1979 ක්වූ මැයි මස 11 වෙනි දින උදෑසන 8.00 ට, අප ගැලවුම්කාරයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පාද ස්පර්ශයෙන් අති ශුද්ධවත්වූ, එතුමාණන්ගේ සෑම දුකටම හවුල් කාරියක්වූ අප සැමගේ සෙනෙහෙබර මාතාවන් වන නිර්මල කන්‍ය මරිය මාතාවන් දර්ශණයවුත්, ‛‛කටුනායක අප ස්වාමිදූගේ ශුද්ධවු දර්ශණ දේවස්ථානය තුලදි අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ශුද්ධවු සුරතින් පැවැත්වුණු ශුද්ධවු දිව්‍ය පූජාව අවස්ථාවේදී අපගේ විවාහය සිදුවිය.

 

ජේසු ස්වාමිදරුවාණන් දර්ශණය වී එතුමාණන් විසින්ම අපොස්තුළු තුමෙකු ලෙස අභිෂේක කරන ලද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ ශුද්ධවු දෑතින් මෙම දේව ප්‍රසාද නිධානය ලබා ගැනීමේ පළමුවෙනියා වීමේ භාග්‍යය අපට උදා විය. ජේසුනී, දේව මෑණියනි, ශුද්ධෝත්තම අපොස්තුළු තුමෙනි ඔබ වහන්සේලාට ස්තූති ප්‍රශංසා වේවා.

 

ඊට මාස ගණනකට පසු මගේ භාර්‍යාව ගැබ් ගෙන දරු ප්‍රසූතියකට සූදානමින් පසුවිය. මේ දිනවල ඇගේ ශරීර සෞඛ්‍යය තරමක් අහිතකර අතට හැරී තිබුන අතර, ඇගේ කුසයේ සිටි දරුවා සිටින ආකාරය (එනම් බඩ එක පැත්තකට වැඩියෙන් බර වී තිබුන නිසා) හොඳ නැති නිසාත්, මම ඇයව විශේෂඥ වෛද්‍ය වරයෙකු ලවා පරීක්ෂා කිරීමට කල්පනා කලෙමි. ඉන්පසු එක් දිනක් රාගම මුදල් ගෙවා ලෙඩුන් පරීක්ෂා කරන ස්ථානයකට ගොස් විමසා බලා එවකට රාගම රෝහලේ ප්‍රතිකාර කරන විශේෂඥ දොස්තර මහතා වෙත ඇයව පරීක්ෂා කිරීමට ඉදිරිපත් කලෙමි. එදින ඒ මහතා ඇයව පරීක්ෂා කර බලා බෙහෙත් ද නියම කර දින කීපයකට පසු ආපසු පැමිණෙන මෙන් කියා සිටියේය. ඒ කිවු දිනම, මම ඇයව කැටුව නැවත වරක් ඒ මහතා හමුවට ගියෙමි. එදින සෑහෙන වේලාවක් ඒ මහතා ඇයව පරීක්ෂා කර බලා ඒ මහතාගේ කාමරය තුලට මා පමණක් කැඳවා කියා සිටියේ, මගේ බිරිඳ වන කාන්තිගේ තත්වය හොඳ නැති බවත්, කුසය තුල බබා ඉන්නේ පැත්තක ඉලකටු අතර සිරවී බවත්, බබා බේරා ගැනීමට ගියහොත් මවගේ ජීවිතයට හානි සිදුවිය හැකි බවත්, මව බේරා ගැනීමට නම් ශල්‍යකර්මයක් කල යුතු බවත්, ඒ ශල්‍යකර්මය කලහොත් නියත වශයෙන්ම බබාගේ ජීවිතයට හානි සිදුවන බවත් පවසා, ඔබ කැමති බබාව බේරගන්නද, නැත්නම් නෝනව බේරාගන්නද, කියා මගෙන් විමසුවේය. මෙතෙක් වෙලා හක්‍ෂා වැටුනු හදකින් මේ සියලු විස්තර අසා සිටි මට ඉවසුම් නැති විය. මගේ ඇඟ සම්පූර්ණයෙන් පණ නැති විය. කාගේවත් පිළිසරණක් නැති මට වාවා ගන්න බැරි විය. චූටි දරු පැටියකුගේ මුහුණ බලන්නට තිබුන වාසනාව මට නැතිවේයයි සිතුනි. මම එවිට ඒ මහතාගේ දෑත තරයේ අල්ලා ‛‛අනේ ඩොක්ට මට කොහොම හරි දෙන්නවම බේරා දෙන්න’’ කියා වැලපුනෙමි. ඉන්පසු ඒ මහතා කියා සිටියේ ‛‛කලබල වෙන්න එපා හියු, තව කල් තියනව, මම මේ දැනුම් දීමක් පමණයි කළේ. අපි තව උත්සාහ කරල බලමු’’ කියාය. ඊට පසු ඒ මහතා බෙහෙත් ජාති කීපයක් නියම කර ජනවාරි 9 වෙනිදා ආපසු ලෙඩා ගෙනෙන ලෙසත්, එදාට ස්ථිර වශයෙන්ම කල යුත්තේ කුමක්ද කියා ප්‍රකාශ කරන බවට පොරොන්දු වී, මේ කිසිවක් ලෙඩාට දැනගන්න ඉඩ තියන්න එපා කියා මට අවවාද කළේය.

