අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය මෙලොව ගතකල දිවියේ අවුරුදු 65 ක්, පෙබ්‍රවාරි 2 වෙනි දින සම්පූර්ණ කරමින් 66 වෙනි වසරට පා තැබූ සේක. 1957 පෙබ්‍රවාරි 1 වෙනි දින මැදියම් රැයේ උන්වහන්සේ උපත ලැබුවේ සියළු යසඉසුරු සමගිනි. ජේසු තුමන්ගේ උපත සිහිපත් කරනු ලබන නත්තල අපට සිහිපත් කරවන, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ උත්පත්තිය සිදුවූ වේලාව, සැබවින්ම දේව සැලැස්මක් ලෙස අපට සිතෙන්නේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින්ම උන්වහන්සේව තම අපොස්තුළුවරුන්ගේ සංඛ්‍යාවට එක් කල බැවිනි. උපන්දා සිටම ඉතාමත් සුඛෝපභෝගි දිවියකට උරුමකම් කියමින්, පලාතේ ධනවත් ව්‍යාපාරික පවුලක දෙමාපියන්ට දාව උපත ලද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට ඒ සියළු සැප සම්පත් මැද ජීවත් වීමට කාලය ලැබුවේ අවුරුදු 18 ක් පමණි.

 

1975 පෙබ්‍රවාරි 2 වෙනි දින සිය 18 වන උපන් දිනය සැමරූ උන්වහන්සේට, ඊට හරියටම දින 3 කට පසුව, එනම් 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින නිර්මල වූ කන්‍ය මරිය වහන්සේ දර්ශණය විය. මුළු ලොව වෙනුවෙන් දෙවියන් වහන්සේගේ විශේෂ තෝරාගැනීමකට ලක්වී ඇති බව එදින දෙව් මවුන්ගෙන් දැනගත් ශුද්ධෝත්තම අපොස්තුළුතුමෝ, තමන්ට ලැබෙන්නට යන සුවිශාල භාරදූර වගකීම ගැන කල්පනා කරන්නට ඇත.

 

කෙසේ වෙතත් දේව කැමැත්තට හිස නැමීම ප්‍රථම අවශ්‍යතාවය බව තේරුම්ගත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, මරිය තුමියගෙන් ලද පණිවිඩයෙන් දින දෙකකට පසුව, ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ වෙතින්ම අපොස්තුළුවරය ලබා ගැනීමට තරම් වාසනාවත් විය. ඒ සමගම ජේසුස් ස්වාමින් වහන්සේ මීට පෙර දර්ශණය වී අපොස්තුළුවරය දානය කරනු ලැබූ, ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළු තුමා අතරට, දර්ශණයවී තෝරා පත්කරනු ලැබූ තවත් අපොස්තුළු තුමෙක් එක්කාසු විය.

 

1975 පෙබ්‍රවාරි 7 වෙනි දින සවස, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වී තෝරාගනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ට, එම අවස්ථාවේදීම ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ වෙතින් අති විශේෂ අවස්ථාවක් ලැබුනි. එනම් ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේගේ ශ්‍රී හස්තයන්හි ඇත්තාවූ, ශ්‍රී වන කැලැල්වලට, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ දකුණු හස්තයේ දබර ඇඟිල්ල දැමීමට ජේසුස් ස්වාමින් වහන්සේ විසින්ම අවස්ථාව සලසා දීමයි. මෙවන් අවස්ථාවක් මීට පෙර ලත් එකම අපොස්තුළු තුමා වන්නේ, ශුද්ධෝත්තම තෝමස් අපොස්තුළු තුමා වන අතර ඒ සඳහා අවසර දුන්නේද ජේසුස් ස්වාමින් වහන්සේ විසින්මය. මේ පිළිබඳව විස්තරය ශුද්ධවු බයිබලයේ පැහැදිලිව සඳහන් වී ඇත.

 

සිය ජීවිතයෙන් හරියටම අඩකටත් වඩා අපොස්තුළු තුමෙකු ලෙස මෙලොව දිවි ගෙවා ඇති ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, සැබවින්ම සැමටම දයාබර පියෙකු මෙන් කටයුතු කරනු ලැබූහ. ඒ නිසාම අත දරුවාගේ පටන් වියපත් මහල්ලා දක්වා, ආගම් භේදයන්ගෙන් තොරවම ජනතාව උන්වහන්සේට ආදරය දක්වන්නාහ, ගෞරව කරන්නාහ. මේ නිසාම සියළු වයස් භේදයන්ගෙන් තොරවම උන්වහන්සේ වෙත ලඟාවන ජනතාව, උන්වහන්සේ ඉදිරියේ බිමට පහත්වී, උන්වහන්සේ පය ලා සිටින පාවහන් ද සිප ගනිති. මෙය කිසිවෙකුගේ නියමයකින් සිදුවන්නක් නොවන අතර, ස්ව කැමැත්තෙන්ම ජනතාව මෙසේ කරනු ලබයි. කිතුණු ලොවේ මෙවැන්නකට හිමිකම් කියනු ලබන එකම අධ්‍යාත්මික නායකයා වන්නේ ශ්‍රී ලංකාවේ ජීවත්වන ශුද්ධෝත්තම අපොස්තුළුතුමා පමණකි. එපමණක් ද නොව උන්වහන්සේගේ ඡායාරූපයන්ට ද ජනතාව ගෞරවය දක්වනු ලබන්නේ ඉතාමත් කලාතුරකින් මෙන් ම ඉතා දුර්ලභව සිදුවන සිද්ධියක් ලෙස, එලොවින් මෙලොවට පැමිණි ශුද්ධ වූ ආත්මයක් ලෙසින් මේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ව සලකාගෙනය.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා යනු එලොවින් මෙලොවට පැමිණි ශුද්ධවූ ආත්මයක් ලෙස සැලකීමට ජනතාව පෙළඹෙන්නට හේතු රැසක් ඇත. දහමින් ඔවුන්ගේ ජීවිතවලට පනපොවා බොහෝ දෙනෙකුගේ ජීවිත හරි මාර්ගයට හැරවූයේ මේ අපොස්තුළුතුමයි. කිසිවෙකුට වහලෙක් නොවී, නිවැරදිව සිතන්නට ජනතාවට කියා දුන්නේ මේ අපොස්තුළුතුමයි. උන්වහන්සේ පවසන දේ පිළිබඳව ද සිතන්නේ නැතිව, තම තමා විසින් ම සිත තුල තර්ක කරන්නේ නැතිව පිළිනොගන්නා ලෙස පවසනු ලැබූවේ මේ අපොස්තුළුතුමයි.

 

ඉතාමත් ඇතුලාන්ත ජීවිතයක් ගත කරනු ලබන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා නිසා සමාජයට සිදුවී ඇති ලොකුම සේවය වන්නේ, විශාල පිරිසක් පවින් ඈත්වී, විනයගරුක දැහැමි පුද්ගලයන් බවට පත්වී තිබීමයි. මේ අතර තරුණ පිරිස ද වීම කැපී පෙනෙන විශේෂත්වයකි.

 

මෙම 2022 වර්ෂයේ පෙබ්‍රවාරි 2 වෙනි දින මෙලොව ගත කල දිවියේ වසර 65 ක් සම්පූර්ණ කර 66 වෙනි වසර ආරම්භ කල ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, පෙබ්‍රවාරි 7 වෙනි දින, මෙලොව ගත කල අපොස්තුළු වසර 47 ක් සම්පූර්ණ කර 48 වෙනි වසර ආරම්භ කරනු ලැබූසේක.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ජාති, ආගම් ආදී ජනතාව බෙදා වෙන්කරනු ලබන ගෝත්‍රිකවාදී, ආගම්වාදී සියල්ල පසෙක දමා, සියල්ලන් සමග සිනහවෙන් සහ කතාවෙන් එක්කාසූ වූයේ හදවතේ භාෂාවෙනුයි. මෙහි ඡායාරූප කියන්නේ ඒ බවයි