ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා බැතිමතුන්ගේ ඉල්ලීම් ලිපි ආශිර්වාද කරනු ලබන අවස්ථාවක් 

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ වැඩ සිටින මේ අපොස්තලික පියතුමා නොසිටින්න අද මගේ දුව පිස්සියෙක්, එහෙමත් නැතිනම් ඇස් නොපෙනෙන දරුවෙක් වෙලා. මගේ රත්තරං අපොස්තලික පියතුමා නොසිටින්න, මේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ගැන දැන නොගන්න, අපේ එකම දියණියගේ වටිනා ජීවිතය මොන අතකට පෙරලිලා අපිට මොනතරම් කරදර, බාධක, හිත් වේදනා වලට මුහුණ දෙන්න වෙන්න තිබුනාද කියන්න අපි දන්නේ නෑ. දෙවියෙක් වගේ අපේ ජීවිතවලට ඇතුලුවුන මේ අපොස්තුළු තුමන්ට පිංසිද්ධ වෙන්න අද අපේ පවුලේ හැමෝම නිරෝගීව, සංතෝෂයෙන්, දෙවියන්ට කිට්ටුවෙන් අපේ ජිවිතය ගෙවාගෙන යනවා.

 

බදාදා දිනක් මම කොළඹ මහා ඉස්පිරිතාලේ මගේ දියනියගේ ඇඳ අසල කල්පනා සහගතව හැක්‍ෂූ කඳුලින් ඉන්න කොට, ලෙඩුන් බැලීමට නියමිත වේලාවට පෙර හවස 3ට විතර එක්තරා තරුණයෙක් අපි සිටි වාට්ටුවට පැමිණ, පත්‍රිකාවක් වාට්ටුවේ සිටි හැමෝටම බෙදා ගෙන ගියා. එයින් එකක් මගේ අතටද ලැබුනා. එකේ ඉස්සරහා දේව මෑණියන්ගේ ලස්සන පිංතුරයක් තිබුන හින්දා මම දැක්කා පංගුවක් අය එම පත්‍රිකාව ප්‍රතික්ෂේප කරනවා. මම බෞද්ධයෙක්, මගේ ස්වාමියා දෙවියන් කෙරෙහි එතරම් විශ්වාසයක් නැති, කිසිම ආගමක් අදහන්නේ නැති, පෞද්ගලික ආයතනයක සේවය කරන, හැබැයි කාටවත් වරදක් නැති කෙනෙක්. මම බෞද්ධයෙක් වුනත් අර පෙර කී තරුණයා මගේ අතට අර පත්‍රිකාව දික්කරන කොට ඉබේටම වගේ මට ඒක ගැනුනා.

 

මම කොළඹ මහා ඉස්පිරිතාලේ මගේ දියනියගේ ඇඳ ලඟ සිටියේ, මගේ දියනියගේ මොලයේ ගෙඩියක් ඇතිවීම නිසා ශල්‍ය වෛද්‍යවරයාගේ නියමය අනුව මොලයේ බොහෝම ප්‍රශ්ණකාරි ශළ්‍යකර්මයක් කරන්න අදාල දිනය එනකම්ය. ඇයගේ මොලේ තිබුනාවු ගෙඩිය නිසා ඇය අනිවාර්‍යයෙන් ශළ්‍යකර්මයකට භාජනය කල යුතුව තිබුනා. විශේෂඥ ශල්‍ය වෛද්‍යතුමා මගේ දියනියගේ ශල්‍යකර්මය පිලිබඳව සියලු තොරතුරු කිසිවක් නොසඟවා මටත් මගේ ස්වාමියාටත් ප්‍රකාශ කර තිබුනා. සියලුම ස්කෑන් වාර්තා, එක්ස්රේ වාර්තා, අනෙකුත් රුධිර වාර්තා හා ඇයගේ රෝගයේ ස්වභාවය හා ලක්ෂණ මත වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ මේ ශල්‍යකර්මයෙන් පසු සමහර අවස්ථාවලදී ඇයට ඇස් පෙනීමේ දුර්වලතාවයක් වෙන්නත් පුලුවන් නැත්තම් ඇය සිහි මදි කමකට පත් වෙන්නත් පුලුවන් කියලයි. මොකද ඇයගේ මොලයේ මේ ගෙඩිය තියෙන්නේ මේ කාරනා දෙකටම බලපාන ප්‍රදේශයක බවයි. ඒ හින්දා ශල්‍යකර්මයෙන් පසුව මේ වගේ තත්වයක් ඇතිවිය හැකි නමුත්, වෛද්‍යවරුන් විදිහට අපි එහෙම නොවෙන්න හැකි හැම උත්සහයක්ම දරණ බවයි. එහෙම නැත්තම් මේ ශල්‍යකර්මය නොකර ඉන්නත් පුළුවන්. හැබැයි මගේ දියණිය දැනට මුහුණ දෙන හදිස්සි ක්ලාන්ත ගතිය, සිහිමද ගතිය, ඇයට ඇගේ ශාරීරික ක්‍රියාවන් වල පාලනයක් නැතිකම වගේ දේවල් තව ඉදිරියට වැඩිවිය හැකි බව කිව්වා.

 

මේ කතාව අහපු දවසේ මට වෛද්‍යවරයා ඉදිරියේ ක්ලාන්ත වුනා. මේ කතාව ගෙදර ඇවිල්ලා කිව්වම මගේ අම්මා සිහිසන් නොමැතිව ඇද ගෙන වැටුනා. මමත් මගේ ස්වාමියත් කථා කරලා, තර්ක කරලා, වාද කරලා, රංඩු කරගෙන අන්තිමට තීරණය කලේ මේ ශල්‍යකර්මය කරමු කියලයි. මොකද වෛද්‍යවරුන් කිව්වනේ අපි මේ ශල්‍යකර්මය කරලා උත්සහ කරන්නේ මගේ දියණියට අයහපතක් නොවී ඇයව බේරා ගන්න නිසා, අපි අන්තිමට අපිට කරන්න වෙන කිසි දෙයක් ඉතුරුවෙලා නැති නිසා, ශල්‍යකර්මයේ අවදානමක් තිබුනත් වෛද්‍යවරුන් ගැන විශ්වාසය තිබ්බා.

 

මේ අසනීප තත්වය පටන් ගන්න ඉස්සෙල්ලා මගේ දියණිය ඇයගේ අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන ගිය, ඇගේ පංතියේ කැපී පෙනන දක්ෂතා පෙන්නූ ශිෂ්‍යාවක්. ඇගේ ගුරුවරුන් ඇයට බොහෝම ආදරය කලා, මොකද ඇය හොඳ දක්ෂ, කීකරු දරුවෙක් නිසා. ඇය ගෙදරදීත් එහෙමයි. බොහෝම පිරිසිදුව, පිළිවෙලට ඇයගේ හැම වැඩක්ම තනියෙන් කරගත්ත දරුවෙක්. ඇය දවස පටන් ගත්තෙත් පොතක් අතින් අරගෙන, ඒ වගේම ඇය දවස අවසන් කලේත් පොතක් අතින් අරගෙන. අනික අපිට මේ දරුවා ලැබුනේ අපි විවාහ වෙලා අවුරුදු 12කටත් වැඩි කාලයකට පස්සෙයි, ඒත් අවදානම් රැසක් මැද්දේයි. අපිට තවත් දරුවෙක් ලබන්න බැරි බව වෛද්‍යවරුන් තහවුරු කරලා තිබුනා. එහෙම තත්වයක් ඇතිවුනොත් සමහරවිට අම්මගේත් දරුවගේත් ජීවිත අවදානමට පත් වෙන්න පුලුවන් කියලා අපිට කියලා තිබුනා. ඒ හින්දා පංගුවක් අවස්ථාවලදී මේ දරුවා මෙහෙම සිහිසුන්ව බලාගත්තු අත බලාගෙන, ඇඳක වැටිලා ඉන්නවා දැකීම මගේ පපුව මට වාවන්නේ නැති වුනා. පංගුවක් අවස්ථාවල මම කෑම කන කොට, මම කන කෑම මගේ උගුරෙන් පහලට යන්නේ නැතුවා වගේ මට දැනෙනවා. පපුව හිරවී පපුවේ අමාරුව හැදී මාව වෛද්‍යවරුන් ලඟට අරගෙන ගිය අවස්ථා කිහිපයක්ම තිබුනා. අම්මා කෙනෙක් විදිහට මේ වගේ තත්තවයක් තියෙන කොට කොහොම මේ දුක උහුලන්නද?