 

මට කටුනායක අප ස්වාමිදූගේ දෙව්මැදුර එකවිටම සිහිවිය. අනේ කටුනායක මෑණියනි මට පිහිට වුව මැනව, කියා මගේ මේ අසරණ තත්වය එතුමියට මම භාර කළෙමි. එතෙක් වන තුරු මේ ශුද්ධවු දේවස්ථානය තුලදී කටුනායක මෑණියන්ගේ වරප්‍රසාදයෙන් පූර්ණවූ අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ශුද්ධවු සුරතින් ලැබුණු ආශිර්වාදයෙන් සිය දහස් ගණනක් අසාධ්‍ය ලෙඩුන් සුව වී ඇති බැවින්, මගේ ප්‍රශ්නය උන්වහන්සේ විසින් විසඳා මගේ සිතට සැනසීමක් දෙන බවට ස්ථිර වශයෙන් මම විශ්වාස කළෙමි.

 

ඉන්පසු අපි හැරී එන අතරමගදී මම මගේ භාර්‍යාවට කථා කොට, ‛‛අපි දැන්ම කටුනායක අපොස්තලික පියතුමා ලඟට ගිහිල්ල ඔයාව ආශිර්වාද කර ගමු කියා කීවෙමි. ඇයද ඊට එකහෙලා අවනත විය. දොස්තර මහතාගේ අවවාද අනුව මම ඇගේ තත්වය ඇයට තියා කිසිවෙකුටත් නොකීවෙමි. ඉන් පසු දින අපි කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණ ශුද්ධෝත්තම අපොස්තුළු තුමා බැහැදැක, ඇයව ආශිර්වාද කරන මෙන් උන්වහන්සේ වෙතින් ඉල්ලා සිටියෙමි. මම ඇගේ තත්වය ගැන උන්වහන්සේටවත් කීවේ නැත. කෙසේ වෙතත් උන්වහන්සේ දර්ශණ දෙව්මැදුර තුලට පැමිණ ඇයට දනගසන්නට කියා, ඇගේ හිස මත උන්වහන්සේගේ සුරත තබා ආශිර්වාද කිරීමට පටන් ගත්තේය.

 

ඇත්තවශයෙන්ම ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ආශිර්වාද කිරීමේ යාච්ඤාව ටිකක් දීර්ඝ එකක් විය. ඒ අතර වාරයේදී මගේ භාර්යාව එහාට මෙහාට ඇඹරෙන්නා සේ මම දුටුවෙමි. පසෙකට වී බලා සිටි මට භීතියක්ද ඇති විය. ඒ කුමක් නිසාද කිවහොත් එතුමන් යක්ෂාවේශ වූවන් ආශිර්වාද කිරීමේදී ඔවුන්ගේ තත්වයද ටිකක් මේ හා සමාන වීමය. කෙසේ වෙතත් උන්වහන්සේ ඇයගේ තත්වය තේරුම් ගෙන ඇයට නැගිට සිටීමට අණ කළේය. ඇය සිටගෙන සිටියදීද, උන්වහන්සේ ආශිර්වාද කරන වේලාව තුලදී ඇය ඇඹරෙමින් සිටින බව දුටිමි. නමුත් ක්‍රමක්‍රමයෙන් ඒ තත්වය අඩු වී යාමත් සමගම ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ආශිර්වාද කිරීමද කෙළවර විය. ඉන්පසු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා ඇයට කථා කොට ‛‛කිසි දේකට බය වෙන්න එපා, කිසිම කරදරයක් නැතිව බබා හම්බවෙයි’’ කියා පැවසූ අතර, මේ වදන් මගේ සිතට සිසිල් ජල ධාරාවක් විය. මගේ හිතට ලොකු ධෛර්‍යයයක් ලැබුණි. ඉන්පසු අප දෙදෙනා උන්වහන්සේගෙන් සමුගෙන කටුනායක මෑණියන්ගේ ආශ්චර්‍යයමත් ප්‍රතිමාව අසලට ගොස් යාච්ඤා කර ප්‍රතිමාව සිපාචාර කර දර්ශණ දෙව්මැදුරෙන් එලියට පැමිණියෙමු.

