දිනය 2023 ජූලි 24 වෙනි දා. එදින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ අපොස්තලික ශාලාවේ දී සිඟිති දරුවෙකුට මුල් වරට අකුරු කියවීමේ අවස්ථාවක් යෙදී තිබුණා. නිර්මිත් මෙත්සර නැමැති කුඩා දරුවා සිය අධ්‍යාපන කටයුතු ආරම්භ කරමින්, හෝඩියේ මුල් අකුරු ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් වෙතින් උගෙන ගැනීම දෙමාපියන්ගේ කැමැත්ත වී තිබුණා. කුඩා දරුවාගේ දෙමාපියන් වූයේ ජාඇල රංග පෙරේරා මහතා සහ සඳුනි පෙරේරා මහත්මියයි. නිර්මිත් මෙත්සර කුඩා පුතුගේ දෙමාපියන් වූ, රංග සහ සඳුනි යුවල විවාහයෙන් එක්කර නව යුග දිවියකට ආසිරි ගන්වනු ලැබුවේ ද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් විසින්මයි. ඒ 2019 ජනවාරි 17 වෙනි දිනයි.

 

නිර්මිත් මෙත්සර සිඟිත්තාගේ මිත්තණිය වූ ඉන්ද්‍රාණි ඇනස්ටා මහත්මිය ද මේ අවස්ථාවට සහභාගි වීම සඳහා එදින අපොස්තලික ශාලාව තුලට පැමිණ සිටියා. ඇය සිඟිත්තාගේ මව වූ සඳුනි පෙරේරා මහත්මියගේ මව යි. නිර්මිත් මෙත්සර කුඩා දරුවාට ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණන් විසින් හොඩියේ මුල් අකුරු උගන්වා ආශිර්වාද කල පසු උන්වහන්සේ කුඩා දරුවාගේ මිත්තණිය වූ ඉන්ද්‍රාණි ඇනස්ටා මහත්මියව උන්වහන්සේ වෙතට කැඳවාගනු ලැබුවා. ඒ මහත්මිය ඉතා දීර්ඝ කාලයක සිට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ඉගැන්වීම් ඔස්සේ සිය දිවි ගෙවමින් සහ තම දියණිය වූ සඳුනි පෙරේරා මහත්මියට ද ඒ මග යාමට මාර්ගය පෙන්වා දී දැන් සිය දියණියගේ රැකවරණය මැද ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටින මාතාවක්.

 

මේ වන විට ඇවිදීමට තරමක් අපහසුවෙන් සිටින නිසා, සිය දියණියගේ අත අල්වාගෙන ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙත පැමිණි ඉන්ද්‍රාණි ඇනස්ටා මහත්මියව, සිය දෝත් විහිදුවා අල්වා ගනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, ඇයගෙන් විමසනු ලැබුවේ, ‛‛ඇයි මේ අමාරුවෙන් ඇවිදින්නේ?’’ යනුවෙනුයි. උන්වහන්සේගේ පැනයට පිළිතුරු දෙමින්, ඇය පවසනු ලැබුවේ, ‛‛අනේ පියාණෙනි දැන් ඉතින් මට වයසයිනේ, අවුරුදු 67 ක් නෙ’’ යනුවෙනුයි. සිනහ මුසු මුහුණින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ඇයට පවසා සිටියේ, ‛‛එහෙම හිතන්න එපා, 67 අංකයක් පමණයි, වයසක් නොවෙයි’’ යනුවෙනුයි.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ද 2024 පෙබ්‍රවාරි 2 වෙනි දින සිය මෙලොව දිවියේ අවුරුදු 67 ක් සම්පූර්ණ කරනු ලබනවා. ආයුෂ පිළිබඳව උන්වහන්සේ සිතන දේ, උන්වහන්සේගේ වචනවලින් අපට පැහැදිලියි. අංකයන්ගෙන් කියවෙන වයස පිළිබඳව නොසිතා මරණය දක්වා ක්‍රියාශීලී ජීවිතයක් සහ මරණය දක්වා කාලය කළමනාකර ගනිමින් යහපත් ජීවිතයක්, ගත කිරීමේ වැදගත්කම ශුද්ධෝත්තම අපොස්තුළුතුමා අපට බොහෝ දේ, විවිධ අවස්ථාවල උගන්වා තිබෙනවා.

 

ජාඇල ඉන්ද්‍රාණි ඇනස්ටා පෙරේරා මහත්මිය 2023 ජූලි 24 වෙනි දින සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ අපොස්තලික ශාලාවේ දී ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ව සමුවූ අවස්ථාව මෙහි ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි