නිර්මල කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වතාවක් දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර 2024 අගෝස්තු 17 වෙනි සෙනසුරාදා සවස ඉතාමත් පුදුමාකාර ලෙසින් පිච්ච මල් සුවඳින් පිරී ඉතිරී ගියේය.

 

එසේ සිදුවන්නට හේතු වූයේ දර්ශණ දෙව්මැඳුරේ ප්‍රධාන පූජාසනයට ඉහළින් ස්ථාපිතව ඇති නිර්මල කන්‍ය මරියෝත්තමාවන්ගේ ප්‍රතිමාවෙන් පිච්ච මල් සුවඳ පැතිරෙන්නට පටන් ගත් නිසයි.

 

නිර්මල කන්‍ය මරිය මාතාවන්ගේ මෙම ප්‍රතිමාව සුවිශේෂි ප්‍රතිමාවක්. නිර්මල කන්‍ය මරිය මාතාවෝ ශ්‍රී ලංකාවේ දී දර්ශණය වූ ප්‍රථම සහ එකම සිද්ධස්ථානය වන්නේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයයි. මෙහි දී එතුමිය විසිතුන් වාරයක් මේ වන විට දර්ශණය වී ඇති අතර, මෙම විසි තුන් වතාවේ දී ම එතුමිය පෙනී සිටියේ, ලොව පළමු ශ්‍රී ලාංකික අපොස්තුළුතුමා සහ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වී පත්කරනු ලැබූ ලොව දෙවන අපොස්තුළුතුමන් වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරියේ යි.

 

නිර්මල අප දේව මාතාවන්ගේ දර්ශණ විසිතුන අතරින්, දස අට වන දර්ශණය මෙතෙක් සිදු වූ සුවිශේෂී දර්ශණයක්. 1977 ජූලි 27 වෙනි දින මෙම දසඅට වන දර්ශණය සිදුවූ අතර, එදින නිර්මල කන්‍ය මරියෝත්තමාවෝ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ඉදිරියේ පෙනී සිටියේ, සිය වම් හස්තයේ ජේසු බිළිඳුන් ද වඩවා ගෙනයි. එතුමියගේ දකුණු හස්තයේ රන්වන් දිගු ජපමාලය වෙනදා මෙන්ම එල්ලෙමින් තිබුණ අතර, වම් හස්තයෙන් ජේසු බිළිඳුන් ද සමගින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ඉදිරියේ පෙනී සිටි මේ උතුම් මාතාව බොහෝ දේ වෙනදා මෙන් ම සුපුරුදු ස්වරයෙන් ප්‍රකාශ කරනු ලැබුවා.

 

මෙම දර්ශණයේ දී නිර්මල කන්‍ය මරිය මාතාවෝ ජේසු බිළිඳුන් සමගින් දර්ශණය වූ අයුරු දැක්වෙන ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ උපදෙස් මත තනවනු ලැබූ අතර එම ප්‍රතිමාව වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 24 වෙනි දින මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාව අවසානයේ දී ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ සුරතින් ආසිරි ගන්වනු ලැබුවා.

 

මෙම ප්‍රතිමාව මේ වන විට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුරේ, ප්‍රධාන පූජාසනයට ඉහළින් ස්ථාපිතව ඇති අතර, 2024 අගෝස්තු 17 වෙනි සෙනසුරාදා සවස මෙම ප්‍රතිමාවෙන් පිච්ච මල් සුඝන්ධය ප්‍රාතිහාර්‍යාත්මක ලෙසින් පැතිරෙන්ට වූයේ සය වෙනි වරටයි.

 

ලොව පුරා දේවස්ථානවල, ගෙවල්වල, මහ පාරවල් අද්දර, ලක්ෂ කෝටි ගණන් දෙව් මවුන්ගේ ප්‍රතිමාවන් ඇතත්, පිච්ච මල් සුවඳ පැතිරෙන ලෝකයේ ඇති එකම දෙව් මවු ප්‍රතිමාව බවට පත්වෙමින්, ප්‍රථම වතාවට පිච්ච මල් සුවඳ පැතිරුණේ 2019 ජූලි 27 වෙනි සෙනසුරාදා සවසයි. එම දිනය නිර්මල කන්‍ය මරිය මාතාවෝ ජේසු බිළිඳුන් සමග දර්ශණය වී වසර 42 ක් සම්පූර්ණ වූ දවසයි. එදින සවස සුපුරුදු ලෙස හාස්කම් යාච්ඤාවට සහභාගි වීම සඳහා විවිධ ප්‍රදේශයන්ගෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණ සිටි සැදැහැවතුන්ට, දෙව් මවු ප්‍රතිමාවෙන් විහිදී පැතිරෙන පිච්ච මල් සුවඳ ආඝ්‍රාහණය කිරීමේ වාසනාව හිමි වුනා.

 

2024 අගෝස්තු 17 වෙනි සෙනුරාදා සවස ද සුපුරුදු ලෙසින් සවස හාස්කම් යාච්ඤාවට සහභාගි වීම සඳහා විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණි සැදැහැවතුන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට රැස්ව සිටි අතර, මෙවර සයවෙනි වරටත් මේ මහා ප්‍රාතිහාර්‍යය සෙනසුරාදා දිනයක සවස හාස්කම් යාච්ඤාව අවස්ථාවේ දී සිදු වූ නිසා ඊට සහභාගි වීමට පැමිණ සිටි සැදැහැවතුන්ට, දෙව් මවු ප්‍රතිමාවෙන් විහිදී පැතිරෙන පිච්ච මල් සුවඳ ආඝ්‍රාහණය කිරීමේ වාසනාව සය වන වරටත් හිමි වුනා.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර තුල ස්ථාපිත ජේසු බිළිඳුන් සමග දෙව් මවු ප්‍රතිමාවෙන් 2024 අගෝස්තු 17 වෙනි සෙනසුරාදා සවස පිච්ච මල් සුවඳ පැතිරෙමින් තිබිය දී, එම ස්වර්ගීය මිහිරි සුඝන්ධය ආඝ්‍රාහනය කරමින්, සතුටින් එය විඳ දරා ගනිමින් බැතිමතුන්, දෙව් මවු ප්‍රතිමාව ඉදිරියේ බැතියෙන් යුතුව තම ඉල්ලීම් පවසමින් යාච්ඤා කරන අයුරු මෙම ඡායාරූපයන්ගෙන් ඔබට දැක ගත හැකියි