 

මෙහෙම හැක්‍ෂූ කඳුලින් ඉන්නකොට තමයි, අර බදාදා දවසේ වාට්ටුව ඇතුලට ආපු අර තරුණයා මගේ අතේ අර පත්‍රිකාව තිබ්බේ. උපතේ පටන් ගොලු හා බිහිරි දරුවෙක් දෙව් මව් ප්‍රතිමාවක් ඉස්සරහා කථා කරපු, අදහන්නත් අමාරු කථාවක් ඒ පත්‍රිකාවේ තිබ්බේ. ඒ දෙව් මව් ප්‍රතිමාවෙන් ආශිර්වාදය දෙන දවස ඒ පත්‍රිකාවේ සදහන් කරලා තිබුනත්, මගේ අතට ඒ පත්‍රිකාව හම්බවෙද්දී, ඒ දවස පහු වෙලා මාස 10ක් විතර ගෙවිලා තිබ්බා. ඒ එක්කම මගේ හිතට ඇති වෙච්ච දුක කියලා නිම කරන්න බැරි වුනා. ඒ පත්‍රිකාව මගේ අතේ තියාගෙන මම හොඳටම ඇක්‍ෂුවා. වෙන මොකවත් හින්දා නෙමෙයි, ඒ කතාවේ හැටියට ඒ දරුවාගේ අම්මාගේ විශ්වාසය හින්දා. ඒ දරුවගේ උපන් ගෙයි රෝගයක් හොඳ වුනානම් ඒ දේව මාතා ප්‍රතිමාවේ ආශිර්වාදය මගේ දරුවට ලබා දීලා, මගේ දරුවගේ අසනීපය හොඳ කර ගන්න, මගේ දරුවව ඒ දවසේදී ඒ පල්ලියට එක්කගෙන යන්න බැරිවුනානේ කියන කලකිරීමයි දුකයි නිසයි. හවස ලෙඩ්ඩු බලන වෙලාවේ මගේ ස්වාමියා ආවාම මම ඒ කොලේ එයාටත් කියවන්න දීලා, එයගේ උරහිසට ඔලුව තියාගෙන හොඳටම ඇක්‍ෂුවා. ඒ පත්‍රිකාව කියවලා ඉවර වෙලා එයා කිවුවේ, ඒ දවසයි සිද්ධියයි පහු වුනාට ඒ පල්ලිය තාම තියනවනේ, අපි මේ නොම්බරයට කථා කරලා විස්තර දැනගමු කියලයි. පත්‍රිකාවේ නොම්බරයට කථා කලත් අපේ දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර නොලැබුන හින්දා, පහු වෙනිදා දින භාගයක නිවාඩුවක් දමා මගේ ස්වාමියා තනියම ඒ පල්ලිය හොයාගෙන ගියා. එදා හවස විස්තර හොයාගෙන ආපු එයා කිව්වේ පල්ලියේ කටයුතු සිද්දවෙන්නේ සෙනසුරාදා දවසේ හින්දා, අපි එන සෙනසුරාදා මේ පල්ලියට යමු කියලයි.

 

ඒ සතියේ සෙනසුරාදා මගේ අම්මව මම දුව ගාව නවත්තලා, මම මගේ හිතේ මේ සිද්ධස්ථානය පිලිබඳව විශ්වාසය රෝපණය කරගෙන, මගේ ස්වාමියත් එක්ක මුල් වරට කටුණායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට ආවා. මහජන සම්බන්ධතා නිලධාරි මහත්තය ලඟට ගිය ගමන් අර පත්‍රිකාව පෙන්නලා ඇහුවේ, මේ ප්‍රතිමාවෙන් ආයිමත් ආශිර්වාදය දානය කරන්නේ කවදද, මොකද මට මගේ දියණියව ඒ දවසට එක්ක ගෙන එන්න ඕනේ කියලයි. ඊට පස්සේ ඒ මහත්තයා මගේ ඒ ප්‍රශ්ණයටත්, ඊට අමතරව මට මගේ උත්සහයෙන් පිහිට ගන්න මේ සිද්ධස්ථානයේ වැඩ කටයුතු කෙරෙන විදිහත්, මිනිසුන් අසරණ වී මේ සිද්ධස්ථානයට ආවම අපි වැටී ඇති තත්වයන්ගෙන් ගොඩ එන්න අපි මොන විදිහටද පිහිට හොයා ගත යුත්තේ කියන දේවල් විස්තරාත්මකව තේරුම් කරලා දුන්නා. මම ඒ සතියේම මගේ දුක ලියලා ශුද්ධෝත්තම අපෝස්තලික පියතුමන්ට ලිපියක් ලියලා භාර දුන්නා. පුදුමේ කියන්නේ දෙවියන් ගැන විශ්වාසයක් නැති මගේ ස්වාමියත් එදා ලිපියක් ලියලා භාර දුන්නා. ඊට අමතරව මගේ දැඩි නොසැලෙන විශ්වාසයෙන් යුතුව දේව දූත ආශිර්වාදිත තෙල්, කට්ටකුමණ්ජල්, දේව මෑණියන්ගේ හා ක්‍රිස්තුස් වහන්සේගේ සුරුවම්, අපොස්තුළු තුමන්ගේ පිංතුර, දේවදූත ආශිර්වාදිත ඉටිපන්දම් සියල්ලම අරගෙන තමයි කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙන් පිටවුනේ. දරුවගේ අසනීපය ගැනයි ශළ්‍යකර්මය ගැනයි, හිතලා හිතලා හෙම්බත් වෙලා දුර්වල වෙලා හිටපු මට, මේ සිද්ධස්ථානයට ආවට පස්සේ අලුත් පණක්, අලුත් උද්යෝගයක්, අලුත් බලාපොරොත්තුවක් මා තුල ඇතිවන්නට වුනා. මගේ ස්වාමියත් පල්ලියේ ඉඳන් ගෙදර එනකොට මට කිව්වේ, ඔයා පල්ලිය ඇතුලේදි එහෙට දුවනවා මෙහෙට දුවනවා හරියට මේ පල්ලියට මීට ඉස්සේල්ලා ඇවිල්ලා තියෙන කෙනෙක් වගේ කියලයි. මම එයාට කිව්වේ මේ පල්ලියට අද ඇවිල්ලා මට අහන්න දකින්න ලැබුන දේවල් වලින් මේ පුංචි පල්ලිය ගැන මගේ හිතේ ලොකු විශ්වාසයක් ඇති වුනා කියලයි. කොහොම හරි මම එදා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, අර ජීවමාන විශාල ප්‍රතිමා වහන්සේ ඉස්සරහට ගිහිල්ලා දනින් වැටී බාර වුනේ, මට මගේ දරුවව නැගිට්ටගෙන මේ සිද්ධස්ථානයට පුළුවන් තරම් ඉක්මණින් අරගෙන එන්න මට කරුණා කරන ලෙසයි.

 

