් වන හෙයින්, ව්‍යාපාරික කටයුත්තකට අර ඉහත කී නිලධාරි මහතා සමග පිටරට යාමේදී, ගුවන් යානයේ ඇතිවු කතාබහක් වැඩි වර්ධනය වීමෙන්, ඒ මහතා විසින් මේ හාස්කම් සිද්ධස්ථානය පිළිබඳවත්, මේ සිද්ධස්ථානයේ වැඩවසන අපොස්තුළු තුමන් පිළිබඳවත් ලියැවුනු පොත්, පත්තර, ඩී.වී.ඩී., සී.ඩී., වැනි දේ මගේ ස්වාමියා අතට පත් කිරීමෙන් අප මේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය පිළිබඳව මුලින්ම තොරතුරු දැන ගත්තෙමු. බෞද්ධයන් වන අප, විශේෂයෙන් අතිගරු බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහා නාහිමිපානන් වහන්සේ ජීවත්ව සිටියදී, මේ අපොස්තුළු තුමන් පිළිබඳව එතුමාණන් වහන්සේගේ අත් අකුරින්ම ලියා ඇති ලිපි ලේඛන කියෙවීමෙන්, මේ අපොස්තුළු තුමන් පිළිබඳව අපගේ හදවත් මේ අපොස්තුළු තුමන් කෙරෙහි වඩ වඩාත් ඇදී ගියේය. පසුව අන්තර්ජාලය ඔස්සේ මේ අපොස්තුළු තුමන්ගේ නිල වෙබ් අඩවි හා සම්බන්ධ වීමෙන් එතුමන් පිලිබඳව හා එතුමන්ගේ ප්‍රකාශණ පිලිබඳව ඇති ප්‍රවෘත්ති පිලිබඳව ද නිතර දැනුවත් වූයෙමු.

 

ඔහොම කාලය ගෙවී යද්දී පසුගිය ජුනි මාසය අවසාන බාගයේ පමණ වන විට, අවුරුදු 19 ක් වයසැති අපගේ එකම දියණියට හදිස්සියේම හටගත් බොහෝම දරුණු බඩේ අමාරු තත්වයකට වෛද්‍යවරයා වෙත රැගෙන යාමෙන් පසුව ඇයගේ බඩේ ගෙඩියක් ඇති බව වෛද්‍යවරුන්ගේ වෛද්‍ය පර්යේෂණ වාර්තා මගින් තහවුරු කර ගන්නට හැකි විය. මුලදි මුලදී ඇය සුලු සුලු බඩේ අමාරු තත්වයන් පිලිබඳව පැමිණිලි කලත්, ඇය වේලාවට කෑම නොගන්නා බැවිනුත්, අද වර්තමාන පරම්පරාවේ තරුණියන් ඕනෑවටත් වඩා තමන්ගේ ශරිරයේ හැඩය ගැන වද වීම නිසා, තමන් ගන්නා අහාර වර්ග බොහෝම සුළුවෙන් ගන්නා බැවින්, බඩේ අම්ල ගතිය වැඩි වීම නිසා ඇතිවන ගැස්රයිටීස් තත්වයක් යැයි රෝග නිර්ණය කර බෙහෙත් වර්ග ලබා දුනි. නමුත් මේ හදිස්සියේ හටගත් හිතාගත නොහැකි මේ රෝගී තත්වය නිසා මමත් මාගේ ස්වාමියත් බොහෝම අසරණ තත්වයකට පත්විය. අපේ අසරණ තත්වයේ බරපතලභාවය තව තවත් වැඩි වන්නට වුයේ වෛද්‍යවරුන් මේ රෝගි තත්වයෙන් මිදීම සදහා අපට නිර්දේශ කල ශෛල්‍යකර්මය ගැන ඇසීමෙනි. දරුවාගේ බඩේ ගර්භාශයේ මේ ගෙඩිය හට ගෙන ඇති අතර, මේ ගෙඩිය ටිකෙන් ටික වර්ධනය විය හැකි තත්වයක් පෙනෙන්නට ඇති නිසාත්, මේ ගෙඩිය පමණක් ඉවත් කල හැකි නමුත් පසු කාලයේ නැවතත් මේ ගෙඩිය මතු වී ඇයට වේදනාකාරී තත්වයක් ඇති විය හැකි බැවින්, මෙම රෝගී තත්වයට සම්පූර්ණම සුවය ලැබීමට නම් ශෛල්‍යකර්මයක් මගින් ඇයගේ ගර්භාශය ඉවත් කල යුතු බව වෛද්‍යවරුන්ගේ එකම තීරණය විය. වයස අවුරුදු 19ක තරුණියකගේ ගර්භාශය ඉවත් කිරීමෙන් ඇයට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන තත්වයන් පිලිබඳව මමත් මගේ ස්වාමියාත් අප පවුල් වල සියලු දෙනත් බොහෝම තැති ගැන්මකට හා අසරණභාවයකට පත්වුනි. ඇය වඳ දැරියක් කියා දැන ගැනීමෙන් ඇයට මොන වගේ අනාගතයකට මුහුණ දෙන්න වෙයිදැයි කියා සිතීමෙන් අපව මහත් නොසන්සුන් තාවයකට ඇද දමන්න විය.

