මම මේ ලිපිය ලියන්නේ මම කරලා තියෙන පවු නිර්භීතව පිලිගන්නත් මගේ ආදරණීය ශුද්ධෝත්තම අපොස්තුළු පියතුමා හා නිර්මල කන්‍ය මරිය තුමී මටම දැනෙන්න මගේ ජීවිතය වෙනස් කල සිද්ධිය නොබියව ඕනෑම කෙනෙක්ට දැනගෙන ඔවුන්ගේ ජීවිතත් මේ ගෞරවාදර අපෝස්තලික පියතුමන්ගේ හා නිර්මල මරිය මෑණියන්ගේ සීමාවක් නැති ආදරය හා අනුහස තුලින් වෙනස් කර ගනු සඳහාත්ය.

 

ඇත්තෙන්ම කියනවානම් මම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට ආවේ, මගේ හිතේ ඇතිවු ක්ෂණික කෝපයට මගේ බිරිඳව මේ සිද්ධස්ථානයේ සියලු දෙනා ඉදිරියේ ලැජ්ජා කර අපහසුතාවයට පත් කර, ඇය මේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට එන ගමන සදහටම කඩාකප්පල් කර දැමීමටය. නමුත් මම හීනෙකින්වත් හිතුවේ නැහැ, මහ නරුම යකඩ ගල් හිතක් තියෙන මම, දෙවියන් ඉස්සරහවත් නැවෙයි කියලා.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට එන්න ඉස්සෙල්ලා මම මිනී මරන්නේ නැතිව, ලංකාවේ තියෙන අනික් හැම අපා දෙපා සිව්පා වැඩ කරපු මිනිහෙක්. හොරකම්ද, මංකොල්ලකෑම්ද, චන්ඩිකම්ද, මගඩිකම්ද, මත්ද්‍රව්‍යද, මත්කුඩුද හැම දේකටම සම්බන්ද වෙලා පොලිසිවල ද, කුණු කාණුවල ද, හිර කූඩුවල ද, උසාවිවල ද, හිර ගෙවල්වල ද, හැම තැනකටම ගිහිල්ලා තියෙන කිසිම ලැජ්ජාවක් නැති තිරිසන් මනුස්සයෙක් වත් කියලා කියන්න බැරි මහා තිරිසනෙක්. අම්මට තාත්තට ද, ගෑනිට ලමයින්ට තියා, මටවත් මාව පාලනය කරගන්න බැරි කෙනෙක්. ඒ වගේම මට ඕනම දෙයක් හිතපු ක්ෂණිකයෙන් කරන්න ඕන තරම් මිණිස්සු ද, ඕනෑ කරන ඕනෑම බඩු බාහිරාදිය ද, මට විනාඩි ගානක දුරිනුයි තිබ්බේ. මගේ මේ ගණන්කාරකම් හින්දා, කරදක්‍ෂු උස්වෙලා තියෙන මගේ ගෑනු දරුවෝ දෙන්නටවත්, මගේ ගෑනිටවත්, අඩුම තරමින් මගේ ඥාතියෙක්ටවත් ගෙවල් පැත්තේ කිසිම කෙනෙකුගෙන් කිසිම ප්‍රශ්ණයක් වුනේ නැත.

 