 

එලියට පැමිණි විගසම මම භාර්‍යාවගෙන්, ‛‛ඇයි ඔයා ශුද්ධවූ අපොස්තුළු තුමා ආශිර්වාද කරන වේලාවේදී දැඟලුවෙ?’’ කියා ඇසුවෙමි. එතකොට ඇය මට මෙසේ කීවාය. ‛‛මොනවද හියු කියන්නේ? උන්වහන්සේ මගෙ ඔළුවට අත තියපු ගමන්ම මගෙ ඔළුවට රස්නයක් දැනුනා. ඊට පස්සේ ඒ රස්නෙ ඔළුවෙ ඉඳලා පහලට ඇවිත් බඩ ඇතුලට ගියා. එතකොටම බබා දඟලන්න පටන් ගත්තා. මට මාවම පාලනය කරගන්න බැරි වුනා. උන්වහන්සේගේ ආශිර්වාදය ඉවර වෙනවත් එක්කම දැඟලිල්ල නැවතුනා. බබා දඟලන නිසා මට දන ගහගෙන ඉන්නවා තියා හිටගෙන ඉන්නත් බැරුවයි හිටියෙ’’ ඇගේ පිළිතුර විය. එවිට මට ඇති වූ ප්‍රීතිය කියා නිම කල නොහැකියි. මගේ යැදීම දෙව් මවුන් පිළිගෙන ඇති බව මට ස්ථිරයෙන්ම වැටහී ගියේය. මම ආපසු හැරී දේවස්ථානය තුලට දුව ගොස් ආශ්චර්‍යයමත් ප්‍රතිමාව නැවත වාරයක් සිපාචාර කර, ‛‛මෑණියනී ඔබතුමියට සදහටම ස්තූති ප්‍රශංසා වේවා’’ කියා කිසිම බියක් නැතිව ගෙදර පැමිණියෙමි.

 

ඉන්පසු විශේෂඥ දොස්තර මහතාගේ නියමිත දිනය වූ ජනවාරි 9 වෙනි දින, කිසිම බියක් සැකක් නැතිව මම භාර්‍යාවද කැටුව ඒ මහතා හමුවීමට ගියෙමි. එදිනද ඒ මහතා සෑහෙන වෙලාවක් ඇයව පරීක්‍ෂා කර බලා අත් මේස් ගලවමින් මා වෙතට පැමිණ, මට අතට අත දී සුභ පතා ‛‛කිසිම දේකට බය වෙන්න එපා හියු, බබා නියම ආකාරයට හැරී ඇති නිසා කිසිම කරදරයක් නැතිව නෝනට සාමාන්‍ය විදිහට බබා හම්බවෙයි’’ කියා පැවසුවේය. එවිටම මම ඔහුගේ අත අල්ලා සිපගෙන ඔහුට ස්තූති කලෙමි. එවිට ඔහු මා සමග කියා සිටියේ, ‛මේක මගෙ දක්ෂකමක් නොවෙයි. දෙවියන්ගේම වැඩක්, බැරිවෙලාවත් බබා මේ ආකාරයට හැරී නොසිටින්නට මට සිද්ධ වෙනව බබා එලියට ගන්න. ඉස්සර හිටිය විදිහට බබා සිටියා නම් බබාගෙ ශරීරය කෑලිවලට කපලයි එලියට ගන්න වෙන්නෙ, ඒ මොකද මේ වගෙ අවස්ථාවකදී අපි වෛද්‍යවරුන් වශයෙන් අපිට සිද්ධ වෙනව දරුවා ගැන නොසලකා, මව ගැන විශේෂ අවධානය යොමු කරන්න’’ කියාය. ඒ අවස්ථාවෙදී මගේ ඇඟ හිරි වැටී ගියේ නිතැතින්මය. ඉන්පසු ඒ මහතා සිනාසෙමින් මා සමග කියා සිටියේ, ‛‛එදා මම ඔයාගෙ සිත සනසන්නයි කාන්තිට බෙහෙත් නියම කලේ. ඒවා සාමාන්‍යයෙන් බබාල හම්බ වෙන්න ඉන්න මව්වරුන්ට දෙන විටමින් පෙති ජාති’’ බවයි.