 

දරුවාගේ බඩේ අමාරු තත්වය වේදනා නාශක බෙහෙත් මගින් සමනය වූවත්, ඇයට වේදනාව නොදැනීම ඇගේ ගර්භාශයේ ගෙඩිය වර්ධනය වෙන ලකුණු වෛද්‍ය වාර්තා මගින් පෙනෙන්නට තිබුණි. මේ සම්බන්ඳව අපි කල යුත්තේ මොකක්ද යන්න පිළිබඳව අප දස අතේ කල්පනා කරන්නට විය. කරන්න තිබුන එකම දේ මේ ශෛල්‍යකර්මය කර දරුවාගේ අනික් මොන දේ නැතිවුනත් ඇයගේ ජීවිතය බේරා ගැනීම පමණි. ඇයගේ ගර්භාශය ඉවත් කිරීමෙන් ඇයට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන තත්වයන් පිළිබඳව ඇයට එතරම් අවබෝධයක් නැති නිසා, ඇය කියා සිටියේ මේ ශෛල්‍යකර්මය කර ඇයව මේ වේදනා තත්වයෙන් මුදවා දෙන ලෙසයි. මේ අතර වාරයේ දිනක්, දියණිය විසින් ‛‛මරිය තුමී කටුනායක දෙව් මැදුරේදී හාස්කම් පාන්නීය’’ යන පොත කියවමින් සිටියදී අප හට මෙතෙක් කල් මතක් නොවූ කටුනායක අප ස්වාමිදූගේ හාස්කම් සිද්ධස්ථානයත්, එම සිද්ධස්ථානයේ වැඩවසන අපොස්තුළු තුමන් පිලිබඳවත් මතකයට නැගෙන්නට විය. මා මාගේ ස්වාමියාට දුරකථනයෙන් කථා කර කියා සිටියේ අර නිලධාරි මහතා මාර්ගයෙන් අපොස්තුළු තුමන් ලඟට අපගේ දියනිය රැගෙන යාමට තියෙන හොඳම විදිහ පිලිබඳව විස්තර අසා දැන ගන්නා ලෙසයි. නමුත් ඒ මහතා මගේ ස්වාමියාට පවසා ඇත්තේ සෙනසුරාදා දිනයක කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට ගොස් තමන් විසින්ම මේ පිලිබඳව සොයා බලන ලෙයසි.

 