මගේ බිරිඳ හැම සෙනසුරාදාම කටුනායක පල්ලි යන එක මම දැනගෙන හිටියත් එයාට එයාගේ නිදහසට ඉඩ දීලා ඒක කරන්න දුන්නත්, මට අවශ්‍ය වෙලාවට, මගේ වැඩේ කරගන්න එයා ගෙදර නැති වුනාම මම ගෙදර යකා නටනවා. පංගුවක් සෙනසුරාදාවන්වල එයා පල්ලි ඉවරවෙලා ගෙදර එනකම් ඉඳලා මට ඕන වැඩක් කරගන්න බැරිවුන හින්දා මම හොඳටම එයාට ගුටි බැට දීලා තියෙනවා. ගෙදර සුරුවම් කූඩුවේ තියෙන සුරුවම් පවා මගේ කේන්තිය හින්දා පොඩි පට්ටම් කරලා දාලා තියෙනවා. පංගුවක් දවස් වලට අපෝස්තලික පියතුමන්ට ලියලා භාර දෙන්න සුදානම් කර ගෙන ඉන්න ලිපි ඉරලා විසි කරලා දාලා තියෙනවා, මොකද ඒ වෙලාවට මගේ ඇඟට මොකෙක්දෝ වැහිලා, මටම තේරුම් කරන්න අමාරු ශක්තියක් මගේ ඇඟට දැනෙනවා.

 

දවසක් මම සෙනසුරාදා හවස ගෙදර එන කොට බිරිඳ හා ලොකු දුව පල්ලි යන්න ලෑස්ති වෙනවා. ඒ වෙලාවේ මම තේ එකක් හදලා දෙන්න කියලා ඉල්ලුවා. නමුත් ඒකට මට සතුටුදායක උත්තරයක් ලැබුනේ නෑ. ඒ වෙලාවේ මට යකා නැගලා, මම බිරිඳට පහරවල් දෙකක් ගැහුවා. පස්සේ එයා පල්ලි යන්න ඇන්ද ඇඳුම් ගලවලා දාලා කිව්වා, මම අද පල්ලි යන්නෙත් නෑ තමුසෙට තේ හදලා දෙන්නෙත් නෑ කියලා. පල්ලි යන්නේ නෑ කියලා කිව්වම මට දෙන්න උත්තරයක් නැති හින්දා කේන්තියෙන් තව පහරවල් 2ක් කටට ගහලා, ගෑනිට යටත් වෙන්න තිබුන අකමැතිකම හින්දා, කරන්නම් උඹටත්, පල්ලි යන එකටත් වැඩේ කියලා හිතලා, මම එකපාරටම කිව්වා ලැස්ති වෙලා තේ එකක් හදලා දෙන්න, මමත් අද එනවා උඹත් එක්ක උඹේ ඔය මහ ලොකු පල්ලියට යන්න කියලා. ගෑනු කෙනා ටිකක් ගල් ගැහිලා වගේ බලන් ඉඳලා මට තේ එකත් හදලා තුන්දෙනත් එක්කම පල්ලි යන්න ලෑස්ති වුනා. මේ වෙනකොට බිරිඳ දැනගෙන හිටියේ නෑ මගේ හිතේ තියෙන අරමුණ මොකක්ද කියලා. මට ඕන වුනේ මෙයත් එක්ක මේ පල්ලියට ගිහිල්ලා, පල්ලියේ ඉන්න ෆාදර් ඉස්සරහයි, අනික් මිනිස්සු හැමෝමයි ඉස්සරහා මේ ගෑනු කෙනාට කෑ ගහලා බැනලා ලැජ්ජා කරලා, ආයි එයාට මේ පල්ලියේ පස් පාගන්න බැරි කරන්නයි. එහෙම හිතලා මගේ යාළුවෙක්ට කතා කරලා ත්‍රීවිලරයක් ගෙන්න ගෙන යන ගමන් යාළුව එක්කත් කිය කිය ගියේ, අද යන්නේ මාස ගානක් බලන් හිටපු වැඩක් දෙන්නයි කියලා. ගෑනිටවත්, ලොකු දුවටවත්, යාළුවටවත් මේකේ අගමුල මොකක්ද කියලා තේරුම් ගියේ නෑ.