පහුවෙනිදා උදේන්ම රෝහලට ගිහිල්ලා ගෙදර ඇවිත් දේවදුත ආශිර්වාදිත තෙල් හා කට්ටකුමණ්ජල් පල්ලියේ හිටපු මහත්තයෙක් විස්තර කරලා දුන්න විදිහටම පත්තු කරන්න පටන් ගත්තා. මේ අපෝස්තුළු තුමන්ගේ පිංතූරයක් දුවගේ කොට්ටය යටින් තිබ්බා, උන්වහන්සේගේ රූපය තියෙන පදක්කම් දරුවගේ කොට්ටයේ එල්ලුවා. එදා රෑ දේව දුත ආශිර්වාදිත ඉටිපහන නියමිත වෙලාවේ දැල්ලුවා. මුළු වාට්ටුවම ඒ ඉටිපන්දම් සුවඳින් පිරී ඉතිරී ගියා. එදා මුළු රෑම, මම එක තත්පරයක් ඇහැපියා ගන්නේ නැතුව ඇහැරගෙන, ඒ ඉටිපන්දම නිවෙන්න නොදී පත්තුවෙලා ඉවරවෙන්න සැලැස්සුවා. ඒ එක්කම මම මේ අපෝස්තුළුතුමන්ගේ අතේ තුවාල තියෙන පිංතුරය දිහා බලාගෙන මුළු රෑම ඉල්ලුවේ මගේ දරුවව ඉක්මනින් ඔබ වහන්සේ වැඩ සිටින සිද්ධස්ථානයට අරගෙන යන්න මේ දරුවව කෙලින් කරලා දෙන්න කියලයි. පාන්දර මට එහෙම්මම දරුවගේ ඇඳටම ඔලුව තියාගෙන නින්ද ගිහිල්ලා තිබුනා. උදේ 6ට ලෙඩ්ඩු බලන්න එන වෙලාවේ, අම්මත් මගේ ස්වාමියත් ඇවිත් මාව ඇහැරනකම් මට විනාඩි කිහිපයක් හොඳටම නින්ද ගිහිල්ලා තිබුනා. සති ගානකට පස්සේ මම ඇඟට දැනෙන්න එදා ඒ විනාඩි කිහිපය මම හොඳට නිදා ගත්තා. වෙනදට අක්‍ෂ අක්‍ෂා කල්පනා කර කර හිටිය මට දැන් මොකක්දෝ අලුත් බලාපොරොත්තුවක් තියෙනවා වගේ දැනෙන්න වුනා. අම්මව දුව ලඟ තියලා මම හවසට ආයෙමත් එන්නං කියලා, සිහිසුන්ව සිටි දුවගේ නලලත් ඉඹලා අපි දෙන්නම උදේ එතනින් පිටවුනා. හවස දුව ගාවට ආවම දුවගේ ඇඳ වටේ වාට්ටුවේ අය පිරිලා ඉන්නවා දැක්කම මගේ ඇඟ පණ නැතිව යන්න ගත්තා. මම බයෙන් බයෙන් අමාරුවෙන් දුවගේ ඇඳ ලඟට යන කොට, අල්ලපු ඇඳේ ලෙඩා ලඟ හිටපු ගෑනු කෙනා දුව දිහා බලලා මෙන්න ඔයාගේ අම්මා ඇවිල්ලා කියලා කිව්වා. බලන කොට සිහිය නැතිව හිටපු ලමයා ඇස් ඇරලා වට පිට බලලා අඳුරන අයත් එක්ක හිනා වෙනවා. මම එයාගේ ඇඳ ලඟට ගියාම මගේ අතින් අල්ලගෙන හිනා වුනා. මට දැනිච්ච සන්තෝෂය නිම් හිම් නැති වුනා. එතන පත්තුවෙමින් තිබුන දේව දුත පහන ලඟ තිබුන දේව මෑනියන්ගෙයි, ජේසුගෙයි සුරුවම් හා අපෝස්තුළු තුමන්ගේ පිංතූරය දෙස බලා මං ඒ උත්තමයන්ට අනේක වාරයක් පිං දුන්නා.

 

මම අම්මගෙන් ඇහුවා ඇඳ වටේ ඇයි කට්ටිය පිරිලා හිටියේ මොකද මම දරුවට කරදරයක්දෝ කියලා හිතලා හොඳටම භය වුනා කියලා. එතකොට අම්මා කිව්වේ උදේ ඉඳලම මේ වාට්ටුවේ පිච්ච මල් සුවඳක් දැනෙනවා කියලා ආපු දොස්තරලයි, මිසීලයි, වාට්ටුවේ හැමෝමයි කථා වුනා, අන්තිමට හවස බෙහෙත් දෙන්න ආව මිසී මේ මේස උඩ තියෙන සුරුවම් පිංතුර දැකලා ලඟට ඇවිල්ලා බලන කොට මේ දේවල් වලිනුයි පිච්ච මල් සුවඳ ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන් අපෝස්තුළුතුමන්ගේ අතේ තුවාල තියෙන පිංතුරයෙනුයි උන්වහන්සේගේ පදක්කමෙනුයි. ඉතින් වාට්ටුවේ හැමෝම ලං වෙලා ඒක බලන්නයි, ඉඹින්නයි පටන් ගත්තා. ඒ එක්කම මම ඇයගෙන් දැන ගත්තේ වාට්ටුවේ පිච්ච මල් සුවඳ දැනෙන්න අරගෙන ටික වෙලාවක ඉඳලා දුව ඇස් ඇරලා වටපිට බලන්න පටන් අරන් තියෙනවා කියලා. මටත් ඒ පිංතුරයෙන් ඒ වෙලාවේ පිච්ච මල් සුවඳ විඳ ගන්නට ලැබුනා. ඒ වෙලාවේ දුව ඇස් ඇරලා, අපොස්තුළු තුමන්ගේ පිංතුරයෙන් පිච්ච මල් සුවඳ විහිදෙනවා, ඉතින් මට ඇතිවෙච්ච සන්තෝෂය මට කියලා නිම කරන්න බැරි තරම්.

 

එදා මමත් මගේ ස්වාමියත් කථාකර ගත්තේ අපි මුලින් තීරණය කර ගත්ත විදිහට මේ ඔපරේෂන් එක නොකර දොස්තරවරුන්ට කියලා දරුවගේ ටිකට් බලෙන් කපා ගෙන දරුවව ගෙදර එක්ක ගෙන යං කියලයි. මොකද මම ඔහුට කිව්වේ මුලදී අපිට වෛද්‍යවරුන් විශ්වාස කරනවා ඇරෙන්න වෙන දෙයක් තිබුනේ නැහැ, නමුත් දැන් අපිට විශ්වාස කරන්න, යැපෙන්න, වැලපෙන්න උත්තමයෙක්, ශුද්ධවු ස්ථානයක් ලැබිලා තියෙන හින්දා, අපි ඒ ස්ථානය ගැන, ඒ උත්තමයා ගැන විශ්වාසය තියමු කියලයි. අපිට දවසින් දෙකෙන් ඇස් අදහාගන්න අමාරු ප්‍රාතිහාර්‍යයක් අපේ ඇස් ඉස්සරහා පිට තියෙද්දිම ඇයි අපි මේ ඔපරේෂන් එක කරලා අවදානමක් ගන්නේ කියලයි. අනික මේ ඔපරේෂන් එකෙන් දරුවා සම්පුර්ණයෙන් සුව වෙනවා කියලා දොස්කර මහත්වරු කියන්නේත් නැති එකේ අපි මේ අවදානම ගන්නේ නැතුව ඉමු කියලයි. මම මේ මගේ තීරණය පිලිබඳව දැඩිව හිටියා, මොකද මට මගේ අපොස්තුළු තුමත්, මරිය මෑණියනුත්, අර උපන්ගෙයි දරුවගේ අම්මගේ විශ්වාසය නිසා, ඒ දරුවව සුව කලානම් මට එහෙම නොකර ඉන්නේ නැතැයි කියන මගේ තිබුණ දැඩි අචල විශ්වාසය නිසයි. මේ සේරම විස්තරේ අපි විශේෂඥ දොස්තර මහත්තයට කියලා අපි දරුවව අපේ කැමැත්තෙන්ම රෝහලෙන් ගෙදර ගෙනාවා. ඊලඟ සෙනසුරාදා කොහොම හරි බොහෝම අමාරුවෙන් අපි දුවවත් අරගෙන මේ පුදුම හාස්කම් සහිත කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට ආවා. මගේත් මගේ සැමියගේත් දෙවැනි ලිපිය, එදා මේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට භාර දුන්නා. මගේ දරුවා අරගෙන ඇවිල්ලා උන්වහන්සේගේ පිංතුරය අසලත්, දේව මාතාවන්ගේ පිලිරුව අසලටත් අරගෙන ඇවිල්ලා කන්නලව් කලා, බාර උනා. ඒ සතියේ සිට දේව දුත ආශිර්වාදිත තෙල්, කට්ටකුමණ්ජල් හා ඉටිපන්දම් අපේම ගෙදර පාවිච්චි කරන්න පටන් ගත්තා.