ඒ සතියේ සෙනසුරාදා දිනයේ කටුනායක අප ස්වාමිදූගේ හාස්කම් සිද්ධස්ථානයට අපි තිදෙනාම ගියෙමු. අවාසනාවකට මෙන් අපට අපොස්තුළු තුමන්ව බැහැදැක ගැනීමට අවස්ථාවක් නොලැබුනි. මන්ද එතුමාණන් ඒ අවස්ථාව වන විට බැතිමතුන් අතරට වැඩම නොකිරීමයි. නමුත් අපට අසන්නට දකින්නට ලැබුන දේ මහා පුදුම සහගත දේවල් විය. ඒ කාලය වන විට මේ හාස්කම් සිද්ධස්ථානයට පැමින, මේ අපොස්තුළු තුමන් කෙරෙහි විශ්වාස තබා එම සිද්ධස්ථානයට පැමිණි බැතිමතුන්ගේ ජිවිතයේ දැවෙන ප්‍රශ්ණ මේ අපොස්තුළු තුමන්ට ලියා භාර දී ඔවුන් ලබා ගත්ත හාස්කම් සිදුවීම් පිලිබඳව මහත් පුදුම කතාවලට සවන් දීමට අපට හැකි විය. මේවා ඇසීමෙන් අපටත්, තව තවත්, මේ අපොස්තුළු තුමන් දැක බලා ගැනීමේ ආශාව වැඩි වර්ධනය විය. මාගේ දියනිය මේ සිද්ධීන් ඇසීමෙන් බොහෝම උද්ධාමයට පත් වී ඇති බව ඇයගේ කතා බහෙන් අපට තේරුම් ගන්නට හැකි විය. බොහෝ දුරට ව්‍යාපාර කටයුතු නිසා මගේ ස්වාමියාට හැම සතියෙම ලිපි ලියා භාර දීමට නොහැකි වූවත් මමත්, දියණියත් මේ අපෝස්තුළු තුමන්ට හැම සතියෙම ලිපියක් ලියා භාර දුනිමු. මගේ දියණිය ඇයගේ ලිපියේ ලියා භාර දෙන්නේ මොනවාදැයි අපි නොදැන සිටි අතර අප ඇයගෙන් ඒ පිලිබඳව විමසීමටද එතරම් උනන්දුවක් නොදැක්විය. නමුත් අප දෙදෙනාගේම ලිපි වල හැම සතියේම ලියවුනේ අපගේ දියනියගේ අසනීප තත්වයයි. මේ කාලය වෙද්දි ඇයගේ බඩේ අමාරුවේ කියන්න තරම් ගුණයක් නොතිබුනි. ඇය නොයෙක් වර බඩේ අමාරුව පිලිබඳව අපට වෙනදාට වඩා පැමිණිලි කරන්නට විය. වෛද්‍යවරුන් ලඟට ඇයව රැගෙන ගිය විට ඔවුන් කියා සිටියේ දරුවාගේ ජීවිතය ගැන හිතලා පුලුවන් තරම් ඉක්මනට මේ ශෛල්‍යකර්මය කරන ලෙසටයි.

 

මටත් මගේ ස්වාමියාටත් තිබුන ලොකුම බලාපොරොත්තුව වූයේ අපොස්තුළුතුමන්ගේ හස්තය අපේ දියනිය පිට පතිත කරවීමම ඇයගේ අසනීප තත්වයෙන් ඇයට සහනයක් ලැබිය හැකියි යන දැඩි විශ්වාසයයි. මොකද ඒ වෙන කොට කටුනායක මේ හාස්කම් දෙව් මැඳුරට පැමිනීමෙන් අපට අසන්නට ලැබුනු හැම කතාවකම වගේ අපට අසන්නට ලැබුනේ මේ අපොස්තුළු තුමන්ව ඇස් දෙකටවත් දකින්නේ නැතුව පිහිට ලැබුන විස්තර පිලිබඳවය. ඒ නිසා අපිට දැඩි විශ්වාසයක් තිබුනේ මේ අපොස්තුළුතුමන්ව දැකබලාගෙන උන්වහන්සේගේ ලඟට යාමට ලැබීම ම ස්ථීරවම අපට පිහිට ලබාගැනීමට හැකිවන කරුණක් වන බවයි. මේ කාලයේදී උන්වහන්සේ ආශිර්වාද කර ලබා දුන්න ජලය පානය කිරීමට දියනියට ලබා දුන්නත් එය පානය කරන හැම අවස්ථාවේම ඇයට බඩේ අමාරුව ඇතිවෙන බව ඇය කියා සිටියාය. ඒ අවස්ථාව වෙද්දී, ඇය වේදනා නාශක බෙහෙත් පානය කර බඩේ වේදනාව නොදැනෙන තත්වයක් වූවත්, අර ආසිරි ගැන්වූ ජලය පානය කරන අවස්ථාවේදී, ඇය බෙහෙත් පානය කර තිබුනත් ඒ අවස්ථාවට පමණක් බඩේ අමාරුව දැනීම අපට මහත් කුතුහලයක් ඇතිවන තත්වයක් වුනි.