 
අපි පල්ලිය ලඟ ත්‍රීවිලරය නතර කරපුවාම බිරිඳත් දුවත් බැහැලා පල්ලිය ඇතුලට ගියා. ඒ වෙන කොට මෙහෙය පටන් අරගෙනයි තිබ්බේ. මම මගේ යාළුවට කිව්වේ ත්‍රීවිලරය හරවා ගෙන තියාගන්න, මොකද මෙතන අපිට වැඩි වෙලා ඉන්න වෙන්නේ නෑ කියලයි. ඒක අහපු යාළුවා කිව්වේ අපිවත් අමාරුවේ දාන ලෙඩනම් දා ගන්න එපා කියලයි. මම ඔහුගේද ඔලුවට පාරක් ගසා, ඔහුට කිව්වේ පණ්ඩිතකම් නැතුව කියපු වැඩේ කරන්න කියලයි. එහෙම කියලා මමත් ත්‍රීවිලරයෙන් බැහැලා පල්ලියට ඇතුළු වුනා.

 

ඒ වෙලාවේ පල්ලියේ ෆාදර් පෙන්න හිටියේ නෑ. නමුත් මෙහෙය යමින් තිබුනා. ගෙට්ටුවෙන් තව අඩි තුන හතරක් ඉස්සරහට ගිහිල්ලා මම මගේ වම් අත පැත්ත දිහා හැරිලා බලද්දී මට දැක ගන්න ලැබුනේ දේව මෑනියන් එතන හිට ගෙන මගේ දිහා බලා ගෙන ඉන්නවා වගෙයි. එතනින් එහාට, ඉස්සරහට යන්න මගේ කකුල් මට උස්ස ගන්න බැරි වුනා. මගේ හිස මුදුනේ ඉදලා දෙපතුලෙන් මොනවදෝ දෙයකින් අදිනවා වගේ මට හිතුනා. මට හිතාගන්න බැරිවුනා මට මේ මොකක්ද වෙන්න යන්නේ කියලා. මාව මොකක් හරි දෙයකින් තදින් පොලවට ඇදගෙන මාව හිර කරගෙන තියාගෙන ඉන්නවා වගේ මට දැනුනා. ඒ එක්කම මට දරා ගන්න අමාරු බඩේ අමාරුවක් ඇවිල්ලා, මම බඩ අල්ලගෙන නිකම්ම මාව එතනම දණ ගැහුනා. බඩේ අමාරුව දරා ගන්න බැරි කමට මගේ ඇස් දෙකෙන් කඳුළු ගලාගෙන ආවා. මගේ ඇස් දෙක නිලංකාර වෙලා, මගේ හුස්ම හිරවෙනවා වගේ මට දැනුනා. මගේ චංඩිකම් වල අවසානය එදා ඒ මරිය තුමියගේ ජීවමාන සුරුවම ඉස්සරහා හමාරවිය.

 

මේ විදිහට ආපු වේදනාව දරාගෙන විනාඩි 5ක් පමණ එතන දණගහගෙන ඉඳලා අමාරුවෙන් නැගිටලා බොහොම හෙමින් ඇවිදගෙන ගිහිල්ලා, ත්‍රීවිලරයට නැගලා මගේ යාළුවාට බොහොම හෙමින් කිව්වේ, මාව ඉස්පිරිතාලයට ඉක්මනට එක්කගෙන යන්න කියලයි. යාළුවා මගේ අමුත්තක් දැකලා තියෙන හින්දා ඉක්මනටම මාව මීගමුව ඉස්පිරිතාලයට ඇතුල් කලා. මම දොස්තර මහත්තයාට මට තියෙන අමාරු සේරම කිව්වා. මගේ බඩේ වේදනාව පල්ලියේදී තිබ්බ විදිහටම තිබ්බා. ඒ එක්කම බඩේ දකුනු පැත්ත ගල් වෙලා තිබුනා. හරියට මොකක් හරි ඝණකම් යකඩයක් බඩේ දකුණු පැත්තේ හයි කරලා වගේ. දොස්තර මහත්තයාටත් ඒක හරිම ප්‍රශ්ණයක් වෙලයි තිබුනේ. දොස්තර මහත්තයා ඉක්මනටම මගේ එක්ස්රේ වාර්තාවකුයි, තව වෙන මොනවද දේවල් වගයකුයි ගන්න එතන හිටපු නර්ස් කෙනෙකුට කිව්වා. ඔය අතර තුර මම මගේ යාළුවව පිටත් කරලා එවුවා මගේ බිරිදවයි ලමයවයි එක්කගෙන එන්න කියලා. ඒ දෙන්නා මම මාස ගානක් බලන් ඉන්න වැඩේ දෙන්න ගිහිල්ලා වෙන්න ඇති කියලා හිතාගෙන, මම පේන්න නැතිහින්දා පල්ලි ඉවරවෙලා ගෙදර ගිහිල්ලා. මගේ යාළුවා ගෙදර ගිහිල්ලා ඒගොල්ලන් එක්ක ගෙන එන අතර මගදී මම පල්ලියට ගිය විදිහේ ඉඳන් ඉස්පිරිතාලෙට ඇතුල් කරපු සිද්ධිය වෙනකම් ඔක්කොම විස්තරය කියලා. ආපු ගමන් ගෑනි මගෙන් ඇහුවේ අසනීපය ගැන නෙවෙයි, ඔයා පල්ලිය ඇතුලට ගියාද කියලයි.