 

කටුනායක මෑණියනී ඔබ තුමියට සදහටම ස්තූති ප්‍රශංසා වේවා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ට ද සදහටම ස්තූති ප්‍රශංසා වේවා. මගේ කුළුදුල් දියණිය ජනවාරි 25 වෙනි දින උදේ 7.35 ට කිසිම කරදරයක් අවහිරයක් නැතිව මොලොව එලිය දුටවාය. මම ඇයට මරිය තුමිය සිහිවීම පිණිස ‛‛ම’’ යන්න මුලට ගෙන ‛‛මදුමී’’ කියාද කටුනායක සිහිවීම පිණිස ‛‛ක’’ යන්න මුලට ගෙන ‛‛කල්පනා’’ කියාද නම් දෙක එකතු කර ‛‛මදුමී කල්පනා’’ කියා නම තැබුවෙමි.

 

සැදැහැවතුනි ස්ථිර විශ්වාසයත්, දැඩි අවධානයත් ඔබට ඇත්නම් කටුනායක ආශ්චර්‍යමත් මරිය මෑණියන්ගේ මහඟු වරප්‍රසාද ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ හස්තයෙන් ලැබෙන ආශිර්වාදයෙන් ඔබ සැමට ලැබෙන බවට සිය ලක්‍ෂ වාරයක් මම විශ්වාස කරමි. තවද රෝගීන්ගේ ආරෝග්‍ය වන දුක් සිත් ඇත්තන් සනසවන ඒ ශ්‍රෙෂ්ඨතම කටුනායක මාතාවන්ට කල නොහැකි දෙයක් නොමැති බව අපි තරයේ සිහි තබා ගත යුතුය.

 

කටුනායක මෑණියනී ඔබ තුමියගේ බල මහිමය ලොව දස දෙස හිරු රැස් මෙන් පැතිරේවා. ඔබ තුමියගේ ආදර සෙනෙහසට ලක්වූනාවු අපගේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් පෙරටු කරගෙන ඔබතුමියගේ පණිවිඩය ලොවට ප්‍රකාශ කිරීමට මට කල හැකි ඕනැම දෙයක් කිසිම භියක් සැකක් නොමැතිව, කොපමණ බාධක තිබුනත් ඒවා මධ්‍යයේ වුවද ඕනෑම තැනක ප්‍රචාරය කිරීමට මම එකහෙලා පොරොන්දු වෙමි.

 

අද මිනිස් ලොව වනසන භේද අතර, ආගම් භේදයන් ද අද මිනිස් ලොව පෙරමුණේ පවතියි. එවන් ලොවක ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ වැඩවසමින්, ආගම් භේදයන්ගෙන් තොරව අසරණ ජනතාවට පිහිට වන්නාවූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලෝකයටම ආලෝකයකි. එහෙත් අඳුරට ම කැමැත්තෝ ආලෝකයට වෛර කිරීම ජේසු තුමන්ගේ කාලයේදී මෙන්ම අද ද දැකිය හැකියි.

 

මගේ දියණියට සිදුවූ මේ ප්‍රාතිහාර්‍යයේ අත්දැකීම මීට පෙර ද මම පුවත්පත් වලට ලියා පලකර ඇත්තෙමි. අද නැවත වරක් මෙම ලිපිය මා ලියන්නේ ඒ ආශ්චර්‍යමත් අත්දැකීම අද ඊයේ සිදුවූවාක් මෙන් මගේ මනසට දැනෙන නිසාය. අද දිනය 2012 ජනවාරි 25 වෙනි දිනයි. අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් වෙතින් ලැබූ ආශිර්වාදය නිසාම මෙලොව එළිය දුටු දියණියට අද වසර 32 ක් සම්පූර්ණ විය. ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ආශිර්වාදය මගේ දියණියට මවු කුසයේදීම නොලැබුනානම්, අදට ඇය මිය ගොස් වසර 32 වනු ඇත. අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා, මගේ දියණියගේ පමණක් නොව මගේද දෛවය වෙනස් කලා යැයි මට හැඟේ. අද මගේ දියණිය පුතුන් දෙදෙනෙකුගේ මවකි.

 

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ දේව මෙහෙයන්ට සතිපතා සෙනසුරාදා සවසට මා සහභාගි වන්නේත්, උන්වහන්සේගේ දේශණයන්ට මා සවන් දෙන්නේත්, උන්වහන්සේගේ අපෝස්තලික ආශිර්වාදය මා ලබා ගන්නේත් දැනට අවුරුදු 35 ක සිටය. ඒ නිසා මෙම අපොස්තුළු තුමා ගැන මම හොඳින් දනිමි. උන්වහනසේගේ ආශිර්වාදයෙන් සුවපත් වූ රෝගීන් මම දැක ඇත්තෙමි. මා විසින්ම මෙම ශුද්ධවු අපොස්තුළු තුමන්ගේ ආශිර්වාදයට රැගෙන එනු ලැබූ අන්ධ වූවෙක් සම්පූර්ණ පෙනීම ලැබුවේ මා ඉදිරිපිටදීමය. රෝගීන් පමණක් නොව, ජීවිතයේ විවිධ හැලහැප්පීම් නිසා පීඩා විඳින දහසක් ජනතාව මෙම අපොස්තුළු තුමන්ගේ මධ්‍යස්ථකමින් පිහිට ලබා ඇත.

 

අදත් සෑම සෙනසුරාදාවකම සවස ආගම් භේදයන්ගෙන් තොරව මෙම ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ආශිර්වාදයත්, මධ්‍යස්ථකමත් පතා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට රැස්වන ජනතාව මේ ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ පින්තූරය අභියස ඇති පෙට්ටියට ලිපි දමා පිහිට පතමින්, මෙම ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ පින්තූරයට ගරු බුහුමන් දක්වන අයුරු මා බලා සිටින්නේ සතුටු කඳුළු දෙනෙතේම පුරවා ගෙනය.
අපොස්තුළු සුදු පියාණෙනි ඔබවහන්සේ අසලට ලඟාවීමට මට අවස්ථාව ලැබෙන සෑම විටකම ඔබවහන්සේ මගේ ඔලුවට අත තියලා ආශිර්වාද කරනවා. ඒ හැම මොහොතකම මම තරුණවෙනවා වගේ මට දැනෙනවා. ඒ නිසා තමයි දැන් මට වයස අවුරුදු 62ක් වුනත් මම තාම කොල්ලෙක් වගේ ඉන්නේ.

 

මගේ ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ වචන වලින් කියනවානම් ‛‛බැතිමතුන් සහ වන්දනාකරුවන්’’ වන මගේ මේ ලිපිය කියවන ඔබ සියළු දෙනාම සිතන්න, ජේසු තුමන්ද, දේව මාතාවන්ද අපට තිළිණ කල අපගේ ජීවිත ආලෝකමත් කරන දිදුලන වස්තුවක් වන මේ ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් වෙතට හැරී උන්වහන්සේගේ දේශනාවලට සවන් දී ඔබේ ජීවිත සරුසාර කරගෙන මතු යම් දවසක ඔබගේ මරණයෙන් පසු ජේසු තුමන් ද, දේව මාතාවන් ද දැකීමේ වාසනාව උදාකරගන්න. එතෙක් උන්වහන්සේලාගේ ජීවමාන බලය මේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ මධ්‍යස්ථ කමින් මෙලොවදීම අත්විඳින්න.

 

මාගේ ශුද්ධවු අපොස්තුළු පියාණෙනි, මා මිය යන මොහොතේදී ජේසු තුමන් සහ මරිය මාතාවන් ඉදිරියේ මා වෙනුවෙන් මධ්‍යස්ථ වූව මැනව. කෙලෙහි ගුණ නොදත් දුර්ජනයන් වසන මේ ලෝකයේ ජීවමානවම වැඩ සිටින සාන්තුවරයාණෙනි ඔබවහන්සේට මා සදා නය ගැතියි.

 

 

හියු සමරසිංහ – රාගම