 

ආයිමත් මගේ දුව මේ සිද්ධස්ථානයට ආවේ එයාගේම කකුල් දෙකෙන්. එයාම ඇවිල්ලා ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ පිංතූරය අසලත්, දේව මාතා ප්‍රතිමා වහන්සේ ඉදිරියේත් එදා මම වුන බාරය ඉෂ්ඨ කලා. මොකද මම මේ සිද්ධස්ථානයට ඇවිල්ලා කන්නලව් කරන්න ලිපි භාර දෙන්න පටන් අරගෙන හරියටම සති 7 ක් යන කොට මගේ දුව කථා කරන්න, තනියම කන්න, තනියම එයාගේ බෙහෙත් බොන්න එහෙම පටන් ගත්තා. තව ටික කාලයක් යනකොට, ඉස්සර වගේ නැති වුනත්, එයාට පුළුවන් විදිහට එයාගේ වැඩ තනියම කර ගත්තා. මම එයාට උගැන්නුවේ, පුතේ ඔයා ලොකු වුනාම කවදාවත් මේ සිද්ධස්ථානය වත්, සිද්ධස්ථානයේ වැඩ වාසය කරන අපොස්තුළුතුමන්වවත්, ජේසු අම්මවත් අමතක කරන්න එපා. ඔයා අදටත් ජිවත් වෙන්නෙත්, අපි අදටත් මේ කාලා බීලා හිතේ ප්‍රශ්ණයක් නැතිව ඉන්නේත්, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ වැඩ වාසය කරන මේ අපොස්තුළුතුමන්ටත්, ජේසු අම්මාටත් පිං සිද්ධ වෙන්නයි. ඒක නිසා ඔයාගේ පන තියෙනකම් පුලුවන් හැම දවසෙම කටුනායක සිද්ධස්ථානයට යන්න කියලයි.

 

අද වෙන කොට දොස්තර මහත්වරු මගේ දුවගේ මොලේ ගෙඩියක් නැහැ කියලා තහවුරු කරලා ඉවරයි. කවුරු කොහොම කිව්වත් නොකිව්වත් ඒක එහෙම වුනේ මගේ දරුවාට කටුණායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ වැඩ සිටින මේ බලගතු ශුද්ධවු අපොස්තුළුතුමන්ගේ මැදිහත් වීමෙන් හා දේව මාතාවන්ගේ අනුහසින් ප්‍රාතිහාර්‍යාත්මකව බව මට ඉර හඳ වගේ විශ්වාසයි. මොකද මා මගේ දුවගේ මොලයේ ගෙඩියක් තියනවා කියලා කියන්නත්, ඒ මොලේ ඇති ගෙඩිය නිසා මගේ දුවගේ තිබුනාවු අසනීප තත්වය සනාථ කරන්නත්, ඒ මොලේ තියෙන ගෙඩිය ශල්‍යකර්මයකට භාජනය කල යුතු බව කියන්නත්, ඒ මොලේ ගෙඩිය ශල්‍යකර්මයකට භාජණය කලොත් ඒකෙන් වෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද කියලා කියන්නත්, අවසානයේ දරුවගේ මොලයේ ගෙඩියක් නැහැ කියලා කියන්නත් වෛද්‍යවාර්තා දින වකවාණුත් එක්ක මා ලඟ තියෙනවා. මේ ලිපිය සමග මම ඒවායේ පිටපත්ද සපයා තියනවා. මුල් පිටපත් සියල්ලම සිද්ධස්ථානයේ මහජන සම්බන්ධතා නිලධාරි මහතා පරීක්ෂාකර සටහන් කර ගත්තා.

 

අනේ මගේ ශුද්ධවු අපොස්තලික පිය තුමෙනි, එදා අර උපතේ පටන් ගොළු බිහිරි දරුවා හොඳ වීමට ඒ දරුවාගේ මවගේ විශ්වාසය හේතු වුනා වගේ, මගේත් දැඩි අචල විශ්වාසය නිසා මගේ දරුවාගේ මොලයේ ඇතිවූ ගෙඩිය සුව වුනු කථාව අසා ඔබ වහන්සේව විශ්වාස කර ඔබ වහන්සේ වෙතට ඇදී, ඔබවහන්සේගෙන් පිහිට ගන්නාවු සැමගේ, පිං කුසල්, ප්‍රාර්ථනාවල බල මහිමයෙන් ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා.

 

 

රංගා ජනාදරී ගුණතිලක – කොළඹ 4.