 

ඒ වෙලාව වෙද්දී මගේ තද බඩේ වේදනාව හින්දා මට වේදනා නාශක බෙහෙත් දීලා බඩේ අමාරුව ටිකක් හොඳ වෙලයි තිබුනේ. බිරිඳ හා අනික් අය මගේ ලඟට එද්දී මම කල්පනා කර කර හිටියේ යකෙක් වගේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට ඇතුලු වුන මට, එක පාරටම මොකද වුනේ කියලා. බිරිඳටවත් කාටවත් උත්තර නොදී, මම උඩබලාගෙන කල්පනා කෙරුවා. පහුවෙනිදා පාන්දර වෙනකොට, මට මගේ බඩේ වේදනාව 10 පාරකට වඩා හැදිලා මුළු රෑම නිදාගන්න බැරි වුනා. එක්ස්රේ වාර්තාවල කිසිම වෙනසක් දොස්තර මහත්වරුන්ට හොයා ගන්න බැරි වුනා. නමුත් මගේ බඩේ දකුනු පැත්ත යකඩයක් වගේ ගල් වෙලා තිබුනා. නමුත් වම් පැත්තේ කිසිම වෙනසක් තිබුනේ නෑ. සතියක්ම ඉස්පිරිතාලේ වේදනා නාශක බෙහෙත් බිබී ඉන්න අතරේ මම කල්පනා කෙරුවේම මට වෙච්ච සිද්ධියයි.

 

ඔහොම ඉස්පිරිතාලේ මම ඉන්න අතරේ දවසක මම මගේ බිරිඳට හැම දෙයක්ම කිව්වා. මම පල්ලියට ආවේ මොකටද, පල්ලියට ඇතුලුවුනේ මොකටද, දේව මෑණියන්ගේ ප්‍රතිමාව දැක්කම මට වුන දේ, මේ හැම දෙයක්ම කිව්වා. මම හිතුවේ එයා මට හොඳට දෙහි මිරිස් අඹරයි කියලා. නමුත් එයා මට කිව්වේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය, දේව මෑණියන් දර්ශණය වෙච්ච බොහොම හාස්කම් තියෙන පල්ලියක් කියලයි. ඒ සිද්ධස්ථානයේ වැඩ වාසය කරන්නේ, ජේසු ඇවිල්ලා තෝරා පත්කරපු අපොස්තුළු තුමෙක් කියලයි. එයා මේ පල්ලිය ගැන දැන ගත්තේ අහම්බෙන් හම්බවෙච්ච පත්‍රිකාවක් තුලින් කියලයි. එයා මේ පල්ලියට යන්න පටන් ගත්ත දවසේ ඉඳලා පල්ලියට යන හැම සතියෙම එයා අපොස්තලික පියතුමන්ට බොහෝම විශ්වාසයෙන් ලිපි ලිය ලිය භාර දුන්නේ මාව හොඳ මිනිහෙක් කරලා දෙන්න කියල කියලයි, උන්වහන්සේ එයාගේ ඉල්ලීම ඉෂ්ඨ කරලා තියෙනවා කියලා එයාට හිතෙනවා කියලයි, එයා මේ ගැන උන්වහන්සේට ඊලඟ සතියේ ලියලා ස්තූති කරනවා කියලයි.

