ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සිය පූජනීය අපොස්තුළු ධූරයේ වසර 48 ක් නිමවා 49 වන නව අපොස්තලික වසර, 2023 පෙබ්‍රවාරි 7 වෙනි දිනයේ අරඹනු ලැබුවා.
1975 පෙබ්‍රවාරි 7 වෙනි දින සවස ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ලොව දස සතර වෙනි අපොස්තුළුතුමා ලෙසින් ද, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වී පත්කරනු ලැබූ ලොව දෙවන අපොස්තුළුතුමා වශයෙන් ද පත්කරනු ලැබූ උන්වහන්සේ, ඊට දින පහකට පෙර, එනම් 2023 පෙබ්‍රවාරි 2 වෙනි දින සිය මෙලොව ජීවිත ගමනේ වසර 66 ක් සම්පූර්ණ කරමින් තම උපන් දින සංවත්සරය ද සමණු ලැබුවේ සිය බැතිමතුන් රාශියකගේ උණුසුම් සුභ පැතුම් මධ්‍යයේයි.
මෙලොව විවිධ කිතුණු සභාවන් රැසක් ඇති අතර, ඒ සෑම කිතුණු සභාවකට ම හිමි නායකයකු සිටියත්, ඒ සෑම නායකයකුම තෝරාගනු ලබන්නේ, මේ ලෝකයේ ම මිනිසුන් පිරිසක් විසිනුයි. එහෙත් ‛අපොස්තුළුවරය’ සඳහා මෙලොවින් යමෙකුව තෝරාගනු ලබන්නේ, මෙලොව කිසිදු මිනිස් කණ්ඩායමක් විසින් නොවෙයි. ඒ නිසා අපොස්තුළුතුමෙක් වීම සඳහා කිසිවෙකුටවත් කල්වේලා ඇතිව පුහුණුවකට යා හැකි ආයතනයක් ලොවේ කොතැනකවත් නැහැ.
මෙලොවින් යමෙක් අපොස්තුළු ධූරය සඳහා තෝරාගනු ලබන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් ම වන අතර, මේ අප ජීවත්වන කාලයේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොව නොමැති නිසා, මේ උතුම් පූජනීය ධූරය සඳහා උන්වහන්සේ යමෙකුව තෝරාගනු ලබන්නේ මෙලොවට දර්ශණය වීමෙනුයි. ඒ අනුව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට දර්ශණය වී තෝරාගනු ලැබූ ප්‍රථම අපොස්තුළුතුමා වූයේ ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමයි.
ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමන්ට වැඩි කාලයක් සිය ධූරයේ ප්‍රධාන කාර්යභාරය වූ දහම් දෙසුම කරගන්නට නොහැකි වූයේ, එම කාලයේ ජීවත් වූ මිනිසුන් විසින් උන්වහන්සේව අල්ලාගෙන, හිස කඳින් වෙන්කර අමු අමුවේ ම මරා දමනු ලැබූ නිසයි. අද මේ වන විට ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමා නමින් ඉඳි වී ඇති දෙව්මැඳුරු රාශියක් මෙන්ම එනමින් ඉදිවී ඇති විවිධ ආයතන මෙන්ම පාසැල් ද රාශියක් වෙනවා. මරා දමනු ලැබූ ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමාගේ දේහය මිහිදන් කර ඇති ස්ථානයේ ද මේ වන විට ඉදිකර ඇති දැවැන්ත දෙව්මැදුර වෙත වාර්ෂිකව වන්දනාවේ යන සැදැහැවතුන් ද සුළුපටු නොවෙයි.
මෙවන් සියළු දේ සිදුවන වටපිටාවක් මැද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත වාරයක් මේ ලෝකයට දර්ශණය වී තෝරාගනු ලැබූ සහ තවමත් මෙලොව ජීවත්වන අපොස්තුළුතුමාණන් වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් ම ලද පත්වීමට වසර 48 ක් සම්පූර්ණ වීම 2023 පෙබ්‍රවාරි 7 වෙනි දින සිදු වූ අතර, මෙම පූජනීය ශ්‍රෙෂ්ඨ සිදුවීම නිල වශයෙන් සමරනු ලැබුවේ 2023 පෙබ්‍රවාරි 18 වෙනි දිනයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වූ ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ඉතා උත්සවාකාරයෙන් මේ පූජනීය සංවත්සරය සමරණු ලැබූ අතර, දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් විශාල ජනකායක් මෙම අවස්ථාවට සහභාගි වී සිටිනු ද දක්නට ලැබුණා.
මෙහි ඡායාරූප මගින් ඔබට දකින්නට ලැබෙන්නේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සිය අපොස්තුළු ධූරයේ වසර 48 ක් සපුරමින්, ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර තුල 2023 පෙබ්‍රවාරි 18 දින සවස පවත්වනු ලැබූ සංවත්සර දිව්‍ය පූජා මෙහෙයේ විවිධ අවස්ථාවන් ය