අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා මෙවර ද කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී නත්තල් දිව්‍ය පූජා මෙහෙය පවත්වනු ලැබුවේ, දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ බැතිමත්ව රැස්ව සිටි සැදැහැවත් ජන පිරිසක් මැදයි. මැදියම් රැය ද නොතකා, රොක් වී සිටි සැදැහැවතුන් හමුවේ පවත්වනු ලැබූ 2022 වසරේ නත්තල් දිව්‍ය පූජාව, උන්වහන්සේ මෙම ජීවිත සමයේ, මේ මහා පෘතුවිය ස්පර්ෂ කිරීමෙන් පසුව ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට උදා වූ හැටහය වන නත්තල වන අතරම, අපොස්තුළුතුමෙකු වශයෙන් උන්වහන්සේ පිදූ හතලිස් අටවන නත්තල් දිව්‍ය පූජා මෙහෙයයි.
දෙසැම්බර් 24 වෙනි දා මධ්‍යම රාත්‍රියේ ඇරඹි නත්තල් දිව්‍ය පූජා මෙහෙය ආරම්භ කිරීම සදහා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ඉතාමත් සන්සුන් ගමනින් දර්ශණ දෙව්මැදුරට පිවිසියා. 1975 පෙබ්‍රවාරි 7 වෙනි දින, ‛අපොස්තුළුවරය’ නැමැති දිව්‍ය පත්වීම ලැබූ උන්වහන්සේ, මේ ලෝකයේදී ක්රිස්තුභක්තිකයෙකුට ලබාගත හැකි, අති ශ්‍රෙෂ්ඨ, ඉහළම පත්වීම ලබාගැනීමට හිමිකම් ලැබූ සේක. සියළු කිතුණුවන්ගේ නායකයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින්ම දානය කරනු ලැබූ මෙම පත්වීම, දෙදහස් විසිදෙවසරක් තුල ලබාගෙන ඇති සංඛ්‍යාව දසසතර දෙනෙක් පමණයි. අවසානයට අපොස්තුළුවරයෙන් පිදුම් ලද දසසතරවැන්නා වූයේ, දැනට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ වැඩසිටින ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණෝය.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වී පත්කරනු ලැබූ ලොව දෙවන අපොස්තුළුතුමා වන, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, අද මේ මුළු ලෝකයටම ජීවමානවම වැඩසිටින එකම අපොස්තුළුතුමාණෝයි.
නත්තල් දේව මෙහෙය පවත්වනු ලැබුවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දේව මන්දීරය තුල දී යි.
රන්වන් පූජා ඇඳුමින් සැරසී සිටි ශුද්ධෝත්තම අපොස්තුළු තුමා, ‛බෙත්ලෙහෙම් ජේසු බිළිඳු ප්‍රතිමාවෙන්’ සියළුම බැතිමතුන්ව ආසිරි ගන්වනු ලැබුවා.
අද ලොව ජීවත්වන එකම අපොස්තුළු තුමන්ගේ නත්තල් දිව්‍ය පූජා මෙහෙයට සහභාගිවීම පිණිස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට විවිධ ප්‍රදේශයන්ගෙන් බැතිමතුන් පැමිණ රොක් වී සිටියේ දැඩි ශ්‍රද්ධාවකින්. ජාති ආගම් භේදයකින් තොරව, අත දරුවාගේ සිට වයෝවෘධ මහල්ලන් දක්වා වූ පිරිස් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ නත්තල් දේව මෙහෙය සදහා බැතිමත්ව සහභාගි වෙමින් සිටි අතර, විනාඩි පනහක් පුරා උන්වහන්සේ පැවැත් වූ, නත්තල් දිව්‍ය පූජාවේ දේශණයට, ඒ සීතල රාත්‍රියේ ඔවුන් සවන් දී සිටියේ දැඩි නිශ්ශබ්දතාවයකිනුයි, දැඩි අවධානයකිනුයි. හේතුව, දෙදහස් වසරකටත් පෙර සිදුවූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය පිළිබඳ කථාන්තරයට වඩා ඉහළින් යමක් පවසා, ජනතාවගේ ජීවිතයට ඔවදන් රැසක් ඒ දේශණය තුල අන්තර්ගතව පැවති නිසයි.
ඡායාරූප මගින් ඔබට දැකගත හැක්කේ නත්තල් දිව්‍ය පූජා මෙහෙයේ විවිධ අවස්ථාවන්ය