 

මට, මම ගැන ඒ තරම් ලැජ්ජාවක් කවදාවත්ම දැනිලා තිබුනේ නෑ. මට හිතුනා මම මොන තරම් නරුමයෙක්ද කියලා, මගේ ගෑනි මාව හොඳ මාර්ගයට ගන්න මේ අපොස්තලික පියතුමන්ට ලියලා තියෙන ලිපි මමම ඉරලා විසික් කරලා මේ ගෑනිට ගහලා බැනලා මොන තරම් අපරාධයක්ද කරලා තියෙන්නේ කියලා.

 

මට හිතුනේ මම ඉස්පිරිතාලේ ඉඳලා මේ ලෙඩේ හොඳ කර ගන්න බෑ, මම මේ ලෙඩේ මට හැදුන තැනටම ගිහිල්ලා මේ ලෙඩේ හොඳ කර ගන්නවා කියලායි. දෙවෙනි වතාවේ මම මේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට ආපු වෙලාවේ මගේ හිතේ තියෙන බයට මම දේව මෑණියන්ගේ සුරුවම පැත්තට වත් ඒ පැත්තෙන් යනකොට සුරුවම දිහාවත් බැලුවේ නෑ. මගේ පොඩි දුවගේ උදව්වෙන් ශුද්ධෝත්තම අපෝස්තලික පියතුමන්ට ලිපි ලියා භාර දුන්නා. මම 3 වෙනි ලිපිය ලියා භාරදෙන කොට මගේ බඩේ අමාරුවයි, බඩේ දකුණු පැත්ත ගල් වෙලා තිබ්බ අසනීපෙයි සම්පුර්ණයෙන්ම හොඳ වුනා. මම මගේ අතින්ම අලුතින් සුරුවම් දෙකක් අරගෙන ගිහිල්ලා, දේව දූත ආශිර්වාදිත තෙල් හා කට්ටකුමණ්ජල් ගෙදර පාව්ච්චි කලා. අදට මම මස් මාළු කන්නේ නැති, මත්පැන් සිගරට් කටේ තියන්න අප්පිරිය, ත්‍රීරෝද රථයක් එලවලා, එලා වේල හම්බ කරගෙන කන කෙනෙක් වෙලයි ඉන්නේ.

 

මගේ හිතට දැන් තියෙන නිදහස, මේ ශුද්ධෝත්තම අපෝස්තලික පියතුමන්ට පිං සිද්ධ වෙන්නයි. ඒ වගේම අපේ ගෙදර තියෙන සිරියාව ආලෝකය එකමුතු කම, මගේ රත්තරන් අපෝස්තලික පියතුමා නිසයි. මගේ පරන ජීවිතයෙන් හා ඒ කාලේ කරපු දේවල් වලට මට අදටත් ප්‍රශ්ණ නැතුව නෙමෙයි, නමුත් මම හොඳටම විශ්වාස කරන දේ, මගේ රත්තරන් අපෝස්තලික පියතුමයි, මරිය මෑණියොයි ඒ දේවල් වලින් බේරෙන්න මට පාරක් හදලා දෙයි කියලයි. එහෙම නැති උනත් මම කරපු වැරදි වලට මමම ගෙවන්නත් ඕනනේ.

 

මේ සමග මීගමුව මහා රෝහලෙන් ගත්ත වාර්තාද අමුණා ඇත.

 

 

නිවුටන් දාබරේ – මට්ටක්කුලිය