 

ඔය අතරතුරේදී අගෝස්තු මාසයේ අපට මහත් සැනසීමක් ලබන්න පුළුවන් ප්‍රවෘත්තියක් අසන්න ලැබුනා. එය නම් සැප්තැම්බර් මාසයේ 8 වෙනිදා මේ අපොස්තුළු තුමන් ජනතාව අතරට එනවා කියන සුවිශේෂි ආරංචියයි. අප පවුලේ සියලුම දෙනා මේ පිලිබඳව සැනසුම් සුසුමන් හෙලන්නට වුනා. සැප්තැම්බර් මාසයේ 8 වෙනිදා අප සියළුම දෙනා කටුනායක මේ හාස්කම් දෙව් මැඳුරට පැමිණියේ දහසක් බලාපොරොත්තු හිතේ තද කර ගෙනය. ඒ වෙනකොට මමත් මගේ දියණියත් නොකඩවා එක දිගට ලිපි 10 ක් බාර දී තිබුනි. එදා අපිට දැක ගන්නට ලැබුන සිද්දිය අප බලාපොරොත්තු නොවුන දෙයක් වූවත් එහි අර්ථය අපට තේරුනේ ටික වෙිලාවකට පසුවයි. අපොස්තුළු තුමන් සැප්තැම්බර් 8 වෙනි දින දේව මැණියන්ට විශේෂ ප්‍රාතිහාර්‍යාත්මක යාච්ඤාවක් කියා පැමින සිටි සියළුම දෙනාට තමන්ගේ ඉල්ලීම් දේව මැණියන්ට ඔප්පු කරන්න විශේෂ අවස්ථාවක් ලබා දෙනු ලැබුවා. දේව මැණියන්ට කිව්ව අර ප්‍රාතිහාර්‍යාත්මක යාච්ඤාව පටන් ගත්ත අවස්ථාවේ සිට අවසන් වන අවස්ථාව දක්වාම දියණිය මහත් අමාරුවෙන් ඇඹරි ඇඹරී ඉන්නවා මට දැක ගත හැකි විය. ඒ අවස්ථාවේදී මගේ ඉස්සරහා දණ ගහගෙන සිටි ඇය අපොස්තුළු තුමන් අර යාච්ඤාව කියවන අවස්ථාවේදී ටික වෙලාවක් බොහොම ආරුවෙන් ඇඹරෙමින්සිට පසුව වැලි පොලව මත ඉඳගන්නට වුනා. යාච්ඤාව මැද හරියේ දේව මෑණියන්ට අපගේ ඉල්ලීම් ඉල්ලන්න තිබුන අවස්ථාවටත් පස්සේ මම ඇයගෙන් ඇහුවා මොකද වුනේ කියලා. එවිට ඇය කීවේ මෙච්චරකල් හැදුන නැති විදිහේ බඩේ කැක්කුමක් ඇයට ඇතිවී ක්ලාන්ත ගතියක් හැදුන හින්දා ඇය බිම ඉඳගත්තා කියලයි. ඒ එක්කම, ඒ අවස්ථාවේදී ඇයට ඔක්කාර ගතියක්ද ඇතිවුනා කියලයි.

 

මම මේ සිද්දිය මගේ ස්වාමියාටද පවසා, අපගේ සිතුම් ප්‍රකාරව ඇයව අපොස්තුළුතුමන්ගේ හස්තය යටට කැඳවාගෙන ගොස් තරමක් ඉක්මනින් ගෙදර යාමට තීරණය කලේ දරුවගේ මුහුනේ කිසියම් අසනීප තත්වයක් පෙනෙන්නට තිබුන නිසයි. කටුනායක මේ හාස්කම් දෙව් මැදුරෙන් පිටත්වෙලා විනාඩි 10ක් වත් යන්න වුනේ නැහැ, හරියටම ගුවන්තොටුපොලට හැරෙන හන්දියට ටිකක් ඉස්සෙල්ලා ඇයට නැවත ඔක්කාර ගතියට එන නිසා වාහනය නතර කරන්න කියලා ඉල්ලුවා. වාහනය නතර කලා විතරයි, ඇය එක දිගට වමනය කරන්න ගත්තා. ඇය වමනය කලේ තද කහ පැහැති ඉතා ඝණ දියරයක් වැනි දෙයකි. ඇය වමනය කල විදිහයි, වමනය කල දෙයයි දැකීමෙන් අප තරමක් තිගැස්සුන අතර, අප කෙලින්ම ඇයව ඉස්පිරිතාලයට එක්ක ගෙන යනු ලැබුවා. නමුත් වමනය කිරීමෙන් පසු ඇයගේ මුහුනේ තිබුන අසනීප ගතිය පෙනෙන්න නොතිබුනත් අපි ඇයව කොයිදේටත් හොඳ හින්දා ඉස්පිරිතාලයට ඇතුලත් කලා.

 

ඇයව හැමදාම පරීක්ෂා කරන වෛද්‍යවරයා එදා නොසිටියත්, අප ඇයව ඉස්පිරිතාලයට ඇතුලත් කර වෛද්‍යවරයාට දුරකතන ඇමතුමකින් වෙච්ච සිද්දිය තේරුම් කෙරුවා. පසුදා එනම් ඉරිදා හවස් වරුවේ වෛද්‍යවරයා පැමින දියනියගේ ස්කැන් වාර්තා හා තවත් වෛද්‍යවාර්තා කිහිපයක් ගැනීමට නියම කර, සාමාන්‍ය බෙහෙත් නියම කල අතර, පසුදා ඒ වාර්තා පිලිබඳව තොරතුරු පැවසූ ඔහු මහත් පුදුමයට පත්ව සිටි අතර, සඳුදා දිනයේද තවත් විශේෂ වාර්තා කිහිපයක් ගැනීමට නියම කලේය. අවසානයේ ඒ වාර්තා සියල්ලේ විස්තර අසා, අපට අපගේ ඇස් අදහා ගත නොහැකි විය. වෛද්‍යවරයා කියා සිටියේ අපේ දියනියගේ බඩේ ශෛල්‍යකර්මයකට භාජනය කරන්නට තිබුනු ගෙඩිය අතුරුදහන් වී ඇති බවත්, මේය සිදුවුනේ කොහොමද කියලා ඔහුට හිතා ගන්නවත් බැරි බවත්, මේ ඇතිවී තිබෙන තත්වය උඩ දියනියගේ කිසිම ශෛල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය නැති බවත්ය.

 

පසුව අපි වෛද්‍යවරයාට සිදුවු සියල්ල විස්තර කර කියා සිටියෙමු. ඒ සමගම මගේ ස්වාමියා අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විෂාන් මහතාට වෙච්ච සියල්ල දුරකථනයෙන් දැනුම් දුන් අතර, ඒ මහතා ඉස්පිරිතාලයට පැමිණ වෛද්‍යවරයාද සමුවී කථා බහ කර, මේ සිදුවීම සම්පුර්ණයෙන් ලියා, වෛද්‍ය වාර්තාවල පිටපත්ද සමග ඒ මහතාට ගෙනවිත් භාර දෙන ලෙස කියා සිටියේය. ඒ අනුව මේ සම්පුර්ණ සිද්ධිය ලියා වෛද්‍යවාර්තාවල පිටපත් සමග භාර දෙමි.

 

බොහොමත්ම අහම්බෙන් මේ අපොස්තුළුතුමන් පිළිබඳව හා මේ හාස්කම් සහිත කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ගැන දැනගැනීමට ලැබීමත්, අපගේ ජීවිතයට උන්වහන්සේගේ ආශිර්වාදය අවශ්‍ය වීම හා ඒ මගින් අපගේ හිතේ තිබුන ගින්දර නිවාගැනීමට මේ හැමදේම පෙල ගැසීම දෛවෝපාගත සිද්ධියක් නොවන්නේද? මේ අපොස්තුළුතුමන්ගේ පිහිට නොලැබෙන්න, අපේ දියනියටත්, අපේ පවුලටත් මොනවයින් මොනවා සිද්ධවෙන්න නම් තියෙන්න ඇතිද? මෙකක්දෝ පෙර පිනකට අපට මේ අපොස්තුළුතුමන් මේ බවයේදී හමුවී උන්වහන්සේගෙන් පිහිට ලැබීමට තරම් අපි මොනතරම් වාසනාවන්තයින්ද? අපොසතුළුතුමනි අප පවුලේ සියලුම දෙනා ඔබවහන්සේට නිදුක් නිරෝගි චිර ජිවනය ප්‍රර්ථනා කරමු.

 

 

සුභද්ද්‍රා ජයකොඩි – නාරාහෙන්පිට